“52% බලය - ස්ත‍්‍රීමය දැක්මක් සහිත ආදරණීය ලොවක්“

 “52% බලය - ස්ත‍්‍රීමය දැක්මක් සහිත ආදරණීය ලොවක්“

“52% බලය“ යුක්තිය, වගවීම, සමානත්මතවාය මත පදනම් වූ නව ප්‍රගතිශීලි නව දේශපාලන සංස්කෘතියක් කර “ශ‍්‍රී ලංකේය ස්ත‍්‍රීන් උදෙසා වන මහජන කොමිසම“ 2022 මාර්තු 08 දින සමාජගත කරනු ලබයි. ඒ සඳහා සකස් කරන ලද ලියවිල්ල පහතින් දැක්වේ.

පූර්විකාව

යම් සමාජයක් තුළ දර්ශනයක් හෝ මතවාදයක් ගොඩ නැගෙන්නේ එම සමාජය තුළ පවත්නා බොහෝ ක‍්‍රියාකාරිත්වයන් ගේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.  එනම්  එම දර්ශනය හෝ මතවාදය ගොඩනැඟීම සඳහා එකී සමාජයේ පැවති හෝ පවතින ඓතිහාසික සමාජ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික තත්වයන් රාශියකගේ බලපෑම හේතු පාදකවේ.

මෑත යුගයේ දී ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතිකාව ආරම්භ වන්නේ 19 වන සියවසේ යුරෝපයේ ආරම්භ වූ පුනරුදයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත්තා වූ කාර්මික විප්ලවයේ ප‍්‍රතිඵලයක් ලෙස  ස්ත‍්‍රී අයිතිවාසිකම් පිළිබඳව කතිකාව ආරම්භ වූයේ ශ‍්‍රම විභජනය හා ශ‍්‍රම සූරා කෑමේ බලහත්කාරී ක‍්‍රියාදාමයට එරෙහි වීමක් ලෙසිනි. විශේෂයෙන් ප‍්‍රංශ විප්ලවයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමානාත්මතාව හා පුද්ගල නිදහස උදෙසා ආරම්භ වූ ස්ත‍්‍රීන්ගේ අරගලය, 19 වන සියවස අග භාගය වන විට ආර්ථික සමාජයීය හා දේශපාලන ක‍්‍රියාකාරීත්වයේ දී ස්ත‍්‍රීන් දක්වන සමාන දායකත්වය උදෙසා,  සමාන ඉඩප‍්‍රස්ථා නිර්මාණය කිරීම සඳහා බලපෑම් කිරීමේ අරගලයක් දක්වා විකාශය විය.  එසේ ආරම්භ වූ ස්ත‍්‍රින්ගේ ව්‍යාපාරය අද වන විට ලෝකය පුරා ප‍්‍රගතිශීලී සටන් ව්‍යාපාරයක් ලෙස ඉස්මතු වී ඇත.

විචාරකයින් පෙන්වා දෙන ආකාරයට ලෝකේ වෙනස් කිරීමෙහිලා බිහිවූ  නව්‍යතම දර්ශනය ස්ත‍්‍රී  වාදයයි.  ආර්ථික අයිතිවාසිකම්  පදනම් කොට ගනිමින් ආරම්භ වූ ස්ත‍්‍රීන්ගේ ව්‍යාපාරය අද වන විට ස්ත‍්‍රීන්ගේ සිරුර පිළිබඳව තීන්දු ගැනීම සඳහා  ස්ත‍්‍රීන්ට ඇති අයිතිය රැක ගැනිමට සටන් කිරීම  දක්වා පුළුල් ලෙස ව්‍යාප්ත වූ ව්‍යාපාරයක් බවට පත්ව ඇත.  එසේ නමුදු තවදුරටත් ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් තහවුරු වී ඇති ද යන්න ගැටළුවක් පවතී. දශක ගණනාවක් පුරා අරගල කර දිනා ගත් බොහෝ දේ ඇත.  ඒවා තවදුරටත් බලාත්මක කිරීම, ක‍්‍රියාත්මක කිරීම හා නව ක‍්‍රමවේදයන් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු වී  නැති බව පැහැදිලිය.

ලෝකෙ පුරා ව්‍යාප්ත වූ ස්ත‍්‍රී කතිකාවේ ප‍්‍රතිඵලයක් ලෙස විවිධ රටවල් විවිධ අයිතිවාසිකම් පදනම් කරගත් විවිධ ක‍්‍රියාකාරිත්වයන් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම සටන් ව්‍යාපාරය තවදුරටත් ක‍්‍රියාත්මක කරමින් සහ ව්‍යාප්ත කරමින් පවතී. වර්තමානය වන විට ලෝකය පාලනය කරන ප‍්‍රධාන ව්‍යූහාත්මක බලවේගය වන නව ලිබරල් ආර්ථික ක‍්‍රමවේදයේ කාන්තාවට හිමි ස්ථානය පිළිබඳව කතිකාව ගැඹුරින් සාකච්ඡා කල  යුතුව ඇති බව අප දනිමු.

විශාල කාල පරාසයක් තුළ ස්ත‍්‍රීවාදි කතිකාව ව්‍යාප්ත වෙමින් ක‍්‍රියාකාරිත්වයන් ආරම්භ වෙමින් ඒවායෙහි ජයග‍්‍රහණයන් අත්පත් කරගනිමින් යන ගමනේදී ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් කෙරෙහි අවධානය යොමු කළ යුතු ජාත්‍යන්තර නීති සහ ප‍්‍රඥප්තියෙන් ගණනාවක් නිර්මාණය වී තිබීම  ලෝක ස්ත‍්‍රී ව්‍යාපාරය ලද ජයග‍්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය. නමුත් ඒවා ක‍්‍රියාත්මක වීම පිළිබඳව පවතින තත්ත්වය තවදුරටත් තහවුරු කිරීම සඳහා ස්ත‍්‍රීන්ටම අනන්‍යවූ ස්ත‍්‍රීන්ගේ සිතීමක්, දැක්මක්, ක‍්‍රියාකාරිත්වයක් සඳහා ස්වාධීනව තීන්දු ගත හැකි ව්‍යුහයක් අවශ්‍ය බව අප අවධාරණය කරමු. ශ‍්‍රී ලාංකීය ස්ත‍්‍රීන් ලෙස ඒ සඳහා අවැසි ක‍්‍රියාකාරීත්වය ආරම්භය අප විසින් සනිටුහන් කළ යුතු වෙමු.

පසුබිම

ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳ කතා කිරීමේදී ඒ තුළ කාන්තාවන්ගේ දායකත්වය කෙසේද යන්න අවධානය යොමු කිරීම වඩා වැදගත් වන්නේය. විශේෂයෙන් තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නම් කෙරෙන ශ‍්‍රී ලංකාවේ ජනගහනය දළ වශයෙන් සියයට පනස් දෙකක් ස්ත‍්‍රීන්ය.  එසේම සමස්ත ඡන්ද දායකයින්ගෙන් සියට පනස් හයක් ස්ත‍්‍රීන්ය. සාපේක්ෂව බලන කල පුරුෂ ජනගහනයට හා ඡන්ද දායකත්වයට වඩා  ස්ත‍්‍රීන්ගේ දායකත්වය වඩා වැඩි ප‍්‍රතිශතයක් ගනි.  නමුත් සියලූ ක්ෂෙත‍්‍රයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ඒ සඳහා කාන්තාවන් ලබාදෙන දායකත්වය ගණනය කිරීමට හෝ ඇගැයීමකට ලක් නොකරන බවයි. 

ආර්ථික දායකත්වය පිළිබඳව සලකා බැලීමේදී රැුකියා වියුක්තියේ වැඩි ප‍්‍රමාණය කාන්තාවන් වන අතර රැකියා නියුක්තිය වැඩි ප‍්‍රමාණය  පුරුෂයන්ය. මෙයට හේතුව ප‍්‍ර‍්‍රධාන වශයෙන් සමාජ සංස්කෘතික හා දේශපාලන වශයෙන් ඇති අර්බුදය ලෙස සඳහන් කළ හැකිය.  සමාජමය වශයෙන් කාන්තාව දරුවන් රැුකබලා ගැනීම ඇතුළු ගෘහස්ත කාර්යයන්ට සීමා වන අතර සංස්කෘතික වශයෙන් ආගමික යටත් පුරවැසියෙකු වශයෙන් හා පුරුෂයාට වඩා පසුපසින් හෝ පහළ ස්ථරයක සිටිය යුතු බවට සීමා කොට ඇත.  මෙම සීමා මත දේශපාලන සංස්ථාවෙහි ලැබෙන ඉඩකඩ ද තීරණය  වී තිබේ.

වර්තමානය වන විට මෙරටට විදෙස් විනිමය ගෙන එන ප‍්‍රධාන උපයන්නා බවට පත් වන්නේ කාන්තාවන්ය. තේ කර්මාන්තය ,  ඇඟලූම් කර්මාන්තය හා විදෙස් රැකියා ක්ෂේත‍්‍රය මෙරටට විදෙස් විනිමය ගෙන ඒම ප‍්‍රධාන  මාර්ගයෙන් වන්නේය. මෙම ක්ෂේත‍්‍ර පිළිබඳව අධ්‍යයනයේ දී පැහැදිලි වන්නේ තවදුරටත් එම ක්ෂේත‍්‍ර ස්ත‍්‍රීන්ගේ ශ‍්‍රමය මත පමණක් තීරණය වන බවය.  නමුත් ඔවුන්ගේ ශ‍්‍රමය සුරකමින් ලාභ උපයන මෙම ක්ෂේත‍්‍ර ත‍්‍රිත්වයෙහි නියැලෙන කාන්තාවන් සඳහා විධිමත් හෝ නොවිධිමත් පහසුකම් නිර්මාණය කර තිබෙන්නේ ද,  රැකියාව සුරක්ෂිත කර තිබෙන්නේ ද, ඔවුන්ගේ දායකත්වය ගණනය කර තිබෙන්නේ ද, ඒවා අගය කිරීමට ලක් කර තිබෙන්නේද යන්න ගැටළුවක් පවතී.

කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ කාන්තාවන් පිළිබඳව කතා කිරීමේදී ඔවුන් කෘෂිකර්මාන්තය සඳහා ලබාදෙන දායකත්වය තවදුරටත් ගෘහස්ථ ශ‍්‍රමයක් ලෙස සැලකෙන  අතර ඒවා දළ ජාතික නිෂ්පාදනය  සඳහා  ගණනය කරන්නේ නැත. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ නව්‍යකරණ යත් සමඟ ඇතිවී ඇති අති විශාල වෙනස නිසා ගොවිතැන කෙරෙහි කාන්තාවන් ගේ දායකත්වය අවම මට්ටමක පවතින අතර  ඒ සඳහා ඇති පාරම්පරික ඥානයන් හෝ ඔවුන්ගේ හැකියාවන් විධිමත් පරිදි ආර්ථික සංවර්ධනය සඳහා දායක කර ගැනීමට ක‍්‍රමවේද සකස් කර නොමැත. ඉඩම්  ඇතුළු කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ  මූල්‍ය සම්පත් කෙරෙහි කන්තාවන්ට ඇති අයිති ඉතාම සීමා සහිත වන අතර නිෂ්පාදනය පිළිබඳව තීන්දු තීරණ ගැනීමට හෝ අස්වැන්නේ  ප‍්‍රතිලාභ අත්පත් කර ගැනීමට කාන්තාවන්ට ඇති ඉඩ කඩ තවදුරටත් සීමා කර ඇත.

ධිවර ක්ෂේත‍්‍රය තුළ කාන්තාවන් මුහුණ දෙන තත්ත්වය ද ඊට හාත්පසින් සමානය.  ධීවර යන  අර්ථයෙන් පවා  ස්ත‍්‍රිය එම ක්ෂේත‍්‍රයෙන් ඉවත් කොට ඇත.  පසු අස්වනු සංරක්ෂණ ක‍්‍රියාවලියෙහි දී  ලබා දෙනු ද ලබන දායකත්වය පිළිබඳව ඇගයීමක් නොකරන අතර ම ධීවර ක්ෂේත‍්‍රයේ ධීවර ආම්පන්න ඇතුළු මූල්‍ය සම්පත් සඳහා අයිතිය ඔවුන්ට හිමි වන්නේ නැත.

ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව කතා කිරීමේදී ඉහළ අධ්‍යාපනය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිසෙන් සියයට අනූවකට වඩා කාන්තාවන්ය. නමුත් රැුකියා නියුක්තිය කාන්තාවන්ගේ ප‍්‍රතිශතය සියයට 37 කි. සමාජ හා සංස්කෘතික තත්ත්වයන් තුළ කාන්තාව  ගෘහස්ථ කටයුතු වලට සීමා වීම මෙන්ම කාන්තාවන් වැඩි වශයෙන් නිරතවන අවිධිමත් ක්ෂේත‍්‍රය, රැුකියා නියුක්තිය යන්නට ගණනය නොකිරීම පිළිබඳව ඇති අසාධාරණය හේතුවෙන් මෙම තත්ත්වය මෙසේ දැකිය හැකි වේ. එසේම වෘත්තීන් තෝරා ගැනීම හා වෘත්තිය උසස්වීම් ලබා ගැනීම හා වෘත්තිය අවස්ථා නිර්මාණය කිරීම ආදී කටයුතු වල දී ස්ත‍්‍රීන් කෙරෙහි අවධානය යොමු නොකර තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

උතුරු නැගෙනහිර කාන්තාවන් පිළිබඳව කතා කිරීමේදී අවුරුදු තිහක යුද්ධයෙන් පසුවත් ඔවුන්ගේ සංවර්ධනය පිළිබඳව මෙතෙක් නිසි අවධානයක් යොමු වී නැති බව පැහැදිලිය. විශේෂයෙන්ම වැන්දඹු කාන්තාවන් පිළිබඳව තත්ත්වය මෙහිදී බරපතලව අවධානය කළ හැකිය. අනාරක්ෂිත බව අවතැන්වීම ඉඩම් හා නිවාස අහිමි වීම අතුරුදහන් වූවන් හෝ  අහිමි වූවන් පිළිබඳව නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම ගැහැණු ළමුන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය ක‍්‍රියාත්මක වීම මොවුන් මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයන් ය. අවුරුදු 30ක යුද්ධය අවසානයේ පවා ඔවුන්ගේ මානසික හෝ කායික සෙඛ්‍යය පිළිබඳව කිසිදු පහසුකමක් හෝ අවදානමක් නොවී තිබීම තවදුරටත් ඔවුන්ගේ ජීවිතය අවධානයට ගෙන යනු ලබයි.

සංක‍්‍රාන්තික  ලිංගිකයින් හෝ ලිංගික වෘත්තිකයින් කෙරෙහි අවධානය කිසිසේත් යොමු නොවී ඇති අතර උන්ගේ වෘත්තිය ගරුත්වය ආත්මාරක්ෂාව පෞද්ගලික ගරුත්වය ආදිය පිළිබඳව මේ මෙතෙක් කිසිදු තීරණාත්මක සාකච්ඡාවකට පවා යොමු වී නොතිබීම ගැටලූ සහගත ය.

සමස්තයක් වශයෙන් ගත් කල  නාගරික ප‍්‍රජාව ලෙසද ග‍්‍රාමීය ප‍්‍රජාව ලෙස ද රැකියාවේ නියුතු හෝ නියුතු නොවන ප‍්‍රජාව ලෙස ද විවාහක හෝ විවාහක නොවන ප‍්‍රජාව ලෙස ද රැකියා ක්ෂේත‍්‍රයන් සුවිශේෂී කරගත් ප‍්‍රජාව ලෙස අනන්‍යතාවය පිළිබඳව අවශ්‍යතා සහිත ප‍්‍රජාව ලෙස ද විශේෂ අවශ්‍යතා  සහිත ප‍්‍රජාව ලෙස ද වෘත්තිකයින් හෝ වෘත්තිකයින් නොවන ප‍්‍රජාව ලෙස ද විවිධ අධ්‍යාපන ස්ථරයක් නියෝජනය කරන ප‍්‍රජාව ලෙස ද සංවර්ධනය සඳහා ස්ත‍්‍රීන්ගේ දායකත්වය පුළුල් ලෙස ලබාදී තිබේ. එසේ තිබියදී ඒ සඳහා නිසි ගෞරවයක් වටිනාකමක් හෝ ඇගයීමක් සිදු නොවීම පිළිබඳව දශක ගණනාවක් මුළුල්ලෙහි කාන්තා සංවිධාන සිවිල් සංවිධාන  කාන්තා ක‍්‍රියාකාරීන් සාමූහික වත් පෞද්ගලිකවත් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ විවිධ සංවිධාන සහ ක‍්‍රියාකාරිත්වයන් ගොඩනගමින් ස්ත‍්‍රීන්ගේ අයිතීන් තහවුරු කිරීම සඳහා විවිධ ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. ඒවායෙහි යම් ජයග‍්‍රහණයක් අත්පත් කරගෙන තිබුණත් ඒවා තවදුරටත් පවත්වාගෙන යාම බලගැන්වීම හා පුළුල් කිරීම සඳහා යාන්ත‍්‍රණයක අවශ්‍යතාව දිගින් දිගටම අවධාරණය කරමින් කටයුතු කර ඇත්තෙමු.

විශේෂයෙන් මෙසේ ස්ත‍්‍රීන්ගේ අයිතිවාසිකම් උදෙසා ක‍්‍රියාකාරිත්වය වඩා තහවුරු කිරීම සඳහා ගොඩනැගුණු ලාංකීය කාන්තා ව්‍යාපාරය ඉතිහාසය  සුළු පටු නොවන බව සඳහන් කළ යුතුමය. එසේ ආ මග ඉතා බැ?රුම් හා කටුක එකක් බව ක‍්‍රියාකාරී බොහෝ දෙනකු දන්නා සත්‍යයි.  ක‍්‍රියාකාරිත්වය උදෙසා හඬ නගද්දී ජීවිත අහිමිවූ රැකියා හිමි වූ පෞද්ගලිකත්වයක් අහිමිවූ පවුල් සංස්ථා අහිමි වූ තම දරුවන් අහිමි වූ ගැහැනුන් බොහෝය.  ඒවා  ඉතිහාසය යටපත් වන්නට නොදී සැබෑ ස්ත‍්‍රීන්ගේ ක‍්‍රියාකාරීත්වයක් උදෙසා ඔවුන්ගේ කැපකිරීම් ශක්තියක් කර ගැනීම මේ මොහොතේ අප අපේක්ෂා කරමු.

ඉහත සඳහන් කළ ආකාරයට ස්ති‍්‍රය සහ පුරුෂයා අතර ඇති ජීව විද්‍යාත්මකව පවතින වෙනස පදනම් කරගෙන ස්ති‍්‍රයක් වීම නිසාම ඇය සමාජයේ විවිධ ක්ෂේත්‍ර තුළ ,සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, පාරිසරික හා පවුල් ඒකකය තුළ පීඩාවට සහ වෙනස් කොට සැලකීම්වලට ලක්වෙමින් සිටින්නීය. මෙම තත්ත්වය ඉතිහාසය පුරාමත් අද දක්වාත් සිදුවෙමින් පවතින්නකි.

ස්තී‍්‍රන් අත්විඳින මෙම පීඩාකාරී සහ වෙනස්කොට සැලකීම් වලින් මුඳවා ගනිමින් ස්තී‍්‍රන්ගේ අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය සහ ආරක්‍ෂා කිරීමේ අරමුණ ඇතිව ලෝක මට්ටමෙන් ‘‘1975 - 1985  කාන්තා දශකය’’ ප‍්‍රකාශයට පත් කෙරිණි. මෙහි ප‍්‍රථිඵලයක් ලෙස ශී‍්‍ර ලංකාවේ ද ස්තී‍්‍ර සංවිධාන, ස්තී‍්‍ර කි‍්‍රයාකාරිනියන් සහ වාමාංශික දේශපාලන පක්‍ෂ ද විවිධ  කි‍්‍රයාකාරකම් දියත් කෙරිණි.

ශී‍්‍ර ලංකා රජය විසින් ද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට මූලික අයිතිවාසිකම් පිළිබඳ වෙනම පරිච්ජේදයක් අන්තර්ගත  කිරීම,  කාන්තා බියුරෝව පිහිටුවීම, කාන්තා ප‍්‍රඥප්තිය ප‍්‍රකාශයට පත්කිරීම හා ජාතික කාන්තා කමිටුව ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර ප‍්‍රඥප්තියක් වන ස්තී‍්‍රන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් තුරන් කිරීමේ  ප‍්‍රඥප්තිය (CEDAW)  ට අත්සන් තැබීම වැනි කාර්යයන් කරන ලදී.

පසු කාලීනව කාන්තා අයිතිවාසිකම් සඳහා වන පනත් කෙටුම්පත (කාන්තා කොමිසම) ප‍්‍රකාශයට පත්කිරීම (2001, 2004, 2007, 2011), ගෘහස්ථ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැලැක්වීමේ පනත නීතිගත කිරීම, කාන්තා කාර්යාංශ  පිහිටුවීම, ජාතික කාන්තා කි‍්‍රයාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම, CEDAW කමිටුවට නිර්දේශ ඉදිරිපත් කිරීම වැනි කාර්යයන් සිදුවුවත් ස්තී‍්‍රන්ගේ තත්ත්වය, අභිවෘද්ධිය සහ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු වර්ධනයක් සිදු වී නැත. ස්තී‍්‍රන්ගේ අභිවෘද්ධිය  සඳහා කටයුතු කිරීමට මුලින්ම ස්ථාපිත කරනු ලැබූ, එකම අමාත්‍යාංශය වන කාන්තා කටයුතු අමාත්‍යාංශය ද අද වන විට අහෝසි කර වෙනත් අමාත්‍යාංශයක් යටතේ රාජ්‍ය ඇමතිවරයකුට පවරා ඇත. මෙම සන්දර්භය තුළ ස්තී‍්‍රන්ගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන්  කටයුතු කළහැකි වෙනම යාන්ත‍්‍රණයක  අවශ්‍යතාවය අද දවසේ ප‍්‍රබලව මතුව ඇත.

විශේෂයෙන් පවතින නව ලිබරල් ආර්ථික සංවර්ධනන මොඩලය තුල සමස්ත ප‍්‍රජාවම පීඩාවට පත් වන අතරම පීඩිතයින්ගේත් පීඩිතයා ඉඉවට පත් වන්නේ ස්ත‍්‍රීන් ය. ස්ත‍්‍රීන් ඉලක්ක කොට ගනිම්න් ම නිර්මාණය කරන්නා වූ සංවර්ධන ව්‍යාපෘති, ක්ෂුද්‍ර මූල්‍ය ණය වැනි ආර්ථික යෝජනා ක‍්‍ර‍්‍රම, ශ‍්‍ර‍්‍රම දාන වැනි ප‍්‍රජා පාදක සුභසාධන ක‍්‍රමවේද ආදිය මගින් සූක්ෂම ලෙස ස්ත‍්‍රීන්ගේ සමස්ත ජීවනය උදුරා ගනිමින් සිටී.

ඉහත සදහන් කර ඇති පරිදි ස්ත‍්‍රීන්ගේ නොවිසදුණු අති මහත් ප‍්‍රශ්ණ කන්දරාව ස්ත‍්‍රීමය හා අනාගතවාදී දැක්මක් තුල නිරාකරණය කර ගැනීම සදහා ස්ත‍්‍රීන් සදහා වන මහජන කොමිසක් ස්ථාපිත කිරීමේ කටයුත්ත ආරම්භ කිරිමට තීරණය කළෙමු

ස්තී‍්‍රන් සඳහා මහජන කොමිසම් සභාවක් අවශ්‍ය ඇයි ?

ශී‍්‍ර ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, පාරිසරික හා පවුල් ඒකකය තුළ ස්තී‍්‍රන් වීම නිසා ම ඔවුන් මුහුණ දෙන ප‍්‍රශ්නවලට සෘජුවම මැදිහත් වීමටත්,

ස්ත‍්‍රින්ගේ ගෞරවය, සුභසාධනය හා තත්ත්වය දුර්වල කරනු ලබන විශේෂයෙන් සංස්කෘතික, චාරිත‍්‍රමය හෝ සම්ප‍්‍රදායික පිළිවෙත් සහ ආකල්ප වෙනස් කිරීම සඳහා අවශ්‍ය දැනුවත් භාවය ලබාදීමටත්,

දේශීය   සහ  ජාත්‍යන්තරව ස්තී‍්‍රන් සම්බන්ධව  පවතින  නීති සහ නව නීති ප‍්‍රවර්ධනය  කිරීමටත්,  ඒවා  කි‍්‍රයාත්මක කිරීමට සහ බලගැන්වීමට  අවශ්‍ය නිර්දේශ, යෝජනා ඉදිරිත් කරමින් ස්තී‍්‍රන්ගේ   අයිතිවාසිකම්  ආරක්‍ෂා කිරීමට ඝෘජුවම මැදිහත්වෙමින් ස්වාධීනව කටයුතු කිරීමටත්, මහජන ස්තී‍්‍ර කොමිසම් සභාවක් අවශ්‍ය වේ.

අරමුණ

ස්ති‍්‍රය සහ පුරුෂයා අතර ඇති ජීව විද්‍යාත්මක වෙනස පදනම් කරගෙන ස්ති‍්‍රය සමාජයේ විවිධ ක්‍ෂේත‍්‍ර තුළ පීඩාවට සහ වෙනස් කොට සැලකීම්වලට ලක්වන නිසා මෙම තත්ත්වයෙන් මුදවා  ස්තී‍්‍රන්ගේ තත්ත්වය, අභිවෘද්ධිය, සංවර්ධනය සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට මැදිහත්ව කටයුතු කිරීම.

කොමිසම් සභාවේ කාර්යභාරය

  • ස්ති‍්‍රයක් විම නිසාම විවිධ ක්‍ෂේත්‍රවල , සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, පාරිසරික හා පවුල් ඒකකයන් තූල, ස්තී‍්‍රන් මුහුණ දෙන ප‍්‍රශ්න, ගැටලූ හා අභියෝග හඳුනා ගැනීම සහ ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ අවශ්‍ය උපදෙස්, උපදේශන හා මඟපෙන්වීම් කරමින් මැදිහත්ව කටයුතු කිරීම.
  • දේශීය සහ ජාත්‍යන්තරව පිළිගත් නීති සහ නිර්දේශ බලාත්මක කිරීමටත්, නව නීති සම්පාදනය කිරීමටත් පවතින අහිතකර නීති ඉවත් කර ගැනීමටත් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරමින්, ස්තී‍්‍රන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට සහ  ප‍්‍රවර්ධනය  කිරීමට ඝෘජුවම මැදිහත්  වීම,
  • ස්තී‍්‍රන්ට අදාල නීති සහ සම්මුතීන් පිළිබඳ (දේශීය, ජාත්‍යන්තර) හැදෑරීම් සහ දැනුවත් කිරීම.
  • ස්ත‍්‍රින්ගේ ගෞරවය, සුභසාධනය හා තත්ත්වය දුර්වල කරනු ලබන විශේෂයෙන් සංස්කෘතික, චාරිත‍්‍රමය හෝ සම්ප‍්‍රදායික පිළිවෙත් හා ආකල්ප පිළිබඳ දැනුවත් භාවය ලබාදීම.
  • පළාත් මට්ටමේ කොමිසන් සභා ස්ථාපිත කිරීම.
  • වින්දිත භාවයට පත් ස්තී‍්‍රන්ගේ කටයුතු වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම සහ ආරක්ෂිත තාවකාලික නවාතැන් ආරම්භ කිරීමට බලපෑම් කිරීම.
  • ස්ත‍්‍රීන් සඳහා පිළිගත් ජාතික සහ ජාත්‍යන්තර නීතිරීති ප‍්‍රඥප්ති සම්මත කිරීම බලාත්මක කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කිරීම.
  • ස්ත‍්‍රීන් සඳහා වූ නව ප‍්‍රතිපත්ති නීතිරීති ආදිය සකස් කිරීම හාා ක‍්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කිරීම.
  • ස්ත‍්‍රීන් ස්ත‍්‍රීන් සෑම ක්ෂේත‍්‍රයකදී ම කරනු ලබන කාර්යයන් ඇගයීම පිළිගැනීම ගණනය කිරීම ඒ සඳහා පහසුකම් ගොඩනැගීම සඳහා බලපෑම් කිරීම.
  • ස්ත‍්‍රීන් සඳහා සමාජ ආරක්ෂණය ගොඩනැගීම සඳහා දායකවීම.
  • ස්ත‍්‍රීන් ඉලක්ක කොට නිර්මාණය කරනු ලබන ශ‍්‍රම සූරාකෑම ව්‍යාපෘති වලට එරෙහි ක‍්‍රියාකාරිත්වයක් ගොඩනැගීම.
  • ස්ත‍්‍රීන් මුහුණ දෙන ගැටළු හා අභියෝග ආමන්ත‍්‍රණය කිරීම ඒ පිළිබඳ පර්යේෂණ සමීක්ෂණ ආදිය කිරීම මගින් ඒ සඳහා විසඳුම් සකස් කිරීමය ට බලපෑම් කිරීම.
  • එමගින් රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • ස්ත‍්‍රීන් සවිබල ගැන්වීම සඳහා සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍යය සමග එකාබද්ධ ක‍්‍රියාකාරිත්වයක් සකස් කිරීම.
  • රජය විසින් සකස් කරන සංවර්ධන ප‍්‍රතිපත්ති හා ව්‍යාපෘතිවලදී ස්ත‍්‍රීන්ගේ දායකත්වය පිළිබඳව තත්ත්වයන් ඇතුලත් කර ගැනීම සඳහා බලපෑම් කිරීම.
  • ඔවුන්ට බලපාන සියලූ ආකාරය රාජ්‍ය ක‍්‍රියාකාරිත්වයන් අධීක්ෂණය හා නිර්දේශ ඉදිරිපත් කිරීම.
  • ස්ත‍්‍රීන් සවිබලගැන්වීම සඳහා ජාතික මට්ටමේ සිට ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටම දක්වා වූ ක‍්‍රියාකාරී ව්‍යුහයක් සකස් කිරීම.
  • ප‍්‍රාදේශීය මට්ටමේ ස්ත‍්‍රීන්ගේ ගැටළුව ආමන්ත‍්‍රණය කිරීම සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීම.
  • කාලිනව මතු වන ස්ත‍්‍රීන්ට අදාල ප‍්‍රශ්ණ හා අදාල ක්ෂේත‍්‍ර කොමිසමේ ක‍්‍රියාකාරී පරාසයට ඇතුලත් කර ගැනීම.

ස්ථාවරය

  • ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඝෘජුවම මැදිහත්ව කටයුතු කිරීම
  • දේශපාලන පක්‍ෂයකට හෝ කණ්ඩායමකට අනුගත නොවී ස්වාධීනව කටයුතු කිරීම
  • ජාති, ආගම්, කුළ, පංති, ලිංග හා පක්‍ෂ භේදයකින් තොරව ස්වාධීනව කටයුතු කිරීම.

මූලධර්ම

  • ස්ත්‍රීමය දැක්මක් සිතීමක් සහ ක‍්‍රියාකාරිත්වයක් සහිත සමාජයක් ගොඩනැගීම සඳහා ස්ත‍්‍රී පුරුෂ ජාතිය ආගම් කුල පක්ෂ පාට ආදි සියලූ භේද වලින් තොරව කටයුතු කිරීම.
  • මනුෂ්‍යත්වය සමානාත්මතාවය යුක්තිය වගවීම සහ ගරුත්වය තහවුරු කිරීම සඳහා කටයුතු කිරීම.
  • ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ සියලූ ආකාර වෙනස්කොට සැලකීම් පිටුදැකීම සඳහා කටයුතු කිරීම.
  • ස්ත‍්‍රීන් සහ පුරුෂයන් ලෙස සමාජමය වශයෙන් ඇති කරන ලද නිර්මිතයක් පිටුදකිමින් ගෞරවනීය සමාජයක්  නිර්මාණය කිරීම සඳහා  කටයුතු කිරීම.

මෙසේ අප ” ස්ත‍්‍රීමය දැක්මක් සහිත ආදරණීය ලොවක් ” ගොඩනැගීම සඳහා ශ‍්‍රී ලංකේය ස්ත‍්‍රීන් උදෙසා වන මහජන කොමිසම  ශ‍්‍රී ලාංකික ස්ත‍්‍රී ව්‍යාපාරයේ  ඓතිහාසික සන්දිස්ථානයක් ලෙස සනිටුහන් කරන්නෙමු.

මනුෂ්‍යත්වයෙන් පිරිපුන්  ඒ සිහිනය සැබෑ කරන්නට සියලූ බේද පසෙකලා එක් වන්නට අප ඔබට ඇරයුම් කර සිටිමු.

ශ‍්‍රී ලාංකිය ස්ත‍්‍රීන් උදෙසා වන මහජන කොමිසම

10/5,රජමල්වත්ත පාර බත්තරමුල්ල

ඊමේල් - Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.