මව්කිරි දීමේ සතියෙත් මව් කිරි දීමට නිදහසක් නැති ශ්‍රී ලංකාවේ මව්වරු

මව්කිරි දීමේ සතියෙත් මව් කිරි දීමට නිදහසක් නැති ශ්‍රී ලංකාවේ මව්වරු

පවතින තත්වයන්ගේ හිඩැස් වසා සියලු මව්වරුන්ට මව්කිරි දීමට සහය ලබා දීම තේමා කරගත් ලෝක මව්කිරි ලබා දීමේ සතිය අගෝස්තු 1 වැනිදා සිට අගෝස්තු 7 දක්වා ක්‍රියාත්මක ය. බොහෝ රටවල් වර්තමානයේ මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද හමුවේ ශ්‍රම බලකායට එක්ව සිටින බොහෝ මව්වරුන් හට මව්කිරි ලබා දියයුතු වයසේ පසුවන දරුවන්ට මව්කිරි ලබා දීම අපහසු කර ඇති අතර ම අවශ්‍ය පෝෂණ සංඝටක සහිත ආහාරවල මිල ගණන් ඉහළ යාම ද මව්කිරි හිඟ වීමට හේතුවක් වී තිබේ. මෙවර ලෝක මව්කිරි ලබා දීමේ සතියෙන් යෝජනා කර සිටින්නේ එම විවිධ බාධාවන් බිඳ හෙළා සියලු මව්වරුන්ට මව්කිරි ලබා දීමට අවශ්‍ය සහය ලබා දීම ය.

පවතින තත්වයන්ගේ හිඩැස් වසා සියලු මව්වරුන්ට මව්කිරි දීමට සහය ලබා දීම තේමා කරගත් ලෝක මව්කිරි ලබා දීමේ සතිය අගෝස්තු 1 වැනිදා සිට අගෝස්තු 7 දක්වා ක්‍රියාත්මක ය. බොහෝ රටවල් වර්තමානයේ මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද හමුවේ ශ්‍රම බලකායට එක්ව සිටින බොහෝ මව්වරුන් හට මව්කිරි ලබා දියයුතු වයසේ පසුවන දරුවන්ට මව්කිරි ලබා දීම අපහසු කර ඇති අතර ම අවශ්‍ය පෝෂණ සංඝටක සහිත ආහාරවල මිල ගණන් ඉහළ යාම ද මව්කිරි හිඟ වීමට හේතුවක් වී තිබේ. මෙවර ලෝක මව්කිරි ලබා දීමේ සතියෙන් යෝජනා කර සිටින්නේ එම විවිධ බාධාවන් බිඳ හෙළා සියලු මව්වරුන්ට මව්කිරි ලබා දීමට අවශ්‍ය සහය ලබා දීම ය.

මව්කිරි ලබා දීම මවට සහ දරුවාට වැදගත් ඇයි?

සාමාන්‍යයෙන් දරුවෙකු ඉපදී පළමු පැය තුළ දී මව්කිරි ලබා දීම ආරම්භ කරනු ලබයි. පවුල් සෞඛ්‍ය කාර්යංශය විසින් කිරිදෙන මව්වරුන් දැනුවත් කිරීම සඳහා බෙදා හරින පොත් පිංචේ සඳහන් ආකාරයට මව්කිරි ලබා දීමෙන් දරුවාට මෙන් ම මවට ද වාසි අත් වේ. ප්‍රසූතියෙන් මුල් දින කිහිපය තුළ නිපදවෙන කිරිවල අඩංගු "කොලෙස්ට්‍රම්" දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමන අතර ලෙඩ රෝගවලින් දරුවා ආරක්ෂා කරයි. මව්කිරි උරා බීමෙන් දරුවාගේ හණු හොඳින් වර්ධනය වන අතර ඒ තුළ දරුවාට අවශ්‍ය සියළු පෝෂණ සංඝටක ද අඩංගු වේ. මව්කිරිවල අඩංගු සුවිශේෂී දේවල් කිහිපයක් වන්නේ ප්‍රතිදේහ, සුදු රුධිරාණු, ශරීර වර්ධක කාරක සහ විටමින් ඒ ය. මව්කිරි දරුවාගේ ප්‍රොටීන ඇතුළු සියළු පෝෂණකාරකත් ජලයත් අඩංගුවන නිසා මුල් මාස හය තුළ දරුවාට ජලය හෝ වෙනත් කිසිඳු පානයක් අවශ්‍ය නොවන බව පොත් පිංචේ සඳහන් ය.

මව්කිරි ලබා දීමෙන් මවට ද සැලකිය යුතු වාසියක් හිමි වේ. එය පියයුරු පිළිකා සහ ඩිම්බකෝෂ පිළිකා සෑදීමේ අවධානම අඩු කරන අතර, මව අනවශ්‍ය ලෙස තරබාරු වීම ද වළක්වයි. එමෙන් ම මවට ඔස්ටියෝපොරෝසිස් සෑදීමේ අවධානම ද අඩු කරයි.

මව්කිරි උරා බීමෙන් දරුවාගේ හණු හොඳින් වර්ධනය වන අතර ඒ තුළ දරුවාට අවශ්‍ය සියළු පෝෂණ සංඝටක ද අඩංගු වේ.

| මව්කිරි උරා බීමෙන් දරුවාගේ හණු හොඳින් වර්ධනය වන අතර ඒ තුළ දරුවාට අවශ්‍ය සියළු පෝෂණ සංඝටක ද අඩංගු වේ.

ශ්‍රී ලංකාවේ මව්කිරි ලබාදීම ප්‍රවර්ධනය

ශ්‍රී ලංකාවේ පවතින සෞඛ්‍ය ආකෘතිය තුළ ළදරුවාට මව්කිරි පමණක්ම ලබා දීම ප්‍රවර්ධනය කරන අතර කිසි සේත්ම දරුවන්ට කෘත්‍රිම කිරිපිටිවර්ග ලබා දීම අනුමත නොකරයි. දරුවා ඉපදී පැයක් ඇතුළත රෝහල් කාර්යමණ්ඩලය ද සහය වෙමින් මවට, දරුවාට කිරි පෙවීමට සහය ලබා දෙයි. දරුවා නොමේරු ළදරු ඒකකයක සිටී නම් මවගෙන් කිරි දොවා දරුවාට පෙවීම සිදු කරයි.

රෝහලෙන් දරුවා සහ මව යළි සිය නිවස වෙත ගිය වහාම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය නිවසටම පැමිණ කිරි ලබා දිය යුතු ආකාරය මවට අවබෝධ කරන අතර වරින් වර පැමිණ නිවැරදිව දරුවාට කිරි ලබා දෙන්නේ ද යන්න නිරීක්ෂණය කරයි. එමෙන් ම පත්‍රිකා, පොත් පිංච වැනි දැනුවත් කිරීම් ද රජය විසින් සිදු කරයි. පුද්ගලික සහ රාජ්‍ය සේවයේ රැකියාවල නියැළී සිටින මව්වරුන්ට දරුවාගේ උපතේ සිට වැටුප් සහිත, වැඩ දින 84ක නිවාඩුවක් ද හිමි ය.

රාජ්‍ය සහ පුද්ගලික අංශයේ මව්වරුන්ට මව්කිරි ලබා දීමට ඇති අභියෝගය කුමක් ද?

රාජ්‍ය සේවයේ නියුතු මව්වරුන්ට දරුවාගේ උපතේ සිට වැටුප් සහිත වැඩ දින 84ක නිවාඩුවට අමතරව, අර්ධ වැටුප් සහිත තවත් රජයේ නිවාඩුද ඇතුළත් දින 84ක නිවාඩුවක් ගැනීමට හැකි අතර, අවශ්‍ය නම් එම දින 84 අවසන් වීමෙන් පසු නැවතත් වැටුප් රහිත දින 84ක නිවාඩුවක් ලබා ගැනීමට හැකි ය.

පෞද්ගලික අංශයට ඉහත වැටුප් සහිත වැඩ දින 84ක ප්‍රසූත නිවාඩුව හිමි වේ. පළමු දින 84න් පසුව සේවයට වාර්තා කරන මවකට දරුවාට මාස හයක් වන තෙක් මවුකිරි ලබා දීම සඳහා රාජකාරී වේලාවෙන් පැයක කාලයක් හිමි වේ.

නමුත් එහි ප්‍රායෝගික බව පිළිබඳ බොහෝ මවුවරු මැසිවිලි නගති.

‘කාර්යාලය දුර නිසා දරුවට කිරි දෙන්න එන්න බෑ.’

බීබීසී සිංහල වෙත අදහස් දැක් වූ පෞද්ගලික අංශයෙ රැකියාවක නිරතවන මවක් වන නිලුෂිනී ප්‍රනාන්දු පැවසුවේ සිය කාර්යාලය සහ නිවස අතර දුර සැලකූ විට රාජකාරිය අතරමැද නිවසට පැමිණ දරුවාට කිරි ලබා දී නැවත යාමට වේලාවක් නොමැති බව ය. "මම වැඩකරන ආයතනයේ සිට මගේ ගෙදරට කිලෝමීටර 25ක් පමණ තියෙනවා. එතකොට මට රාජකාරී අතරමැද ගිහින් එන්න වෙලාව මදි. ඒ නිසා මම ගොඩක් වෙලාවට කරන්නේ උදේට පැයක් පරක්කු වෙලා වැඩට එන එක හෝ හවසට පැයක් කලින් ගෙදර යන එක. නමුත් දරුවාට කිරි දෙන්නෙ නැතිව දවල් දවසම ඉන්න අමාරුයි. ඒක ශාරීරිකව අමාරු දෙයක්," නිලුෂිනී පැවසුවා ය.

මෙම "කිරිපැය" සහනය රජයේ සේවකයන්ට හිමි වුවත් ගුරුවරුන්ට එය හිමි නොවේ. ගුරුවරියක් වන බුද්ධි ගාල්ලගේ පවසන්නේ ඇය එම නිසා දරුවාට කිරි දොවා තබා ගිය බවයි. "මට පුතා ලැබෙනකොට කොවිඩ් නිසා පාසල් වහලා තිබුණේ. ඒ නිසා මුල් දින 84 නිවාඩුවත්, දෙවන දින 84 නිවාඩුවත් කියන දෙකම මම ලබාගෙන ආපහු ගියේ. නමුත් ගුරුවරුන්ට කිරිපැයක් නැති නිසා පාසල නිවසේ ඉඳන් වැඩි දුරක නොතිබුණත් මට කිරි දෙන්න එන්න හැකියාවක් තිබුණේ නෑ. ඒ නිසා මම උදේට පාසලට යද්දි කිරි දොවලා තියලා ගියා මම නැති අතරේ දරුවාට පොවන්න," ඇය පැවසුවා ය.

දරුවන් ලැබුණු පසු රැකියා අත්හරින ඇඟලුම් සේවිකාවන්

ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවය කරන බොහෝ කාන්තාවන් දරු ප්‍රසූතියෙන් පසු රැකියාවෙන් ඉවත්වන බව තමා නිරීක්ෂණය කර ඇතැයි “Standup Movement Sri Lanka’' සංවිධානයේ විධායක අධ්‍යක්ෂක අශිලා දන්දෙණිය පැවසුවා ය.

"ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවන්ට ලබා දීලා තිබෙන වැඩ ආකෘති එක්ක අතරමැද පැයක් ගිහින් දරුවට කිරි දීලා එන්න අමාරුයි. ඉතින් ඒ අයට තියෙන එකම විකල්පය එක්කෝ උදේ පැයක් පරක්කු වෙලා වැඩට එන එක. එහෙම නැතිනම් හවසට පැයක් කලින් යන එක. සාමාන්‍යයෙන් බොහෝ ආයතන ඒ විදිහට කිරිපැය ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා." අශිලා පවසන්නේ දිනය අතර මැද කිරි ලබා දීමට මවට අවස්ථාවක් හිමි නොවීම නිසා ඇතැම් මව්වරුන් රෝගාතුර වීම් ද සිදු වූ බවයි. "කිරි දෙන්නේ නැතිව පියයුරේ කිරි එකතුවෙලා තියෙන විට ඒ කිරි ගල් වෙනවා. එතකොට ඒ මව්වරුන් අසනීප වෙනවා. මේ වගේ සිදුවීම් කිහිපයක් අපි නිරීක්ෂණය කර තිබෙනවා," ඇය පැවසුවා ය.

අශිලා පවසන්නේ මෙම ගැටළුව සහ කිරිදෙන වයසේ දරුවන් රැකබලාගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා බොහෝ සේවිකාවන් දරු ප්‍රසූතියෙන් පසු නැවත රැකියාවට නොපැමිණෙන බවයි. "මේ අය වැඩ කරන කලාපවල දිවා සුරැකුම් මධ්‍යස්ථාන නෑ. කටුනායක මුළු කලාපයටම තියෙන්නේ එක කොටසක, එකක් විතරයි. ඒකෙත් අවුරුදු දෙකහමාරට විතර වැඩි ළමයි විතරයි භාරගන්නේ. දිවා සුරැකුම් මධ්‍යස්ථානය පටන් ගන්න සහ අවසන්වන වෙලාව අම්මගේ රාජකාරී වෙලාවට වඩා වෙනස්. මේවගේ හේතු නිසා බොහෝ අවස්ථාවල දි අපි දැකලා තියෙන්නේ මේ සේවිකාවන් දරුවන් ලැබුණට පසුව රැකියාවෙන් ඉවත් වන බවයි." මේ සඳහා දිවාසුරැකුම් මධ්‍යස්ථාන පුළුල් කිරීමත්, කිරිදෙන මව්වරුගේ වැඩ ආකෘති ලිහිල්ව සකස් කිරීමත් සිදු කළ යුතු බව ඇගේ මතයයි.

‘නීති තවදුරටත් පුළුල් විය යුතුයි’

කිරිදෙන මව්වරුන්ට වර්තමානය වනවිටත් යම් අයිතිවාසිකම් ප්‍රමාණයක් හිමිව තිබුණ ද ඒවා තවදුරටත් පුළුල් විය යුතු බව වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපති නීතීඥ ස්වස්තිකා අරුලිංගම් පෙන්වා දෙයි. ඇය පවසන්නේ එම අයිතිවාසිකම්වල ප්‍රායෝගික භාවය පිළිබඳ ගැටළුවක් ඇති බවයි. "වර්තාමනය වන විටත් කිරි දෙන අම්මලාට කිරි දෙන්න යන්න පැයක් හිමි වෙනවා. නමුත් ඇයගේ ගෙදරත් කාර්යාලයත් අතර දුර එක්ක ඇයට කොහෙත්ම ඒක පැයකින් කරන්න ලැබෙන්නේ නෑ. මේ වගේ කිරි දෙන අම්මලාට ලැබිය යුතු අයිතිවාසිකම් තවදුරටත් පුළුල් වෙන්න අවශ්‍ය කාලයක කම්කරු ඇමතිවරයා උත්සහ කරන්නේ තියෙන අයිතිවාසිකමුත් කප්පාදු කරන්න," නීතීඥ ස්වස්තිකා පවසයි.

ඇය සඳහන් කළේ කිරිදෙන මව්වරුන්, ගර්භනී මාතාවන් සහ විවාහක කාන්තාවන් රැකියාවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් ද ඇතැම් ආයතන වෙනස්කොට සැලකීමක් කරන බවයි. "ආයතන විසින් දෙන්න අවශ්‍ය අයිතිවාසිකම් දෙනවාටත් වඩා සමහර ආයතන ගර්භනී කාන්තාවන්, කිරි දෙන අම්මලාව රැකියාවලට ගන්නේ නැතිව ඉන්න උත්සහ කරනවා. මොකද ඒ අයට මේ අයිතිවාසිකම් දෙන්න සිදුවෙන නිසා. ඒ නිසා ම කාන්තාවන්ට වෙනස්කොට සැලකීමකටත් මුහුණ දෙන්න සිදුවෙලා."

ස්වස්තිකා පවසන්නේ මෙම එකාකෘතීන් බිඳ දැමීමට නම් රජය විසින් මැදිහත්ව මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තවදුරටත් පුළුල් කළ යුතු බවයි.

(bbc/Sinhala)