වෙළඳ කලාපයේ කොවිඩ් වැඳූණු සේවිකාවකගේ සත්‍ය කතාවක්

ftz-katunayake

මගේ නම ප්‍රියන්ති මදුමාලී. මගේ ගම මහියංගනය. මම කටුනායක නිදහස් වෙළඳ කලාපයට ඇවිල්ලා අවුරුදු 11ක් වෙනවා. මමයි මගේ මහත්තයයි, පුතයි තමයි මෙහේ ඉන්නෙ. අපි කටුනායක බෝඩිම් කාමරයක තමයි ඉන්නෙ. මහත්තයත් මේෂන් වැඩ තමයි කරන්නෙ.

ඇත්තටම මේ කොරෝනාව අපේ ජීවිත වලනම් පුදුම විදියට බලපෑම් කරනවා. පළමුවෙනි කොරෝනා රැල්ලෙදී මුලූ වෙළඳ කලාපයම වැහුවා. ඉතින් අපිට වැඩට යන්න බැරිවුණා. අපිට හරිහැටි පඩියක් තිබුණේ නෑ. ආයතන වල වැඩ පටන් ගත්තත් අපි බෝඩිම් වල ඉන්න නිසා අපිව වැඩට ගෙන්නුවෙ නෑ. 

දෙවෙනි කොරෝනා රැල්ල එද්දිම මම වැඩ කරපු හයිඩ‍්‍රාමණී ආයතනය වැහුවා. ඊට පස්සෙ මාස 2ක් විතර යනකම් රස්සාවක් නැතුව බෝඩිමට වෙලා හිටියා. පස්සෙ මම මාස් ගෲප් එකේ ආයතනයකට සේවයට ගියා.

පසුව කොරෝනා තුන්වෙනි රැල්ල ආවා. එහිදී මෙවර අපි හැමදාම වැඩට ගියා. 2021.04.29 වෙනිදා මට හොඳටම හෙම්බිරිස්සාව හැදුණා. අපේ ආයතනයේ සේවය කරන 11 දෙනෙක් විතර  ආයතනය විසින් මීගමුව රෝහලට එක්කන් ගිහින් බෙහෙත් අරන් දුන්නා. ආයතනයේම වාහනයක තමයි අපිව එක්කන් ගියේ. උණ, කැස්ස, හෙම්බිරිස්සාව වගේ රෝග ලක්ෂණ තිබුණ අය ඒ අතර හිටියා. බෙහෙත් අරන් දී අපිව නැවතත් බෝඩිම් වලටම ආයතන වාහනයෙන් ගෙනත් දැම්මා. පසුව එදාම ආයතනයෙන් කෝල් කරලා කිව්වා හොඳයි නම් පහුවදා වැඩට එන්න කියලා. මම කොහොම හරි 2021.04.30 වැඩට ගියේ නෑ. 2021.05.01 කම්කරු දිනය යෙදී තිබුණා සෙනසුරාදා දිනයේ සහ පසුදා ඉරිදා නිසා මම නැවතත් වැඩට ගියේ 2021.05.03 වෙනි සඳුදා දිනයේ.

මම වැඩ කරේ 28 වෙනි ලයින් එකේ. අපේ ලයින් එකේ කිසිම කෙනෙක් පොසිටිව් වෙලා හිටියෙ නෑ. නමුත් 31 ලයින් එකේ ඒ වෙනකොට එක් අයෙක් හිටියා පොසිටිව් වෙලා. ඒ ලයින් එකේ අනිත් අය ආශ‍්‍රිතයන් කියලා ඒ වෙනකොට ගෙවල් වල යැව්වා. එතකොට අපිව ඒ මැෂින් වල වාඩි කෙරෙව්වා මහන්න. ඒ වෙනකොට ඒ මැෂින් විෂබීජහරණය කරලවත් තිබුණෙ නෑ. ඒ ලයින් එකේ වැඩ කරගෙන ඉන්නකොට තමයි මට පපුවෙ මහන්සිය ආවෙ. ඒ ලයින් එකේ මම දවස් 2ක් වැඩ කරා. පසුව නැවතත් මම 2021.05.14 වෙනිදා නැවතත් මගේ ලයින් එකට ගියා මහන්න. මට ඇඟට හරිම අමාරුයි. පපුවත් රිදෙනවා. ඔලූවත් රිදෙනවා. බැරිම තැන ලයින් ලීඩර්ට කිව්වා මට හරි අමාරුයි කියලා. එයාලා හිතන්නෙ අපි ගෙවල් වල යන්න  ඕනවට බොරුවට ලෙඩ කියනවා කියලා. එතකොට ලීඩර්ස්ලා අපිට කියනවා කැමතිනම් සික් රූම් යන්න. අපිට යන්න කියන්නත් බෑ යන්න එපා කියන්නත් බෑ ඔයාලට කැමති තීරණයක් ගන්න කියලා. එයාල නිකම් විහිලූවට වගේ ගණන් ගන්නෙත් නෑ. පස්සෙ මම අමාරු වැඩිකමටම සික් රූම් එකට ගියා.ඊට පස්සෙ නර්ස් මගේ උණ චෙක් කරා. එතකොට මට 37.5 ට උණ තිබුණා. උදේ වැඩට එනකොට ඩිජිටල් මැෂින් එකෙන් චෙක් කරනකොට උණ තිබුණෙ නෑ. නමුත් උණ කටුවෙන් උණ බලනකොට තමයි උණ කියලා දැනගත්තෙ.

This image has an empty alt attribute; its file name is Shanika-FTZ-edited-2.jpg

පස්සෙ ආයතනයෙන් කිව්වා මීගමුව හොස්පිටල් එකට කෝල් කරා ඒත් එයාලා බෙහෙත් දෙන් නෑ කියනවා නවත්තගන්නවා විතරයි කියලා කියන්නෙ කියලා ආයතනයේ වාහනයකින්ම අපි බෝඩිම් වලට ගෙනැත් දැම්මා. ආයතනයේ වාහන 3 කින් විතර පැති 4කට විතර 20 කට එහා කම්කරුවන් පිරිසක් බෝඩිම්වලට ගෙනිහින් දැම්මා. එතකොට බෝඩිම්වලට ගෙනත් දාන්න කලින් මම නර්ස්ගෙන් ඇහුවා රට අරින්නෙ සඳුදනෙ ඒ වෙනකම් අපි කොහොමද මෙහෙම ඉන්නෙ කියලා. නර්ස් එතකොට කිව්වෙත් පෙර පිළිතුරම තමයි. මීගමුව හොස්පිට්ල් එකට කෝල් කරපු කතාව.

පසුව මම මීගමුව හොස්පිට්ල් එකට කෝල් කරා. එවිට හොස්පිට්ල් එකෙන් කිව්වා අද හවස ආවොත් නවතින්න වෙනවා, හෙට සෙනසුරාදා උදේ  8.00 ඉඳලා දවල් 12.00 වෙකම් බෙහෙත් දෙනවා එන්න කියලා තමයි කිව්වෙ. පසුව මම ඒ විස්තරය නර්ස්ට කිව්වා. ඊට පස්සෙ නර්ස් කිව්වා උදේ 8.00ට කෝල් එකක් දෙන්න කියලා. ඒ අනුව මම උදේ 8.00ට කෝල් කරාම අපේ බෝඩිම ළඟට වාහනයක් එව්වා. ඒ වෙනකොට ළමයටත් කැස්ස තිබුණ නිසා නර්ස්ගෙන් අහලා මගේ දරුවවත් හොස්පිට්ල් එක්කන් ගියා. හොස්පිට්ල් එකට ගියාම ඩොක්ටර් විස්තර ඇහුවම මම කිව්වා ආශ‍්‍රිතයෙක් ළඟ හිටියෙ කියලා. ඩොකටර් කිව්වා මට කොරෝනා රෝගී ලක්ෂණ තියෙනවා කියලා. හැබැයි පී.සී.ආර්. කරන්න බෑ කිව්වා රට වහලා නිසා, සඳුදාට එන්න කිව්වා.

ඊට පස්සෙ සඳුදා මම පී.සී.ආර්. කරන්න  හොස්පිට්ල් යන බව ආයතනයට දැනුම් දුන්නත් ආයතනයෙන් වාහනයක් දුන්නෑ. මම දරුවත් එක්ක පාරෙ බස් එකේ තමයි ගියේ. හොස්පිට්ල් එකට ගියාම කිව්වා ගිය සිකුරාදා ෆෝම් පුරවපු අයට විතරයි කියලා සªදා පී.සී.ආර්.කරන්නෙ. අද (සඳුදා) ෆෝම් එකක් පුරවලා දීලා යන්න කිව්වා හෙට පී.සී.ආර්. එකක් කරන්න නම්. ඒ වගේම උදේ 8.00 වෙද්දී එන්න කිව්වා.  මම පුදුම විදියට අසරණ වුණා. ඊට පස්සෙ ෆෝම් එකක් පුරවලා දුන්නා.( 2021.05.17) නැවතත් මීගමුව හොස්පිට්ල් එකට 2021.05.18 වෙනිදා ගිහිල්ලා පී.සී.ආර්. එකක් කරගත්තා.  8.00 වෙද්දි ගියාට පී.සී.ආර්.එක කරන්න 12.00 වුණා. අඟහරුවාදා කරපු පී.සී.ආර්. එකේ රිපෝට් එක බ‍්‍රහස්පතින්දා 2021.05.20 පොසිටිව් වෙලා කියලා හොස්පිට්ල් එකෙන් කෝල් කරලා කිව්වා. ඒ වෙලාවෙම මම ෆැක්ටි‍්‍ර එකට කෝල් කරලා කිව්වා මම පොසිටිව් වෙලා කියලා. එතකොට ආයතනයෙන් කිව්වා එච්.ආර්. එක දැනුවත් කරන්නම් කියලා. එච්.ආර්. එකේ කොවිඩ් සම්න්ධයෙන් කටයුතු කිරීමට වෙනම මිස් කෙනෙක් පත්කරලා තියෙනවා. පස්සෙ ඒ මිස් කතා කරලා කිව්වා ට‍්‍රාන්ස්පෝට් සම්බන්ධයෙන් ඉන්න මිස්ව දැනුවත් කරා, ඒ මිස් ඇම්බියුලන්ස් එක ගැන විස්තර කියයි කියලා. පසුව මට ඒ මිස් කෝල් කරලා කිව්වා අද දවස ඇතුලත බෝඩිම ලඟට ඇම්බියුලන්ස් එක එයි රෙදි ලෑස්ති කරගෙන ඉන්න කියලා.

මාස් ගෲප් එකට අයත් බිල්ඩින් එකක් තියෙනවා ගිරිඋල්ලෙ. ලංකාවෙම මාස් ගෲප් එකේ පොසිටිව් වෙන අය එතනට තමයි නිරෝධායනය සදඟා රැගෙන යන්නෙ. එදිනම හවස ඇම්බියුලන්ස් එක් ඇවිත් මාව එක්කගෙන ගියා. මගේ පුතාට දැන් අවුරුදු 10 ක්. පුතා මම නැතුව කවදාවත් තනියම ඉඳලා නැහැ. එයා මාව එක්කන් යනකොට ඇම්බියුලන්ස් එක පස්සෙන් අඩ අඩා දුවගෙන ආවා. මට ඒ අවස්ථාව දරාගන්න බැරි වුණා.

ආයතනයේ වැඩ කරන අය කතා වුණ විදියට නම් මේ නිරෝධායන මධ්‍යස්ථානය සඳහා වියදම 60% ක් ආයතනයෙන් සහ 40%ක් රජයෙන් වියදම දරණ බවයි. ඒ වගේම ආයතනය එක් කම්කරුවකු සඳහා රුපියල් 18000ක මුදලක් වැය කරන බවද සේවකයන් සේවකයන අතර කතා බහක් ඇතිවුණා. පහසුකම් නම් තිබුණා. බාත්රූම් එහෙම අපිම පවිත‍්‍ර කරගන්න  ඕන. තුන් වේල කන්න බොන්න, තේ, බනිස් වගේ දේවල් දුන්නා.

ඒ වගේම අපිට ආයතනයෙන් නිතරම කතාකරා නිරෝධායන මධ්‍යස්ථානයේ ඉන්නකොට. එතකොට මම ඒ අයට  කිව්වා මහත්තයටයි ළමයටයි කන්න විදියක් නෑ කියලා. ඊට පස්සෙ ආයතනයෙන් අපේ බෝඩිමට බඩු මල්ලක් ගිහින් දීලා තිබුණා. නිරෝධායන මධස්ථානයේ ඉඳලා බෝඩිමට ආවමනම් පෙර වගේ ආයතනයෙන් කෝල් කරේ නෑ.

නිරෝධායන මධ්‍යස්ථානයට යනකොටම ඩොක්ටර් අපිව බලනවා. වෙන අමතර ලෙඩ තියෙනවද බලනවා. ඒ වගේම අපි සියලූ දෙනාට දවස් 3කට හරියන්න එකවර බෙහෙත් දෙනවා. හැමදාම උදේට ඩොක්ටර් එනවා අපේ හෝල් ලඟ තියෙන රූම් එකකට. මොනවා හරි අමාරුකම් තියෙනවනම් හැමදාම උදේට ඩොක්ටර්ට කියන්න පුලූවන්.

මම නිරෝධායනයට ගියේ 2021.05.20 වෙනිදා. නිරෝධායන මධ්‍යස්ථානයෙන් 2021.05.28 වෙනිදා ආවා. බෝඩිමට ආපු ගමන් පී.එච්.අයි. මහත්තයට කතා කරා. පී.එච්.අයි. මහත්තයා කිව්වා තව දින 4ක් බෝඩිමේ ඉන්න කියලා. මම මේ බව ආයතනයටත් දැනුම් දුන්නා. එතකොට මම 2021.05.31 වෙනිදා වෙනකම් බෝඩිමේ නිරෝධායනය විය යුතුයි. ඊට පස්සෙ මට ෆැක්ටි‍්‍ර එකෙන් කෝල් කරා 2021.06.01 වැඩට එන්න කියලා. ඊට පස්සෙ අපේ බෝඩිමේ තව කෙනෙක් පොසිට්ව් වුණා. ඒත් එක්කම අපේ බෝඩිම නිරෝධායනය කරා. මම ආපසු ආයතනයට කෝල් කරලා කිව්වා තව දින 14ක් නිරෝධායනය වෙන්න කිව්වා කියලා.

ආයතනයෙන් මම නිරේධායනය වෙලා බෝඩිමට ආපු දවසෙ කෝල් කරා. ඊට පස්සෙ තාම කෝල් එකක්වත් දුන්නෙ නෑ.

ඒ වගේම මම පොසිටිව් වුණාම අපේ බෝඩිමේ අය අපේ මුලූ පවුලම කොන් කරා. මම තමයි කිව්වා බෝඩිමට කොරෝනා ගෙනාවෙ. අපිට හරියට වෙනස්කම් කරා. අපි හරියට අසරණ වුණා. අපිට කන්න බඩුවත් නෑ. බඩු ගන්න අතේ සල්ලිත් නෑ. අපේ කවුරුත් මෙහේ නෑ, අපි හරිම අසරණයි. අපි දැන් බයේ ඉන්නෙ මේ මාසෙ 10 පඩි දෙනකම්, මොකද අපේ පඩිය මොන විදියට හදලද කියලා අපි දන්නෙ නෑ. මේ වසංගතය අපි හිතලා හදාගන්න දෙයක් නෙමෙයි. ඒත් ආයතනයේ බළධාරීන් පඩි ගෙවන විට මේ සම්බන්ධයෙන් මොන විදියට තීරණය කරයිද කියලා අපි දන් නෑ.

(විශේෂ ස්තුතිය - කටුනායක, ස්ත්‍රී මධ්‍යස්ථානයේ පද්මිණි වීරසූරිය මහත්මියට - මෙම කතාව කටුනායක වෙළඳ කලාපයේ සත්‍ය සිදුවීමකි. මෙම සේවිකාවගේ ආරක්ෂාව වෙනුවෙන් නම් ගම් වෙනස් කර ඇත)