තරමක් ආන්දෝලනාත්මක මාතෘකාවක් යටතේ අදහස් කිහිපයක් සටහන් කිරීමට මෙම රචනාව යොදා ගන්නෙමි. පවතින දේශපාලන යතාර්ථය අනුව මාතෘකාවේ ගම්‍ය පණිවිඩය පාඨකයින්ට ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි වුවද, මෙම ලිපියෙන් ශ්‍රී ලංකාව සතු වටිනාම ජාතියේ මානව සම්පත මුහුණ පාන ගැටළු සහ අභියෝග රැසක් සාකච්ඡාවට ලක් කෙරේ.
නිදහස් අධ්‍යාපනය ඉහළ සාක්ෂරතාවය ගැන මහත් අභිමානයකින් සිටි ජාතියක් වූ අප, වසරක් පතා වැඩිවෙන රැකියා විරහිත උපාධිධාරීන් පිලිබඳ අවධානයක් යොමු කළේ ද? උසස් අධ්‍යාපනය හා සම්බන්ධ නිලධාරීන් මෙම තත්වය පිළිබඳව අවධානය හරිහැටි යොමු නොකිරීමෙන් සහ ඔවුන්ගේ වගවීම සහ වගකීම නිසියාකාරයින් ඉෂ්ඨ නොවීම නිසා ජාතියේ වටිනාම සම්පතේ නිසි දායකත්වය සංවර්ධන ක්‍රියාවලියට මුසු කරගත නොහැකි විය. ජාතියේ තරුණ තරුණියන් සිය හැකියාවන් සහ නිපුණතාවන් වලින් රටේ සංවර්ධනයට මෙහෙවරක් නොකරම පරම්පරා කිහිපයක්ම අවාසනාවකට නොපිපීම පරවී ගොස් ඇත. ඉන් සමහරක් දකුණේ සහ උතුරේ සමාජ අසාධාරණයන්ට එරෙහිව ක්රමවේදයම වෙනස් කරවීමට මූලිකත්වය ගෙන අරගල කර අකාලයේම දිවි පිදූහ. මෙම තත්වය වහා නිවැරදි කරගැනීම ශ්‍රී ලාංකේයන් අපේක්ෂා කරන පද්ධතිමය වෙනසේ මූලික සංගඨකයන් විය යුතුවේ.
වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අවපාතය සහ විදේශ ආයෝජන නොලැබීම නිසා රැකියා උත්පාදනය නොවීම හේතුවෙන් රට හැරයන ජාතියේ සම්පත රඳවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මත කළ යුතු ප්‍රතිපත්ති සැළසුම්කරණය පිලිබඳ බුද්ධිමය සමාජ කතිකාවන් ඇති නොවීම අවාසනාවන්ත තත්වයකි. යටත් විජිත සමයේ ක්‍රියාත්මක වූ සියළු පාර්ශවකරුවන් හා සංවාද සාකච්ඡා වලින් තොරව ඉහළ සිට පහළට ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති සම්පාදනය, වෙනස් කළ යුතු වගක් වර්තමාන දේශපාලකයින් තේරුම් ගෙන නොමැත. ඔවුන් සියළු දෙනාම ලහිලහියේ දඟලන්නේ රාජ්‍ය බලය කෙසේ හෝ ඩැහැගෙන තමන්ට අවශ්‍ය චින්තනය ක්‍රියාත්මක කරවීමට ය. ශ්‍රී ලංකාව පළමුවෙන් කළ යුතුව ඇත්තේ යටත් විජිත පාලකයින් විසින් හඳුන්වා දී ඇති 'බෙදා වෙන්කර පාලනයට පහසු' කිසිම විද්‍යානුකූල පදනමකින් තොර පරිපාලන ව්‍යූහය වෙනස් කිරීමය. ඡන්ද දායකයාට සහ බදු ගෙවන්නන්ට ඍජුව වගවෙන වගකියන 21 වැනි ශතවර්ෂයේ තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම ලෙස පරිපාලනය කළ හැකි මධ්‍යගත පාලනය විමධ්‍යගත කෙරෙන පරිපාලන ක්‍රමවේදයක් හඳුන්වාදීම මූලික ප්‍රමුඛතාවයක් කරගත යුතුව ඇත. මෙම මූලික වෙනස්වීම නොකර පවතින ක්‍රමවේදය එලෙසින්ම පවත්වාගෙන යාමෙන් සිදුවනුයේ නියෝජිත ප්රජාතන්ත්රවාදය ඔස්සේ වරප්‍රසාද සඳහා තරඟ කරන මහජන නියෝජිතයින් පත්කරන වෙනම කර්මාන්තයක් ඇතිකරවීම හැර තැලෙන මිරිකෙන පුරවැසියන්ට මොනම ආකාරයකවත් සහනයක් නොලැබීමය.
ලොවින් එකෙක් එක දේකට වෙයි සමත
නොපිපීම පරවීම මාතෘකාව යටතේ මෙම ලිපියේ අවධානය මූලිකවම යොමුවෙන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින දැනුම හඹායන, විභාග කඩයිම් කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය වහාම වෙනස් කළ යුත්තේ මන්ද යන අදහස සමාජගත කොට ඒ සඳහා වෙනත් විද්වතුන්ගේ අදහස් සහ මතවාද අවදි කරකරවීමේ සාකච්ඡාවකට මුලපිරීමය. ඕනෑම තැනැත්තෙකුගේ දැනුම හැකියාව විභාගයකින් මිණියහැකිද?
නිදහස් අධ්‍යාපනය සහ නොමිලේ සපයාදෙන අධ්‍යාපනය පැහැදිලි අරමුණු දෙකක් මත පිහිටා ඇති බව මෙම ලියුම්කරුගේ මතයයි. අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතුව ඇත්තේ සිසු සිසුවියන් ජීවිතයට සාර්ථකව මුහුණ දී සමාජයට ඵලදායි යමක් දායක කරවීමට අවැසි ශික්ෂණය ලබාදීමය. මෙය සිදුවිය යුතුව ඇත්තේ ඒ ඒ පුද්ගලයාට ආවේනික හැකියාව, නිපුණතාවය ඔහුට හෝ ඇයට හඳුනාගැනීමට මූලික අධ්‍යාපන දහරාවේදීම සපයා දීමෙන්ය. 'ලොවින් එකෙක් එක දේකට වෙයි සමත' යන ප්රස්ථා පිරුළ ඉස්මතු කරනුයේ මෙම යතාර්ථයයි. මෙම තත්වය නිර්මාණය වනුයේ අධ්‍යාපන ලාභියාට තමන්ට කැමති දේ, කැමැති අවස්ථාවක උගෙන තමන්ට තෘප්තිමත් ජීවන මාර්ගයක් තෝරාගැනීමට සුදුසු පරිසරයක් ඇතිකරවීමෙන්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් අධ්‍යාපනය ඉස්මතු කරවිය යුත්තේ මෙකී සමාජ අවස්ථාවන් බිහිකරවීමයි. මෙමගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයකට සුදානම් කරනවා වෙනුවට ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදීමෙන් ජීවනෝපායකට සුදානම් කරගනිමින් රජයේ රැකියා මත යැපීම අවම කළ හැක.
එහෙත් වර්තමානයේ සිදුවන්නේ යම් ඉහළ සමාජ පිලිගැනීමක් සහ වරප්‍රසාද වලින් පිරි රැකියාවන් ඉලක්ක කරගත් දැනුම වනපොත් කරවන, මුදල් වැයකර පෞද්ගලික උපකාරක පංති කර්මාන්තයෙන් විභාග සමත් කරවීමට ඉඩකඩ සලසන උගැන්වීමේ ක්රමවේදයකි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් බදු ගෙවන්නන් ගේ පිහිටෙන් ජාතියේ අනාගතයට නොමිලේ ලැබෙනුයේ වර්තමාන ශ්රමවෙළදපලේ ඉල්ලුමට නොගැලපෙන ශ්රමබලකායෙකි. මෙහි අවසාන ප්රථිඵලය ලක්ෂ සංඛ්‍යාත උපාධිධාරීන් රැසක් සමඟ, විශ්වවිද්‍යාල තුලින් උසස් අධ්‍යාපන අවස්තාවන් අහිමි, අපේක්ෂා භංගත්වයට ලක්වෙන තරුණ තරුණියන් සමාජගත කරවීමය. විශ්වවිද්‍යාලවලින් උපාධිය සමත් වීමෙන් පසු ඔවුන් සියළු දෙනාගේම අපේක්ෂාව රජයෙන් රැකියා උත්පාදනය කරගැනීමටය. ඒ අතරින් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි රැකියාවන්ට ඇති ඉල්ලුම වැඩි නිසා එකී අවස්ථාවන් හඹායන සිසුන් දැඩි තරඟයකට ලක්වෙති. මෙම රජයේ රැකියාවන්ට ලැබෙන වරප්‍රසාද සහ විශ්‍රාම වැටුප් නිසා යම් සේවාවක් සමාජයට ඉටුකර තම හැකියාවෙන් යමක් උපයාගනු වෙනුවට බදුගෙවන්නන්ගේ පිහිටෙන් මේ තාක් කල් සිය වැටුප සපයා ගැනීම රාජ්‍ය සේවකයින්ට හැකි විය. මෙම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව දැන් ප්රත්යක්ෂ වී ඇත. මේ තාක් කල් සිදුවූ මෙම ක්රියාදාමයේ අවසන් ප්‍රථිපලය රාජ්‍ය ආදායම සහ වියදම පාලනය කරගත නොහැකිව කරවටටම ජාතියම ණය වීමය. මෙම තත්වය ගැන අවබෝධයක් නැති දේශපාලකයින් ජාත්‍යන්තර ණය මාෆියාවේ ගිරයට හසුව ඇත. මෙම විෂම දාමයෙන් ගැලවීම ගැන කිසිම දේශපාලන පක්ෂයක් පැහැදිලි මතවාදී වෙනස්කමක් ඉදිරිපත් නොකර පැළැස්තර ඇලවීමට පමණක් සුදානම්ව සිටින වග මැතිවරණ ප්‍රකාශ වලින් දැකගත හැක.
නව තාක්ෂණය සහ සුහුරු මෙවලම් ගෙන ඒ අභියෝග වලට මානව සම්පත පෙර සූදානම් කිරීම
නිදහසින් පසු පවත්වාගෙන ආ මෙම වැඩපිලිවෙලට නව තර්ජනයන් සීඝ්රයෙන් වැඩිදියුණු වන තොරතුරු තාක්ෂණය සහ සුහුරු මෙවලම් දැන් එල්ල කර තිබේ. නව තාක්ෂණය මෙතෙක් කල් පැවැති රැකියාවන්ට දැඩි තර්ජනයක් වෙමින් රැකියාවේ ස්වභාවය සහ සේවා සපයන ක්‍රමවේදය සම්පූර්ණයේන්ම උඩු යටිකුරු කර ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩේවිඩ් ඇටෝර් සහ පිරිස කරන ලද පර්යේෂණයකදී අනාවරණය වුයේ 2018 ඇමෙරිකාවේ පවතින රැකියාවල් වලින් 60% ක් 1940 නොතිබුණු වගයි. එසේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමීක්ෂණයන්ට අනුව 2030 අවශ්‍ය වන රැකියාවන් මොනවාද යන්න පිලිබඳ ඉඟියක් ස්ථිරවම 2023 දී ප්‍රකාශ කළ නොහැකි බවයි. එබැවින් හුදෙක් අතීතයේ පැවැති රැකියාවන් ඉලක්ක කරගනිමින් වර්තමානයේ නිපුණතා සංවර්ධනය නිශ්පල ක්‍රියාවක් බව අප දැන්වත් තේරුම් ගතයුතුව ඇත.
නව තාක්ෂණයේ හැඩගැසීම සහ නිරතුරුව වෙනස්වීම හේතුවෙන් ඉදිරියේදී ශ්‍රම බලකායේ සියළු දෙනාටම සිය ජීවිතකාලය පුරාම අඛණ්ඩව උගෙනගැනීමටත් සමඟ වැඩිකාලයක් ශ්‍රම බලකායේ රැඳී සිටීමට සිදුවනු ඇත. මේ තාක් කල් පැවැති සම්ප්රදාය, වසර 30 ක් පමණ (නොමිලේ) අධ්‍යාපනය ලබා,වසර 30 ක් පමණ එකම වෘත්තියෙක නියැලී තව වසර 30 ක් විශ්‍රාම යාම තවදුරටත් පවත්වාගෙන යා නොහැක. මෙම තත්වය සමග පැණනැගෙන අභියෝග සහ අවස්තාවන් ගැන පැහැදිලි අවබෝධයකින් යුතුව, ශ්‍රී ලංකාවේ බුද්ධිමත් මානව සම්පතින් ජාතියේ අනාගතය ශක්තිමත් කිරීමට ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් පොලඹවා යල්පැනගිය අධ්‍යාපනය යාවත්කාලීන කරවීමට කාලය එලැඹ ඇත.
Artificial Intelligence (ඒ අයි) සහ Machine Learning විප්ලවය
උප මාතෘකාවේ ඇති වාඛ්‍ය ඛණ්ඩ දෙක ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කළේ සිංහලින් දැනට සපයා ඇති අර්ථ කථනය සහ පද වහර මෙම තාක්ෂණික විප්ලවය නියම ස්වභාවය ඉස්මතු නොකරන නිසාය. Artificial Intelligence (AI) යන්න කෘතිම බුද්ධිය හැටියට නිර්වචනය කිරීමම ඒ පිලිබඳ විග්‍රහය යම් සීමාවකට කොටුකරවීමකි. සිංහලින් Machine Learning (ML) යන්න යාන්ත්‍රික උගෙනීම හැටියට ලඝු කළ හැකිද? මෙම ක්‍රියාදාමයන් දෙක අතර ඇති අනොන්‍ය සබැඳියාව වර්තමානයේ විශාල පෙරළියකට මුලපුරා ඇත. තොරතුරු තාක්ෂණයේ සීඝ්‍ර පරිණාමය ML ක්‍රියාවලිය සක්‍රීය කිරීමේ ප්‍රථිපලයක් මත සුවිශාල දත්ත පද්ධතීන් ඇසුරෙන් AI භාවිතයෙන් ක්ෂණික විශ්ලේෂනයන් කරවීමේ සම්භාවිතාවයන් කාර්යක්ෂම කර ඇත. මෙය මානව සංජානනීය නිපුණතාවයන් අභිබවා ගොස් ඇත. එබැවින් AI කෘතීම බුද්ධිය හැටියට හඳුන්වාදීමට වඩා ඉන් ඔබ්බට ගොස් නිර්මාපිත බුද්ධිය හැටියෙන් තේරුම් ගැනීම වඩා උචිතයැයි මෙම ලියුම් කරු අදහස් කරයි. ඒ අනුසාරයෙන්ම ML අර්ථ දැක්විය යුතු වන්නේ යාන්ත්‍රීය විඥාණය යනුවෙන්ය. මෙම අර්ථ ගැන්වීම ක්‍රමවත්ව සිදුවීම අපගේ අධ්‍යාපනයේ දිශානතිය නිවැරදි තලයට ගෙනඒමට දායක වනු ඇතැයි මෙම ලියුම්කරු අදහස් කරයි. මෙම කරුනු නිවැරදිව අවබෝධ කරගැනීම අධ්‍යාපනවේදීන් සහ විශේෂඥයින්ට ප්‍රතිපත්ති සැළසුම්කරනය විද්‍යානුකූලව කරගැනීම පහසු කරවනු ඇත.
කඩිමුඩියේ පාසැල් වල AI උගැන්වීමට යෑම
මැතිවරණ කාලවකවානුව එලැඹීමත් සමග දේශපාලනඥයින් ජනතාවට ඉවක් බවක් නොමැතිව පොරොන්දු සහ බලාපොරොත්තු ඡන්දදායකයන්ට ලබාදීමට රුසියන් වෙති. පාසැල් දරුවන්ට නොමිලේ ටැබ්ලට් ලබාදීම, අන්තර්ජාලය පරිශීලනයට WIFI පහසුකම් ලබාදීමට දේශපාලනඥයින් දෙඩවු පොරොන්දු ඔවුන්ටම මතක නැත. මෙම සුහුරු තාක්ෂණයින් උපරිම ප්‍රථිපල ලබාගැනීමට සිසු සිසුවියන්ට තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් සැපයීම රජයේ මූලිකම වගකීමක් නිසා සම්පත් ඒකරාශිකර ගැනීම ප්රමුඛතාවයන් මත පිහිටා වහා කළ යුතුවේ. මෙම කටයුතු වලට සම්පත් ඉලක්ක ගත මාර්ග වලින් උපයා ගත යුතුව ඇත. මේ සඳහා ඇති සම්පත් ගොනුකරගත හැකි ප්‍රධාන මාර්ගය නම් විදුලි සංදේශ නියාමන කොමිසම වාර්ෂිකව උපයාගන්නා බලපත්‍ර ගාස්තු ප්‍රමාණයයි. විශ්ව විද්‍යාලවල සහ පාසැල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට එම සම්පත් භාවිතා කරනු වෙනුවට හිටපු ජනාධිපතිවරයෙකු මිලියන 600 ක් සිල් රෙදි ලබාදීමට අක්‍රමවත්ව ලබාදුන්නේ යැයි චෝදනා ලැබීය.
මෙම තත්වයන් එසේ තිබියදී, 2023 සැප්තැම්බර් මස අධ්‍යාපන ඇමති වරයා සහ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය 25 දෙෙනකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් ඉදිරි වසර 25 තුලදී අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකළ යුතු වෙනස්කම් ඉලක්ක කර ප්‍රතිපත්ති රාමුවක කෙටුම්පත් ඉදිරිපත් කිරීමට නිර්දේශ කර ඇත. මෙකී කෙටුම්පතේ ප්‍රතිපත්ති ක්රමෝපායන්ගේ ඉලක්කය වනුයේ, ආර්ථික සහ සාමාජීය සංවර්ධන ක්‍රියාවලීන් වේගවත් කිරීම සඳහා අධ්‍යාපනික පද්ධතිවල සිදුවන ඉගැන්වීම්, ඉගෙනුම් සහ සහතිකකරණ, යහ කළමණාකරණය සහ ආයෝජන හා සම්පත් යනාදි ක්ෂේත්‍ර ක්‍රමිකව වෙනසකට භාජනය කරමින් අධ්‍යාපන පද්ධතියේ ප්‍රවේශ, ගුණාත්මකභාවයන්, අදාලත්වය මෙන්ම ඩිජිටල් පරිවර්තනයන් තිරසාර අයුරින් ඉහළ නැංවීම.
එම කෙටුම්පත අධ්‍යයනය කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එහෙත් ජනවහරේ ඇති කියමනකට අනුව තෝරාගන්නා මග නිවැරදි නම් ගමන වරදින්නේ නැත. ඉහත කෙටුම්පතේ ඉලක්කය කිහිප වතාවක්ම කියවීමෙන් පසුවද ඩිජිටල් පරිවර්තන ඉලක්කය හඹා යාහැකි වේදෝ යන්න මෙම ලියුම්කරුට පහසු නොවීය. කෙසේ වෙතත් එය සවිස්තරාත්මකව විද්වතුන්ගෙන්ම දැන විමසා බැලිය යුතුවේ.
කෙටුම්පතේ හඳුනාගෙන ඇති අභියෝග අතරේ ඒකක් වනුයේ ශ්‍රී ලංකාව පුරා පවතින විශාල ඩිජිටල්මය විභජනය සහ අසමානත්වය පැවතීම බව සටහන් කර ඇත. මෙම තත්වය සාධාරන අභියෝගයක් බවට පිලිගත හැක. ඩිජිටල් තාක්ෂණය හෝ නිර්මාපිත බුද්ධි (AI) ක්ෂේත්රවලට යොමුවීමට අපගේ දරුවන්ට අවශ්‍යකරන STEM skills වර්තමාන අධ්‍යාපන දහරාවෙන් සැපයෙනවාද යන්න පුළුල් විමර්ශණයකට ලක්කර විය යුතුව ඇත. Science, Technology, Engineering and Mathematics යන විෂයන් අනුබද්ධිත නිපුණතාවන් යනුවෙන් සරලව හඳුන්වා දිය හැකි ගැටළු නිරාකරණයට අවශ්‍ය විශ්ලේෂනාත්මක හැකියාවන් ප්‍රගුණ කරවීමේ සංකීර්ණ ක්‍රමවේදයට සිසු දරුවන් යොමු කරවීමේ ශික්ෂණයයි.
AI උගැන්වීමට පෙර පාසැල්වල ගණිතය විෂය හරිහැටි උගන්වන්න
ගණිතය විෂය සමත්වීම අනිවාර්ය කර ඇත්තේ සිසු දරුවන්ගේ විශ්ලේෂනාත්මක හැකියාව වැඩිදියුණු කරවීමටය. එහෙත් වර්තමානයේ ගණිතය විෂය අසමත්වීම සිසු දරුවන්ට උසස් පෙළ හැදෑරීමට බාධාවක් වෙන බැවින් ගණිතය විෂය සමත්වීම අඩු ලකුණු ප්‍රමාණයකට සීමාකර ඇත්නම් එය වහා නිවැරදි කරගත යුතුවේ.
ගණිතය විෂය කටපාඩම් කර විභාග වලින් සමත් විය නොහැක. ගණිත ගුරුවරයා සිසුන් තුල විෂයානුබද්ධ සිද්ධාන්ත නිවැරදිව සහ තර්කානුකූලව හඳුන්වා නොදුනහොත් සිසු දරුවන්ට ගණිත ක්‍රමවේදය පහසුවෙන් ග්‍රහණය කරගත නොහැක. යමක් තර්කාණුකූලව සිතා තීන්දු තීරණ ගැනීමේ පරිචය සිසුන් වර්ධනය කරගන්නේ ගණිත සිද්ධාන්ත ඔස්සේය. නොඑසේනම් බොහෝ දෙනෙක් හැඟීම් වලට මුල් තැනදී තීන්දු තීරණ ගැනීමට හුරු වන්නේය.
මෙම තත්වය නිවැරදි කරවීමට අධ්‍යාපනඥයින් සහ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් කඩිනමින් ක්‍රියාත්මක නොවුනොත් ජාතියේ වටිනාම සම්පත නොපිපීම පරවී යනු ඇත.
| ජයශ්‍රී ප්‍රියලාල්