මිරිඟුවක් පසුපස යන දුම්රිය මඟීන්..

මිරිඟුවක් පසුපස යන දුම්රිය මඟීන්..
වසර ගනනාවක් රටේ පැවති අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් නතර කර දමා  තිබූ දුර ගමන් සේවා දුම්රිය මේ වනතුරු ආරම්භ කිරීමට දෙපාර්තමේන්තු බලධාරීන් අපොහොසත් ව ඇත. කොවිඩ් මුවාවෙන් යටපත් කොට සිටි මෙම කාරණාවෙන් මඟී ජනතාව දැඩි පීඩා විදිමින් සිටි කාලයේ ඊට එරෙහිව මඟීන් වෙනුවෙන් දැඩි වෘත්තිය අරගලයක යෙදීමට ශ්‍රී ලංකා දුම් රිය ස්ථානාධිපති සංගමයට සිදුවිය. 
 
මේ හේතුවෙන් නිහඬව කල් මැරීමට නොහැකි වූ පාලනාධිකාරිය දුර ගමන් සේවා වන කොළඹ කොටුව/බදුල්ල රාත්‍රී තැපැල්  ,බෙලිඅත්ත වව්නියාව රජරට රැජින, කොළඹ කොටුව - මඩකළපුව , කොළඹ කොටුව - ත්‍රීකුණාමලය තැපැල් දුම්රිය 2021/12/27 වනදින ආරම්භ කිරීමට සැලසුම් වුවත් එය නැවතත් අවලංගු කොට  නව වසර ආරම්භයේ කොළඹ කොටුව -කන්කසන්තුරය තැපැල් දුම්රිය පලමු දින සිට ක්‍රියාත්මක කරන බවට පුලුල් ප්‍රචාරයක් ගෙන ගිය අතර එය නැවතත් දෙවනදා දක්වා කල් දැමීය. මේ වන විට දෙවනඳාත් ආරම්භ කර ගැනීමට  දෙපාර්තමේන්තු පාලනාධිකාරිය අපොහොසත් වී ඇත. එය මේ වන විට ජනවාරි මස 09 වන දින දක්වා කල් දමා ඇත. මෙසේ මඟී ජනතාවගේ ගමන් බිමන් විහිලුවක් වී ඇති පාලනාධිකාරයට 09 වනදා ආරම්භ කර ගැනීමට හැකිවේදැයි අප සංගමයට සැක සිතේ..
 
දුම්රිය රියදුරු සහයකයින් ගේ අඩුවක් පැවතීම හේතුවෙන් ඔවුන් නොමැතිව දුම්රිය ධාවනය සිදු  කීරීමට නොහැකි බව ඔවුන් දන්වා සිටී. කෙසේ  වෙතත් ගැටලු වලට නිසි විසඳුම් ක්‍රියාත්මක නොකොට දිනෙන් දින කල් දමමින් මඟීන් අපහසුතාවට පත්වන අයුරින් මෙසේ පාලනාධිකාරය ගෙනයන අවිධිමත් වූ වැඩ පිලිවෙල විද්‍යුත් , මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය මඟින් දුම්රිය ධාවනය ප්‍රචාරය වීම නිසා දුම්රිය ගමන් පහසුව සලසා ගැනීමට දුම්රිය ස්ථාන වෙත පැමිණෙන මඟීන් හට නැවත ආපසු යාමට සිදුවී ඇත. වගකීම් විරහිතව මෙසේ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය වශයෙන් අපගේ බලවත් විරෝධය පාලනාධිකාරය වෙත එල්ල කර සිටින අතර මෙසේ දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීමේ සම්පූර්ණ වගකීම ඔවුන් බාර ගත යුතු බවට තව දුරටත් දන්වා සිටිමු.
 
කසුන් චාමර 
ප්‍රධාන ලේකම්,

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය