2025 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පුළුල් පරීක්ෂාවට ලක් කිරීමක් - ලයනල් බෝපගේ

2025 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පුළුල් පරීක්ෂාවට ලක් කිරීමක් - ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාවේ පවත්වන ලද 2025 පළාත් පාලන මැතිවරණ, විය යුතු අන්දමට, පුළුල් දේශපාලන විවාදයක් අවුළුවා තිබේ. මෙම මැතිවරණ රටේ බිම් මට්ටමේ දේශපාලන භූමි තලයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි. එහෙත් තත්වය සන්සුන් වෙත්ම, ජනාධිපති හෝ පාර්ලිමේන්තු තරග වැදීම් පිළිබඳ ව නොමඟ යවන සුළු අන්දමේ සංසන්දනය කිරීම්වල යෙදීමේ උගුලට හසු නොවී, විශ්ලේෂණාත්මක පැහැදිලි බවකින් යුක්තව ප්‍රතිඵල දෙසට ප්‍රවේශ වීම ඉතා වැදගත් වෙයි.

එසේ වුවද, මෙම ප්‍රතිඵල සහ ජාතික මැතිවරණ අතර සංසන්දනය කිරීමේ යෙදීම සම්බන්ධයෙන් විශ්ලේෂකයින්ට දොස් පැවරීම දුෂ්කර ය. අවසානයේ දී, ජාතික ජන බලවේගය මෙම පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් කරන ලද ප්‍රචාරක කටයුතු මෙහෙයවූයේ ජාතික නායකත්වයේ මුළු බර ඒ සදහා යොදා ගනිමිනි. මැතිවරණවලට ඉහළ වැදගත්කමක් ලබා දෙමින්, ජනාධිපතිවරයා සහ අගමැතිවරිය යන දෙදෙනාම රට පුරා සක්‍රීය ලෙස ප්‍රචාරක කටයුතු වල නිරත වූහ. එසේ කිරීමෙන්, ජාතික ජන බලවේගය එම මැතිවරණ ජාතික මට්ටමෙන් පරීක්ෂාවට ලක් කරන්නට ආරාධනා කළේය. මේ දෘෂ්ටිකෝණයෙන් ගත් විට, මැතිවරණ ප්‍රතිඵල නිරවුල් සත්‍යයක් ඉස්මතු කර ලයි: එනම්, එවැනි සාමූහික පරිශ්‍රමයකින් පසුවත්, ඓතිහාසික ව සහයෝගය ලබා ගැනීම තීරණාත්මක ව තිබෙන සුළුතර ජන ප්‍රජාවන් ගේ ද ඇතුළුව ඡන්දදායකයින්ගේ විශ්වාසය, පැහැදීම සහ උනන්දුව පවත්වා ගන්නට හෝ උපයා ගන්නට ආණ්ඩුව අසමත් ව ඇති බව යි.

පළාත් පාලන මැතිවරණවල ස්වභාවය වටහා ගැනීම

පළාත් පාලන මැතිවරණ මූලික වශයෙන් ජාතික මැතිවරණවලට වඩා වෙනස් වේ. ඒවා ජනාධිපති හෝ පාර්ලිමේන්තු තරඟවල දී බල පවත්වන පුළුල් අන්දමේ ජාතික මතවාදයන් නොව, අපද්‍රව්‍ය කළමනාකරණය, යටිතල පහසුකම් සහ පොදු සේවාවන් වැනි ක්ෂණික, ප්‍රජා මට්ටමේ ගැටළු වටා කැරකෙයි. මෙම මැතිවරණවල දී ඡන්දදායකයින්ගේ හැසිරීම මෙම වෙනස, එනම්, ඇතැම් පුරවැසියන් ප්‍රාදේශීය මැතිවරණ අඩු වැදගත්කමක් ඇති ඒවා ලෙස සලකන බැවින්, ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම සාමාන්‍යයෙන් වඩා අඩු වීමක පිළිබිඹු කරයි. සැබවින්ම, සියයට 61.88 ක් වූ මෙම මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම, බිම් මට්ටමේ උද්යෝගය හැමවිටම පාහේ ජාතික මට්ටමේ බලමුළු ගැන්වීමක් පිළිබිඹු නොකරන බව මතක් කර දෙයි.

ඇරත්, මේ ප්‍රාදේශීය සන්දර්භය තුළ, ජාතික ජන බලවේගයේ (NPP) ඉහළ නැගීම ප්‍රතික්ෂේප කළ නොහැකි තරමට වැදගත් වේ. ඡන්ද මිලියන 4.5 ක් (43.26%) අත් කර ගනිමින් සහ රට පුරා ආසන 8,793 න් 3,927 ක් දිනා ගනිමින්, NPP ය ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන තුල විශාලතම දේශපාලන බලවේගය ලෙස ඉස්මතු වී ඇත. එය දැන් නගර සභා 23 ක්, නගර සභා 26 ක් සහ ප්‍රාදේශීය සභා 217 ක් ඇතුළුව සභා 266 ක මූලිකත්වය අත් කර ගෙන ඇති අතර ප්‍රජා මට්ටමින් එය ඡන්දදායක සංවේදීතාවයේ තීරණාත්මක වෙනසක් සනිටුහන් කරයි.

සන්දර්භය වැදගත්: මැතිවරණ සංසන්දනය කිරීම නොමඟ යවන සුළු වන්නේ ඇයි ?

සමහර විචාරකයෝ මෙම ප්‍රාදේශීය ප්‍රතිඵල සහ ජාතික මැතිවරණ ප්‍රතිඵල අතර සෘජු සම්බන්ධතා නිරීක්ෂණය කර තිබේ. නමුත් එවැනි සංසන්දනය කිරීම් නොමඟ යවන සුළු ඒවා විය හැකිය. පළාත් පාලන, පාර්ලිමේන්තු සහ ජනාධිපති මැතිවරණ ක්‍රියාත්මක වන්නේ වෙනස් අන්දමේ ඡන්දදායක පෙළඹවීම් සහ සම්බන්ධතා මට්ටම්වලින් යුත් විශේෂිත දේශපාලන පරිසර පද්ධති තුල යි. ඒවා මෙම ගතිකත්වයන් සැලකිල්ලට නොගෙන සංසන්දනය කිරීම විශ්ලේෂණාත්මක ව දෝෂ සහිත වනවා පමණක් නොව, එමගින් මෙම ප්‍රතිඵලවල තිබෙන සැබෑ වැදගත්කම විකෘති කර ලීමේ අවදානමක් ද ඇත.

අනෙක් අතට. NPP යේ ප්‍රතිලාභ මිණිය යුත්තේ පෙර පවත්වන ලද පළාත් පාලන මැතිවරණවලට සාපේක්ෂව යි. ඒ ප්‍රමිතිය අනුව ගතහොත්, ප්‍රතිඵලය ඓතිහාසික වේ. ඡන්දවලින් 21.69% ක් සහ ආසන 1,767 ක් ලබා ගත් සමගි ජන බලවේගය (SJB) දුරස්ථ දෙවන ස්ථානයකට පත් විය. වරක් ආධිපත්‍යය ඉසිලූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) 9.17% ක් දක්වා පහත වැටුණු අතර කිසිදු පළාත් පාලන ආයතනයක ප්‍රධානත්වය ලබා ගැනීමට එය අපොහොසත් විය. එක්සත් ජාතික පක්ෂය (UNP) ඡන්දවලින් 4.69% ක් ලැබ, සභා පාලනයක් නොමැතිව, ඊටත් වඩා අන්ත ප්‍රතිඵලයක් ලැබීය. මෙම ගණන් හිලව්වලින් පැහැදිලි වන්නේ NPP ය ප්‍රාදේශීය දේශපාලන සිතියම යලි හැඩ ගස්වා ඇති බවයි.

ඡන්දදායකයන් මැඩ ලීම සහ වැරදි තොරතුරු සැපයීම

NPP ය මුහුණ දුන් බාධක සලකා බැළු විට එහි සාර්ථක බව වඩාත් කැපී පෙනේ. ඇති තරම් ප්‍රචාරක අරමුදල්වල සහ පුද්ගලික මාධ්‍ය ආයතන බොහොමයක පිටුබලය ලැබීමෙන් වාසි අත් කර ගනිමින් විපක්ෂය, සත්‍ය බව තහවුරු නොකළ ප්‍රකාශ සහ ප්‍රචාරක කටයුතු මගින් ඡන්දදායකයින් යටපත් කර දැම්මේය. වඩාත්ම කැපී පෙනුන චෝදනා අතර කිසිදු ප්‍රතිචාරයක් ලබා දෙන්නට පෙර පුළුල් අන්දමින් ප්‍රචාරය කරන ලද කතාන්දරයක් වුනු, NPP යේ නායක අනුර කුමාර දිසානායක ග්‍රීක නැව් සමාගමක ආයෝජනය කර තිබෙන බවට එල්ල කරන ලද චෝදනාව ද විය.

උතුරු නැගෙනහිර වඩා කපටි සහගත සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම් සිදු කෙරිණි. කිසිදු සම්බන්ධයක් නොතිබුනේ වුවද, සමාජ මාධ්‍ය දෙමළ ජාතිකවාදය සහ එල්ටීටීඊය සමඟ සම්බන්ධ දෙමළ භාෂා ප්‍රචාරක ගීත ව්‍යාජ ලෙස NPP මන්ත්‍රී ඉලන්කුමාරන් සමඟ සම්බන්ධ කළේය. භීතිය සහ අසත්‍යය යොදා ගත් මෙම උපක්‍රම, බලය කෙරෙහි ඇති ග්‍රහණය අහිමි වී යන ලක්ෂණ සහිත දේශපාලන සංස්ථාපනයක ලාංඡන වේ.

රජයේ නිවාඩු දිනයක නොව සතියේ දිනයක මැතිවරණය පැවැත්වීම වැනි අනෙකුත් ව්‍යුහාත්මක සාධක ද ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය අඩු කර ලන්නට දායක වන්නට ඇත. ඡන්දදායකයින්ගේ තෙහෙට්ටුවත්, ජාතික මැතිවරණවලට වඩා පළාත් පාලන මැතිවරණවල බලපෑම අඩු බවට පවතින පොදු මතයත් සමඟ එකට ගත් විට, මෙම කරුණු පරිවර්තනීය වෙනසක් ඇති කල හැකි මොහොතක දී සහභාගිත්වය අඩාල කර දැම්මේය.

"බොරු කාරයින්ට එදිරිව අපරාධකරුවන්" නමැති මිථ්‍යාව

විශේෂයෙන්ම අවඥා සහගත ඉදිරිපත් කිරීමකින් පැවසෙන්නේ ඡන්දදායකයන්ට "බොරු කාරයන්" (NPP ය) සහ "අපරාධකරුවන්" (සාම්ප්‍රදායික පක්ෂ) අතර තෝරා ගැනීමක් කරන්නට සිදු වූ බව යි. මෙම තර්කනය සියුම් ව පරීක්ෂා කල විට බිඳ වැටේ. සුදුසුකම් හිමි ඡන්දදායකයින් මිලියන 17 න්, මිලියන 10 ක් පමණක් ඡන්දය ප්‍රකාශ කළහ. ඉතිරි මිලියන 7 ඡන්දය ප්‍රකාශ නොකලේ, ඔවුන් සදාචාරාත්මක ගණන් බැලීමක් කළ නිසා නොව, බොහෝ විට, පසුබෑම, සාවද්‍ය තොරතුරු සහ කලකිරීමේ සම්මිශ්‍රණයක් නිසාවෙන් විය හැකිය.

ඡන්දය ප්‍රකාශ කළ අය අතරින් විශාලතම කොටස NPP ය තෝරා ගත්තේය. වංක කම අනුමත කරනවා වෙනුවට, මෙය පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන පන්තිය නිරූපනය කරන දූෂණයේ සහ දඬුවම් නොලැබ සිටීමේ ගැඹුරින් මුල් ඇද තිබෙන සංස්කෘතියට විකල්පයක් වෙනුවෙන් පවතින කැමැත්තකි. ඡන්දදායකයින්ගේ පෙළඹවීම් "බොරු" සහ "අපරාධ" යන ද්විත්වය බවට සරල කරන්නට දරන ප්‍රයත්න, පොදු ජන බුද්ධියට අපහාස කරනවා පමණක් නොව, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ප්‍රබෝධයේ පවතින සංකීර්ණත්වය ද නොසලකා හරියි.

පැරණි රැකවළුන් ගේ බලාපොරොත්තු සුන් බව

වෙනස් වීමට පවතින ආයතනික ප්‍රතිරෝධය පිළිබඳව කිසියම් සැකයක් ඉතිරිව තිබුනේ නම්, NPP ය වැඩිම ආසන දිනා ගත් ප්‍රදේශවල පවා NPP යට එම ප්‍රාදේශීය සභාවල නායකත්වය ලැබීම වළකා ලීම සඳහා සමගි ජන බලවේගය (SJB ය), UNP ය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) ය අතර සන්ධාන ගොඩ නැගීම ඉලක්ක කොට ගෙන පැවැත්වූ පශ්චාත් මැතිවරණ කතිකාවන් ගැන පල වුන වාර්තා මගින්  එම සැකය ද දුරු කර හරින ලදී. මෙසේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිඵල නිර්දය ලෙස කඩාකප්පල් කර දැමීම, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූ පැලැන්තිය ජනතාවගේ කැමැත්තට ගරු කිරීමට වඩා බලය රැක ගැනීම කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බවට ඇති මතය තහවුරු කරයි.

කෙසේ වෙතත්, කාර්ය සාධක පාලනයක් සඳහා පක්ෂ සීමා අභිභවනය කරන ආකාරයේ ගිවිස ගැනීම් අවශ්‍ය බව NPP ය පිලි ගත යුතුය. ප්‍රතිවාදී කඳවුරුවල සිටින සියළුම සාමාජිකයින් දූෂිතයන් නොවන අතර, හැකි හැම තැනක දීම ප්‍රතිඵල නෙලා දීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට NPP ය කැමැත්තෙන් සිටිය යුතුය. මැතිවරණ ජයග්‍රහණයකට පසුව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පවත්වා ගෙන යෑම ඒවා ගැන කල ප්‍රචාරය කිරීම් තරමටම වැදගත් වේ.

ඇතුළතින් පැන නගින අභියෝග: අභ්‍යන්තර පරස්පර වීම් පිළිබඳ ලකුණු

කෙසේ වෙතත්, මැතිවරණ අතරතුර සහ ඉන් පසුව NPP යේ හැසිරීම, එය විසින් ප්‍රමුඛත්වය ලබා දෙන ලද “නව දේශපාලන සංස්කෘතිය” වෙනුවෙන් එහි ඇති කැපවීම පිළිබඳව කරදරකාරී ප්‍රශ්න ගණනාවක් මතු කරයි. NPP යේ වාග් මාලාවන් විසින් නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයක් සහ පිරිසිදු පාලනයක් අවධාරණය කර තිබෙන අතර, ජනාධිපතිවරයා ඇතුළු, ජ්‍යෙෂ්ඨ NPP නායකයින් විසින් කරන ලද ඇතැම් ප්‍රකාශ, අධිකාරවාදී සහ අගතිගාමී යයි සැලකිය හැකි සීමාවන් වෙත නැඹුරු වූයේය. නිශ්චිත ජන ප්‍රජාවන් වෙත යොමු කරන ලද මෙම ප්‍රකාශ, NPP යේ ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිරූපය මත සෙවණැල්ලක් පතිත කලේය.

වඩාත් කනස්සල්ලට හේතු කාරක වන කාරණය වන්නේ, පෙනෙන අන්දමින් නිවැරදි කිරීමේ පියවර නොගැනීම යි. ඇතැම් NPP ප්‍රකාශකයෝ උඩඟු බවේ ලකුණු ප්‍රදර්ශනය කරමින් මෙන්ම නිර්මාණාත්මක විවේචන ප්‍රතික්ෂේප කරමින් NPP යේ ජයග්‍රහණවලින් නිර්භීත වී ඇති බවක් දක්නට ලැබුණි. පොරොන්දු වූ පරිදි සියල්ල ඇතුළත් කර ගන්නා වග විය යුතු නායකත්වය පිළිබඳ ආදර්ශයක් වශයෙන් තම වේදිකාව යොදා ගන්නවා වෙනුවට, ඇතැම් විට ඔවුහු විසම්මුතිය වෙත උපහාසාත්මක ලෙස ප්‍රතිචාර දැක්වූහ. එවැනි හැසිරීම් ඉදිරියේ නායකත්වය දක්වන නිහඬතාවය, NPP යේ අව්‍යාජත්වය සහ සදාචාරාත්මක විශ්වාසනීය භාවය පිළිබඳව පවතින මහජන විශ්වාසය පළුදු කර ලීමේ අවදානමක් පවතී.

බිම් මට්ටමේ දේශපාලනයේ හැරවුම් ස්ථානයක්

අවසානයේ දී, 2025 පළාත් පාලන මැතිවරණ, හුදෙක් පවතින තත්ත්වය ගැන තිබෙන අසන්තෝෂයට වඩා වැඩි යමක් පිළිබිඹු කරයි; ඒවා අවංක, කාර්ය සාධක සහ ප්‍රතිචාරාත්මක නායකත්වයක් සොයමින් සිටින ඡන්ද දායකත්වයක් අනාවරණය කරයි. ජාතික ජන බලවේගයේ නැගී සිටීම, බිම් මට්ටමින් බලමුළු ගැන්වීමේ බලය ත්, එදිනෙදා වැදගත් වන කාරණා ආමන්ත්‍රණය කරන දේශපාලන විකල්ප සඳහා වැඩි වන ඉල්ලුම ත් පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කිරීමකි.

සාම්ප්‍රදායික පක්ෂ බාධා කිරීම් සහ වැරදි තොරතුරු සැපයීම තවත් ප්‍රගුණ කලහොත්, පොදු ජනයා වෙතින් දැනට තිබෙන ඔවුන්ගේ වියෝව තව දුරටත් ගැඹුරු බවට පත් කරනවා පමණක් විය හැකිය. අනෙක් අතට, විනිවිදභාවය පවත්වා ගැනීම, අභ්‍යන්තර අධිකාරවාදය මැඩපැවැත්වීම සහ සියල්ල ඇතුළත් කර ගන්නා සංවාදය පෝෂණය කිරීම මගින් - ජාතික ජන බලවේගය තම මැතිවරණ ජන වරමත් සමඟ එන වගකීම බැරෑරුම් ව සැලකිල්ලට ගන්නේ නම්, ප්‍රාදේශීය පාලනය නැවත හැඩ ගැස්වීමට පමණක් නොව, ශ්‍රී ලංකා දේශපාලන සංස්කෘතියේ දිගු කාලීනව අපේක්ෂා කරන ලද පරිවර්තනය ක් ඇති කරන්නට ද එයට හැකියාව තිබේ.

Lionel Bopage 1

| ලයනල් බෝපගේ

2025 මැයි 15 වන දා