“ඇය වෙනුවෙන් පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගන්වමු“ - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

parliament-women-group

"ඇය වෙනුවෙන් පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගන්වමු - ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය පිටු දැකීමේ ක‍්‍රියාකාරකම් කළ යුතු දින දහසය හා සබැඳි ගෝලීය ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහයෝගීතාවයෙන් සිටී"

 “ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය“ (GBV), ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ පාරිභාෂික වචනවල සාමාන්‍ය යෙදුමක් බවට පත්ව ඇත. අපි ඒ ගැන නැවත නැවතත් කතා කළෙමු, ඇත්ත වශයෙන්ම එහි හරය නැති වී ඇත. නමුත්, එය හුදු වචනයක් පමණක්ම නොවේ. එය ලෝකයේත් ශ්‍රී ලංකාවේත් අතිශය කටුක යථාර්ථයකි”. ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

සංඛ්‍යාලේඛන වලට කිව හැක්කේ සත්‍යයෙන් කොටසක් පමණක් වුවද සංඛ්‍යාලේඛන දෙස බැලීම ප‍්‍රයෝඡනවත්ය. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට එරෙහි හිංසනය (VAW) පිළිබඳ පළමු ජාතික සමීක්ෂණය වන කාන්තා යහපැවැත්ම පිළිබඳ සමීක්‍ෂණය - 2019 වාර්තා කරන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු යම් ආකාරයක ශාරීරික හෝ ලිංගික හිංසනයකට මුහුණ දී ඇති බවයි. කාන්තාවන්ගෙන් සියයට 40 කට ආසන්න ප‍්‍රමාණයක් සහකරුවාගෙන් කායික, ලිංගික, චිත්තවේගීය සහ/හෝ ආර්ථික හිංසනයට සහ/හෝ හැසිරීම් පාලනය කිරීම් වලට භාජනය වී ඇත. වතුකරයේ කාන්තාවන්ගේ තත්ත්වයන් අතිශය දරුණු බව සමීක්ෂණයෙන් අවධාරණය කරයි. කායික හා ලිංගික හිංසනය බොහෝ දුරට නැවත නැවත සිදුවන බව වාර්තාව සනාථ කරයි. උදාහරණයක් වශයෙන්, ලිංගික දූෂණයට ලක්වන කාන්තාවන්ගෙන් සියයට 65 ක්, දෙවරක් හෝ තුන් වතාවක් මෙම හිංසනයට මුහුණ දුන් බව වාර්තා කර ඇති අතර සියයට 32 ක් පස් වතාවකට වඩා ලිංගික දූෂණයට ලක්වන බව වාර්තා වෙයි. සමීප සහකරු නොවන වෙනත් අයකුට වඩා සමීප සහකරුවන් ශාරීරික හිංසනය ඇති කරන බව වාර්තා විය.

කාන්තාවන්ට එරෙහි හිංසනයට ගොදුරු වූ කාන්තාවන් තුළ දිගු කාලීන ශාරීරික හා මානසික සෞඛ්‍ය බලපෑම් කැපී පෙනෙන ලෙස වාර්තා විය. වින්දිතයින්ගෙන් සියයට 30කට ආසන්න ප‍්‍රමාණයක් ලිංගික හා ශාරීරික හිංසනය හේතුවෙන් දිගින් දිගටම තුවාල ලබා ඇති බව වාර්තා වූ අතර සියයට 20කට ආසන්න ප‍්‍රමාණයකට තුවාල සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය බව වාර්තා විය. සහකරුවෙකු මඟින් ලිංගික හිංසනයට ගොදුරු වූ වින්දිතයින්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් ඔවුන් මුහුණ දෙන හිංසනයේ බලපෑම  “අති විශාල ලෙස ශ්‍රේණිගත කළ අතර තවත් සියයට 30ක් එය තරමක්” ලෙස ශ්‍රේණිගත කර ඇත.

ප‍්‍රවෘත්තිවල නැවත නැවතත් වාර්තා වූ පරිදි, කෝවිඩ් 19 ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කාන්තාවන්ට එරෙහි ලිංගික හා ශාරීරික හිංසන මට්ටම් උග්‍ර කළේය.

ශ්‍රී ලංකාව තුළ ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත‍්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (ස්ත‍්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය පිළිබඳ තේරීම් කාරක සභාව) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පිහිටුවා ඇත. තේරීම් කාරක සභාව ගරු ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායකය සහ විධායකය සමඟ අත්වැල් බැඳගනිමින් ඔවුන්ගේ නියෝජිත සහ අධීක්ෂණ භූමිකාවන් භාවිතා කරමින් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ අයුක්තිය සහ අසමානතාවය තුරන් කිරීමට කටයුතු කරයි.

සෑම වසරකම නොවැම්බර් 25 දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේ සිට දෙසැම්බර් 10 වන දිනට යෙදෙන මානව හිමිකම් දිනය දක්වා දින 16 ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි දින 16 යේ ක‍්‍රියාකාරිත්වය ලෙස ගෝලීය වශයෙන්

සනිටුහන් කරන බැවින්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ UNiTE  නම් ව්‍යාපාරය මෙම වසරේ ගෝලීය තේමාව  “ඇය වෙනුවෙන් ලෝකය තැඹිලි පැහැ ගන්වමු“ කාන්තාවන්ට එරෙහි හිංසනය දැන්ම අවසන් කරමු!” මැයින් ප‍්‍රකාශයට පත් කර ඇත.

තේරීම් කාරක සභාවේ මුලපිරීමක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් (නොවැම්බර් 25) දින පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වීමේ අරමුණින් තැඹිලි වර්ණයෙන් යුත් ඇදුම් ඇඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවද ගෝලීය ව්‍යාපාරය සමඟ සහයෝගීව සිටිමින් ගෝලීය තේමාව සමඟ ඒකාබද්ධ වේ.

අවිධිමත් අංශය තුළ කාන්තාවන්ට මුහුණදීමට සිදුවන හිංසනයන් පිළිබඳව අවධාරණය කරමින් තේරීම් කාරක සභාවේ සාමාජිකාවක වන ඩයනා ගමගේ මහත්මිය 2021 නොවැම්බර් 11 වැනි දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ  කාන්තාවන්ට සිදු වන වෙනස් කොට සැලකීම් හේතුවෙන් ඔවුන් අනාරක්ෂිත රැකියාවල නියැළීමට නැඹුරු වන බවයි. වෙනස් කොට සැලකීම් නිසා ඔවුන්ට බොහෝ හිරිහැරවලට මුහුණ දීමට සිදු වේ. එය ලිංගික, මානසික හිරිහැර සහ සමහර අවස්ථාවලදී ශාරීරික හිරිහැර විය හැකිය. ඒ නිසා එම තත්ත්වය වෙනස් කළ යුතුයි.”

තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු සහ ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය සහ සමාජීය ඇතුළත්භාවය පිළිබඳව නිරන්තරයෙන් උනන්දුවක් දක්වන ගරු එරාන් වික‍්‍රමරත්න මහතා සඳහන් කළේ  “අපි සමාජයක් ලෙස කාන්තාවන්ට සහ සියලූ මිනිසුන්ට ගෞරවයෙන් සැලකිය යුතු කාලය එළඹ ඇති බවයි! ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය ලොව පුරා පැතිර පවතී. එහෙත් එය නොවැළැක්විය හැකි සංසිද්ධියක් ලෙස නොසැළකිය යුතුය. මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් අපට අවශ්‍යයි. බලවතුන්ගේ කෝපය හා කලකිරීම් පිට කිරීමට කාන්තාවන් යොදා ගැනීම සිදු නොවිය යුතුය! කාන්තාවන් ගොදුරු නොවේ! අද බොහෝ කාන්තාවන් පවුලේ ආර්ථික කටයුතුවලට දායක වෙනවා. එසේ නොවුණත් කාන්තාවන් පවුල සහ සමාජය තුළ තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකරයි. වාර්තා වන කරුණු සහ සංඛ්‍යාලේඛන පිළිබඳව රටක් හා ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතුය. සෑම ආකාරයකම ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය වැළැක්වීමට අපි අපේ උපරිමය කළ යුතුයිග”

තවද, ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවයට එරෙහිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප‍්‍රබල හඬක් නගන පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ උප සභාපතිනි රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය ප්‍රකාශ කළේ , කාන්තාවන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක් වුවත්, ගෘහණියක් වුවත් සමාජයේ සෑම දෙනාගේම ගෞරවයට පාත්‍ර විය යුතුමයි! පාර්ලිමේන්තු කාන්තා සංසඳය සහ තේරීම් කාරක සභාව ලෙස අප උත්සාහ කරන්නේ එයයි. විශේෂයෙන් විවිධ ස්වරූපවලින් කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසනයන් සහ කාන්තා අයිතිවාසිකම් කඩ කරන පුද්ගලයන්ගේ නිර්ලජ්ජිත ක‍්‍රියා සහ කතාවලට එරෙහිව නැගී සිටීමට මගේ සහෝදර මන්ත‍්‍රීවරුන්ගෙන් සහ මුළු සමාජයේම සහයෝගය ඉල්ලා සිටිමි.

 “අද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලෙස අප කරන්නේ සංකේතාත්මක පියවරක් පමණක් නොවේ. ස්ත‍්‍රී- පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය සහ කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට එරෙහිව නැගී සිටීමේ වගකීම සෑම පුද්ගලයෙකුටම පැවරී ඇති බවට සමාජයම දැනුවත් කිරීමක් සිදු කරන බව” පවසමින් ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවේ මෙම කුඩා දිවයිනේ සහ ඉන් ඔබ්බෙහි වූ ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය තුරන් කළ යුතු බවයි.