මාසික වැටුප රුපියල් ලක්ෂයකට ඉහළ සියල්ලන්ගෙන් ආදායම් බදු එකතු කිරීමට එරෙහිව කොළඹ සහ වෙනත් ප්‍රධාන නගරවල රජයේ සහ රාජ්‍ය සංස්ථා ක්ෂේත්රයේ විරෝධතා සංවිධානය වන්නේ පෞද්ගලික අංශයේද වෘත්තීය සමිතිවල සහාය ඇතිවය. පහළ මැදපංතිය හසු කෙරෙන ඒ ආර්ථික තෙරපීම ආණ්ඩු විරෝධයට අලුත් හඬක් හැඩයක් එකතු කරන්නේය.
මේ වර්ධනය වන ආණ්ඩු විරෝධය සමග ලබන මාර්තු 09 වන දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයද ආණ්ඩු විරෝධයක් ගොනු කෙරෙන ප්රචාරක ව්‍යාපාරයක් බවට දේශපාලන පක්ෂ විසින් යොදා ගැනේ. කොළඹ ආණ්ඩුව මාරු කිරීමේ කිසිම වගකීමක් පළාත් පාලන මැතිවරණයට අදාල නැතත් මේ සැවොම මෙදා තරග කරන්නේද මෙතෙක් රට පාලනය කළ අයට දොස් කියමින්, රටේ අර්බුද සඳහා අනෙකුන්ට වරද පටවමින්, තම හැකියාව සුදුසුකම ගැන වර්ණනා කරමින්ය.
පළාත් පාලන ආයතන පත් කෙරෙන්නේ විශේෂයෙන් වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ සුව පහසුව වැඩි දියුණු කිරීමේ වගකීම හා කාර්යභාරය වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී මහජන නියෝජනයක් ලෙසින් ය. නමුත් මේ කිසිවකුගේ මැතිවරණ ව්‍යාපාර වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා, ඉල්ලීම් සම්බන්ධ මැතිවරණ ව්‍යාපාර නොවේ. මේ මැතිවරණ ව්‍යාපාර සියල්ලෙහි ඇත්තේ, (1) පවතින ආණ්ඩුවට ජනවරමක් නොමැති බව සනාථ කිරීම (2) මහ මැතිවරණයේදී ආණ්ඩු බලය ගැනීම (3) දූෂණයෙන් තොර ආණ්ඩු හැදීම සහ (4) අනෙක් හැමෝම අසාර්ථක හෙයින් අපට එක් වරක් ආණ්ඩු බලය දී බලන්න වැනි, පළාත් පාලන මැතිවරණයකට කිසිසේත් අදාල නොමැති වල් පල් කතා ය. ඒවායේ මහ මැතිවරණයකට අදාල ජාතික අර්බුද සඳහා ඉදිරිපත් කෙරෙන විසඳුම් හෝ නැත.
පළාත් පාලන මැතිවරණය...
පළාත් පාලන මැතිවරණයේ මායිම් තීන්දු කෙරෙන්නේ පනත් 03 කින් ය. මහ නගර සභා සඳහා 1947 අංක 29 දරණ ආඥා පනතත් නගර සභා සඳහා 1939 අංක 61 දරණ ආඥා පනත සහ ප්‍රාදේශීය සභා සඳහාවන 1987 අංක 15 දරණ පනතත් ඊට අදාල වන පනත් ය. මේ පනත් මගින් මාර්ග හා කාණු පද්ධති, කසළ ඉවත් කිරීම, ප්‍රජා සෞඛ්‍ය සේවා පවත්වා ගැනීම, උද්‍යාන හා ක්‍රීඩා පිටි ඉදිකිරීම හා නඩත්තු කිරීම, වැසිකිළි වැනි පොදු පහසුකම් හා වෙළඳ සංකීර්ණ ඉදිකිරීම හා නඩත්තු කිරීම, කර්මාන්ත සඳහා පරිසර බලපත්‍ර නිකුත් කිරීම, ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ලබාදීම වැනි සැළකිය යුතු ප්‍රජා සේවා සහ නියාමන කටයුතු ප්‍රමාණයක් පළාත් පාලන ආයතන වෙත ලබා දී ඇත. පළාත් පාලන ආයතන සම්බන්ධව කිසිවකු කතා නොකරන, බොහෝවිට කිසිවකු නොදන්නා, තම බල ප්‍රදේශයන්හි පාසල් අධ්‍යාපනය දියුණු කිරීමේ පහසුකම් සැළසුම්කර ස්ථාපිත කිරීමේ බලයද පනත් තුනෙහිම ඇත. එය ප්‍රාදේශීය සභා පනතෙහි කියවෙන්නේ, (19/අ සහ ආ වගන්ති) ගොඩනැගිලි, පුටු මේස, ක්‍රීඩා පිටි, නේවාසිකාගාර, ගුරු නිවාස, ක්‍රීඩා භාණ්ඩ සහ පුස්තකාල පහසුකම් සඳහා සැළසුම්කර අදාල ආයතන වෙත ඉදිරිපත් කිරීමත්, බල ප්‍රදේශයේ පාසල් විවෘත කිරීම, වසා තැබීම, පාසල් ඒකාබද්ධ කිරීම, නම් කිරීම හා උසස් කිරීම අදාල ආයතන වෙත නිර්දේශ කිරීමත් ලෙසින්ය.
එවගේම මහ නගර සභා සඳහා මහේස්ත්රාත්වරයෙකු පත්කර ගැනීමේ බලයද ඇත. එකී මහ නගර මහේස්ත්රාත්වරයාට මහ නගර සභා ආඥා පනත මගින් ආහාර හා ඖෂධ පනත, රථ වාහන පනත, සුරා බදු පනත, පොලිස් ආඥා පනත වැනි පනත් 32 ක් යටතේ නඩු අසා තීන්දු ලබා දීමේ අධිකරණ බලතලද ඇත.
එවන් බල තල සමග කටයුතු කළ හැකි පළාත් පාලන සභා පත්කර ගැනීමට නම් ඡන්දදායකයා ඒ පිළිබඳව දැනුවත් විය යුතුය. තමන්ගේ ඡන්දය වෙනුවෙන් පළාත් පාලන ආයතනයෙන් තමන්ට ලබා දෙන්නේ මොනවාදැයි අපේක්ෂකයින්ගෙන් අසන්නට තරම් සමාජ වගකීමක් ඇති ඡන්දදායකයෙකු විය යුතුය. තරග කරන පක්ෂ හා කණ්ඩායම් වලින් ඔවුන් අනුන්ට එරෙහිව නගන දූෂණ වංචා පිළිබඳ චෝදනා, රට අර්බුදයට පත් කළේ යැයි නගන චෝදනා පැත්තකින් තබා පළාත් පාලන බල ප්‍රදේශයේ වරිපනම් බදු ගෙවන්නන්ගේ සුව පහසුව, සේවා සහ පොදු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ සැළසුම් ප්‍රකාශයට පත් කරන මෙන් ඉල්ලා සිටින ඡන්දදායකයෙකු විය යුතුය.
මා දන්නා මැතිවරණ ඉතිහාසයේ මැතිවරණ වලට ඉදිරිපත්වන පක්ෂ හා කණ්ඩායම් එවැනි සංවර්ධන සැළසුම් පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත්කර නැත. ඔවුන් මහ මැතිවරණ වලදී මෙන් සරළ ජනප්‍රිය පොරොන්දු ලේඛනයක් ඉදිරිපත් කරනවා මිස නගර සැළසුම් කිරීම සම්බන්ධයෙන් කිසිවක් කතා කරන්නේ නැත. එවැනි කාරණා ගැන අවබෝධයක් ඇති අපේක්ෂකයින් මේ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන්නේද නැත.
එසේනම්, ඔවුන්ගේ අපේක්ෂකයින් කුමන වර්ගයේ අපේක්ෂකයින්ද? මේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේද දැකිය හැකි දේශපාලන පක්ෂ සතු ආවේනික බංකොලොත්කම ඇත්තේ එතැනය. මහ මැතිවරණ වේවා, පළාත් පාලන හෝ පළාත් සභා වේවා, දේශපාලන පක්ෂ මැතිවරණ වලදී පෙනී සිටින්නේ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීමේ සැළසුම් වෙනුවෙන් නොවේ. ඔවුන් තවමත් ඉන්නේ ඩොනොමෝ කොමිසම විසින් මීට අවුරුදු 92 ට කලින් 1931 දී සර්වජන ඡන්දය ලබා දුන් විට රාජ්‍ය මන්ත්‍රන සභා මැතිවරණයේදී ඡන්ද එකතු කෙරුණු අයුරු කුලය, ජාතිය, ආගම අනුව ඡන්ද එකතු කර ගැනීමට ය. ඔවුන් අපේක්ෂකයින් සොයන්නේ ඒ වෙනුවෙනි. දේශපාලන පක්ෂවලට ආසන සංවිධායකයින් පත් කිරීමේදී හා නාමයෝජනා සැකසීමේදී ප්‍රදේශයේ කුල ඡන්ද පදනම හා ජාතිය වැදගත් වන්නේ එබැවින්ය. දැන් වෙනසකට ඇත්තේ එවැනි අපේක්ෂකයින් සඳහා ජාවාරම්කාර අනුග්රාහකයින්ද සිටිය යුතු වීමය.
ඒ බංකොලොත් දේශපාලනයෙහි අනෙක් කොටස ඇත්තේ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී පළමු සර්වජන ඡන්දය භාවිත කළ ඡන්දදායකයා තවමත් ඡන්දදායකයෙකුව සිටීමෙහිය. පැරණි කුලවාදී ජාතිවාදී ඡන්දදායකයා වෙනුවට සමාජ වගකීමක් ඇතිව ඡන්දය භාවිත කරන දියුණු, දැනුවත් ඡන්දදායකයින් හදා ගැනීමට කිසිදු සමාජ සංවාදයක් ගෙවුනු අවුරුදු 92 ක කාලයේ මේ රටේ නොපැවැත්වින. සාධාරණ මැතිවරණ ගැන, අවංක උගත් පාර්ලිමේන්තු පත්කර ගැනීම ගැන කතා කෙරෙන්නේ පැරණි වැඩවසම් ඡන්දදායකයා සමගින්ය. ඒ ඡන්දදායකයා ලීවයිස් ඩෙනිමක් හැඳ අම්බරුවන් බැඳගෙන කුඹුරු හාන අතර, රිමෝට් සවනාධාර කණේ ගසාගෙන ඉණේ රඳවාගත් සුපිරි ජංගම දුරකතනයෙන් “ලංකාවට එහෙම වෙන්නේ නැහැ” යැයි සින්දු අසන ගොවියෙක් වැනිය. ඔවුන්ට හොඳ වර්ගයේ නාඹර අම්බරුවන් සොයන හැටි කියා දුන්නාට, ඔවුන් පුරුදු අම්බරුවන් අතහරින්නේ නැත.
සර් ව ජන ඡන්දය...
මේ අතිශය පසුගාමී, වැඩවසම් සමාජයේ ආගම්වාදී ජාතිවාදය, කුලය මැතිවරණ වලදී නිශේධාත්මකව පමණක් නොව, අගතිගාමී ලෙස අනාගතයටද බලපාන්නට ඇති ඉඩ කඩ ගැන ඩොනොමෝ කොමිසම අනතුරු ඇඟවූයේ අවුරුදු 92 ට පෙර ය. ඔවුන් සර්වජන ඡන්දය නිර්දේශ කළද, පූර්ණ නිදහස නිර්දේශ නොකෙරුවේද පාලනයේ බහුතර ජාතිවාදය, වාර්ගික අඩුතරයට අවාසිදායක ලෙස ක්‍රියාත්මක වීමේ සියලු ඉඩ කඩ ඇති නිසා යැයි ඩොනොමෝ වාර්තාවෙහි සඳහන් වන්නේ ය.
ඩොනොමෝ වාර්තාවෙහි කිහිප තැනක කිහිප ආකාරයකින් අවධානයට යොමු කෙරෙන මේ කාරණය “මූලික සළකා බැලීම්” නම් පරිච්ඡේදයෙහි සටහන් වන්නේ, “......අප කලින් දක්වා ඇති අයුරු, වාර්ගික නියෝජනයේ අගතීන් විසින් වාර්ගික වෙනස්කම් අඩුකර නැත. සිදුකර ඇත්තේ ඒවා වර්ධනය කිරීමය. එවගේම කුල අනන්‍යතා හැම විටම බරපතලය. කාලයත් සමග ඒවායේ ආත්මීය ආකර්ශනය අඩුවී නැත. දේශපාලන පක්ෂ පදනම්වන පාලනයක රාමුව සකස් කිරීමේ නිත්‍ය බලපෑමක් කිරීමට මෙවැනි කඩතොලු සතු අවකාශය ගැන අපි බිය වන්නෙමු. වාර්ගික හෝ කුල අනුව දේශපාලන පක්ෂ බිහිවීම රටේ අනාගතයට බරපතල අවදානමක් විය හැකි බව අප අමුතුවෙන් කිව යුතු නැත. දේශපාලන පක්ෂ මත පාලන තන්ත්රය තීන්දු කිරීමේ ආසන්න හැකියාවක් දැනට නැති වූවාට, ඉදිරියේදී දේශපාලන පක්ෂ බිහිවීමේදී ජනවර්ග හා කුල සඳහා විශේෂ සැළකීමක් තබා ගැනීම, නොසළකා හැරිය හැකි සාධකයක්ද නොවේ.” (පිටුව - 31)
අප මෙතෙක් කටයුතු කර ඇත්තේ ඩොනොමෝ කොමිසමේ තිබූ බිය සැක නොකඩවා තහවුරු කිරීමටය. කුල, ජාති, ආගම් අනුව සමාජය බෙදා තබා ගන්නා දේශපාලන පක්ෂ හදා වඩා ගනිමින්ය. නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ සිටම ඡන්ද භාවිත වූයේ සිංහල-බෞද්ධ ආණ්ඩු පත්කර ගැනීමටය. 1948 නිදහස් ලංකාව බාර දුන් පළමු ආණ්ඩුව විසින් 1948 වසර අවසන් වන්නටත් කලියෙන් උඩරට වතුකරයේ ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ශ්‍රමිකයින්ගේ පුරවැසි අයිතිය හා ඡන්ද බලය අහෝසි කරමින් ඔවුන් සරණාගත ශ්‍රමිකයින් බවට පත් කළේය. නමුත් ඔවුන්ගේ ශ්‍රමය අපගේ ආර්ථික වාසියට තබා ගත්හ. කලින් 1952 මහ මැතිවරණයේදී සියයට 15.5 ක් ඡන්ද ලබා ආසන 09 ක් දිනූ බණ්ඩාරනායකගේ නායකත්වයට 1956 මහ මැතිවරණයේදී සියයට 39.5 ක් ඡන්ද ලැබී ආසන 52 ක් සමග ආණ්ඩුවක් හදන්නට හැකි වූයේ පැය 24 න් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට ලබා දුන් පොරොන්දුව නිසා ය. ඩොනොමෝ කොමිසම කියූ පරිදි බහුතරයේ බලපෑමෙන් රාජ්‍ය හැඩවීම වැළකිය නොහැකි වූයේ බහුතර ඡන්දදායකයා විසින් පත් කෙරෙන ආණ්ඩු සිංහල-බෞද්ධ ආණ්ඩු වන නිසාය. ජයවර්ධන ජනාධිපතිගේ අනුග්‍රහය ඇතිව සිරිල් මැතිව් ඇමතිවරයා විසින් සිංහල-බෞද්ධ ජාතිවාදය මෘග ලෙස ලිහා දැමූ පසු රාජ්‍ය යාන්ත්රණයද ඒ සිංහල-බෞද්ධ බලහත්කාරයට අනුගත වන්නට විය.
රාජ්‍ය පරිපාලනයේ සිංහල-බෞද්ධ ආධිපත්‍ය පැහැදිලිව හඳුනාගත හැකි වූවත් ඊට වඩා සියුම් නමුත් බරපතල අවදානමක් පවතින්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ කල්කිරියාවෙහිය. පසුගිය 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ පක්ෂ, සන්ධාන අතරින් 12 ක්ම මැතිවරණ කොමිසම විසින් පිළිගත් වාර්ගික පදනම් සහිත නිල නාම භාවිත කරන්නාවූ පක්ෂ ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග නියෝජනය කිරීමේ වාර්ගික අයිතිය වෙනුවෙන් පක්ෂ පිළිගැනීමෙන් මැතිවරණ කොමිසම ඔප්පු කරන්නේ ඔවුන් සතු සමාජ වගකීමක් හා ශිෂ්ට සමාජයක තිබිය යුතු සාදාචාරයක් නොමැති බව ය. පක්ෂයක් පිළිගැනුමට මැතිවරණ දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි වීමේදී අනිවාර්යෙන් භාර දිය යුතු පක්ෂ ව්‍යවස්ථාවෙහි සිය පක්ෂයේ ඒකායන අරමුණ ලෙස, “......සිංහල ජාතික දේශපාලනයක් තුලින් මැතිවරණ ජයග්‍රහණය කොට, පක්ෂය සිංහලදීපය තුල ආණ්ඩුවක් පිහිටුවා සිංහලදීප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවා, සිංහල ජාතික රාජ්‍ය යළි ස්ථාපිත කිරීම, පක්ෂයේ අරමුණ වන්නේය” යනුවෙන් සපථකර ඇති පක්ෂයක්ද ඇත.
සිංහල බෞද්ධ ජාතික දේශපාලනය...
මැතිවරණ කොමිසම විසින් මෑතක පිළිගනු ලැබූ තවත් පක්ෂයක ව්‍යවස්ථාවෙහි පළමු ප්‍රතිපත්තිය වන්නේ බෞද්ධ දර්ශනයට (මේ රටේ එය ආගමකි) අනුකූලව රාජ්‍ය ගොඩ නැගීමත් බුද්ධ ශාසනය සුරක්ෂිතකර පෝෂණය කිරීමත් ය. මැතිවරණ දෙපාර්තමේන්තුව සතුව ඇති බහුතරයක් දෙමළ හා මුස්ලිම් පක්ෂවල ව්‍යවස්ථා දෙමළ බසින් ඇති හෙයින් ඒවායේ අන්තර්ගතය ගැන කිසිවක් කීමට නොහැකි වූවත් ඉංග්‍රීසි බසින් ඇති ව්‍යවස්ථා කිහිපයක එවැනි ජාතිවාදී අරමුණු ඉදිරිපත්කර නැත. ඔවුන් කියන්නේ බහුවාර්ගික, බහුආගමික රටක් වශයෙන් පිළිගන්නා ශ්‍රී ලංකාවේ දෙමළ හා මුස්ලිම් ජනතාවට සමාන පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් අයිතිය සාක්ෂාත් කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදීව මැදිහත්වන බවය.
“වාර්ගික හෝ කුල අනුව දේශපාලන පක්ෂ බිහිවීම රටේ අනාගතයට බරපතල අවදානමක්” යැයි ඩොනොමෝ කොමිසම බිය පල කර ඇඟවූ අනතුර වර්ධනය කෙරෙන සේ කටයුතු කරන්නාවූ ස්වාධීන යැයි සැළකෙන මැතිවරණ කොමිසමක් සමගින් අපි “සාධාරණ, නිදහස් මැතිවරණ” යැයි ඡන්ද පවත් වන්නෙමු. ඒ මැතිවරණ වලදී ඡන්දය භාවිත කරන මිලියන 16 ට වැඩි ඡන්දදායකයා තවමත් අවුරුදු 92 ට පෙර සිටිය කුලය, ජාතිය, ආගම අනුව සිය මන්ත්‍රීවරයා තෝරා පත් කර ගැනීමට ඡන්දය භාවිත කරන ඡන්දදායකයාගේ නවතම පිරිහීමකි. අද ඒ පැරැණ්නා පසුගාමී වැඩවසම් තේරීම් වලට පෞද්ගලික වාසි සඳහා ඡන්දය භාවිත කිරීමද එකතු කර ගත් ඡන්දදායකයෙකි.
දේශපාලන පක්ෂ දායක වන්නේද ඒ ඡන්දදායකයා නඩත්තු කිරීමටය. එබැවින් “සිස්ටම් චේන්ජ්” ගැන ලොකුවට පෙනී සිටින්නන් විසින් සියල්ලට පෙර කළ යුත්තේ මේ පළාත් පාලන මැතිවරණයේ ඡන්දදායකයාගේ සමාජ වගකීම් ගැන කතා කිරීමය. පළාත් පාලන බල ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් අපේක්ෂකයින් කියන්නේ කරන්නේ මොනවාදැයි ඇසීමට ජන්දදායකයා දැනුවත් කිරීමය. මහ මැතිවරණ කතා මේ පළාත් පාලන මැතිවරණ වේදිකාවෙන් පිටත වෙනම සංවාදයක් බව අපේක්ෂකයින්ට හා දේශපාලන නායකයින්ට කීමට, ඡන්දදායකයින් දැනුවත් කළ යුතුය.
අවසන් වශයෙන් කිව යුත්තේ ඒ ඒ මැතිවරණ වලදී ඊට අදාලව ඡන්දය භාවිත කිරීමේ සමාජ වගකීම පිළිබඳ සංවාදයක් අවුරුදු 92 ට පසු දැන්වත් ආරම්භ නොකළහොත් මේ රට මහා අර්බුදයකට ගමන් ගැනීම, තරුණ මහළු යැයි ආණ්ඩු මාරු කිරීමෙන් නවතා ගත නොහැකි බවය.
| කුසල් පෙරේරා
2023 පෙබරවාරි 08 වන දින