පසුගිය ඔක්තෝබර් 18 වැනි සෙනසුරාදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ (OSA) වගකීම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු යන අමාත්‍යාංශ දෙක අතර බෙදී තිබූ තත්ත්වයෙන් ඉවත් කර, එය විධායක ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) යටතට ගෙන එනු ලැබ ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව, එම පනත අධීක්ෂණය කරන කොමිෂන් සභාව ද (Online Safet Commission (OSC) එම අමාත්‍යාංශය යටතට පත්කර තිබේ. මතුපිටින් බලන විට, මෙය පරිපාලනමය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙස පෙනුනත්, එහි ගැඹුරු හැඟවුම් බරපතළ ය.
කෙසේ වුවද, මෙම වෙනස්කම සිදුකර ඇත්තේ, බරපතළ මර්දනකාරී ලක්ෂණ සහිතව, පුද්ගලික නිදහසට හා ප්‍රකාශනයේ නිදහසට තර්ජනයක් වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කිසිදු අන්තර්ගතයකට හෝ එහි දණ්ඩනය මූලික කරගත් පදනම්වලට කිසිදු වෙනසක් නොකරමින් ය.
එසේම මෙම පනත, එහි මර්දනකාරී ලක්ෂණ හේතුවෙන්, පුද්ගලික නිදහස හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ තර්ජනයක් වන බව බොහෝ විචාරකයන් පෙන්වා දී ඇත. එහි දණ්ඩනය මූලික කරගත් විධිවිධාන, විශේෂයෙන්ම, අවිචාරවත් ලෙස සහ අවභාවිතා කළ හැකි බවට චෝදනා එල්ල වී ඇති අතර(උදා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දෙස බලන්න), මෙය දියුණු සහ තියුණු ඩිජිටල් යුගයේ පුරවැසි අයිතිවාසිකම්වලට බලවත් බලපෑමක් එල්ල කරයි. කෙසේ වුවද, මෙම ගැසට් නිවේදනය මගින් පනතේ අන්තර්ගතයට හෝ එහි මූලික පදනමට කිසිදු සංශෝධනයක් සිදුකර නැත. එය හුදෙක් අමාත්‍යාංශයක මාරුවක් පමණි. මෙම පරිපාලනමය වෙනස, මතුපිටින් “අලංකාරික” ලෙස පෙනුනත්, එය ආණ්ඩුවේ බරපතළ නොසලකා හැරීමක අනතුරුදායක ප්‍රකාශනයකි: එනම්, මෙම මර්දනකාරී පනත අවලංගු කිරීම හෝ එහි පදනමේම ඇති දැඩි මර්දනීය ලක්ෂණ සැලකිය යුතු ලෙස සංශෝධනය කිරීමට ඇති අවශ්‍යතාවය පිළිබඳව ආණ්ඩුවේ කිසිදු දේශපාලන උනන්දුවක් නොමැති බවයි.
ඩිජිටල් ආර්ථිකයට බාධාවක්
ජාතික ජන බලවේග ආණ්ඩුව ඩිජිටල් ආර්ථිකයක් කරා යාමේ ඉලක්කය ගැන නිරන්තරයෙන් කතා කරයි. එහෙත්, මෙම පනත එලෙසම පවත්වා ගැනීම එම ඉලක්කවලට එරෙහිව ක්‍රියා කරන බරපතළ බාධාවකි. පුද්ගලික නිදහසට හා ප්‍රකාශනයේ නිදහසට බලපාන මෙම නීතිය, ඩිජිටල් තාක්ෂණයේ නවෝත්පාදනය හා වර්ධනයට බලවත් බාධා එල්ල කරයි. ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන්නේ නම්, නිදහස් හා විවෘත ඩිජිටල් පරිසරයක් ඇති කිරීම අත්‍යවශ්‍ය ය. එහෙත්, මෙම පනතේ මර්දනකාරී විධිවිධාන එවැනි පරිසරයකට බාධාවක් වන අතර, එය ආයෝජකයින්, තාක්ෂණික ව්‍යවසායකයින්, හා පුරවැසියන් අතර අවිශ්වාසයක් ඇති කරයි. මෙම තත්ත්වය තුළ පනත අවලංගු කිරීම හෝ එහි පදනමේ ඇති මර්දනකාරී ලක්ෂණ සැලකිය යුතු ලෙස සංශෝධනය තවදුරටත් ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇති බවට ප්‍රභල සාක්ෂියක් සපයයි. මෙම පනත එලෙසම පවත්වා ගැනීම ඩිජිටල් ආර්ථිකයේ ප්‍රවර්ධනයට ආණ්ඩුව යෝජනා කරන ඉලක්කවලට බරපතළ බාධාවක් වන බව අවිවාදිත ය. මෙය පුද්ගලික නිදහස, ප්‍රකාශනයේ නිදහසට සහ ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයට බලපාන අතර, එමගින් රටේ ඩිජිටල් ආර්ථික ඉලක්ක කරා යාමේ ගමන් මග අවහිර වේ. මෙම මර්දනකාරී පනත ඉවත් කිරීමට හෝ එහි දැඩි මර්දනීය ලක්ෂණ සංශෝධනය කිරීමට ගන්නා ඕනෑම පියවරක්(පදනමේම ඇති මර්දනීය කලාපයන් සම්පූර්ණයෙන් ඉවත්කිරීම), ඩිජිටල් ආර්ථිකයකට යාමේ ගමන වඩාත් ඵලදායී හා තිරසාර කරනු ඇත. මෙම තත්ත්වය තවදුරටත් නොසලකා හැරීම, ආණ්ඩුවේ ඩිජිටල් ආර්ථික දැක්මේ බරපතළ පරස්පරතාවයක් සහ දැක්මේ ඇති බරපතල ගැටලුවක් ලෙස ද හඳුනාගත හැකි ය.
අනතුරු ඇඟවීමක්
ඔන්ලයින් ආරක්ෂණ පනතේ වගකීම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) යටතට ඒකාබද්ධ කිරීම, මෙම මතභේදාත්මක නීතිය පවතින ලෙසටම( ඇතැම් විට අලංකාරික පැච් දමමින්) ක්‍රියාත්මකව තබා ගැනීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට ඇති කැමැත්ත පිළිබඳ අනතුරුදායක සක්‍රීය චිත්‍රයක් නිරූපණය කිරීමක් ලෙස සැලකිය හැකිය. මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම මගින් එයින් කියැවෙන යටි පෙළ අනුව, පනත අහෝසි කිරීම ඉවත දමා හෝ එහි අන්තර්ගතයට සැලකිය යුතු සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක. ඒ සඳහා ඇති ඉඩකඩ ඉතාමත් අල්පය.
එසේම මෙම පනත ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතට ගෙන ඒම, මතුපිටින් “කාර්යක්ෂමතාව” ඉහළ නැංවීමේ පියවරක් ලෙස පෙනුනත්, එය සැබවින්ම මර්දනකාරී නීතියක් එලෙසින්ම පවත්වා ගැනීමට ආණ්ඩුවේ ඇති කැමැත්ත පිළිබඳ අනතුරු ඇඟවීමකි. මෙම ගැසට් නිවේදනය, පනත අවලංගු කිරීම හෝ එහි මූලික මර්දනකාරී ලක්ෂණ සංශෝධනය කිරීමට ආණ්ඩුවේ ඕනෑකමක් නොමැති බවට ප්‍රබල සාක්ෂියකි. එසේම, මෙම පනත ‘විධායක ජනාධිපතිවරයාගේ’ අධිකාරය යටතට ගැනීම, එහි ක්‍රියාත්මක වීම තවදුරටත් බලවත් කිරීමට හැකි බවක් පෙන්නුම් කරයි. මෙය, ඩිජිටල් යුගයේ පුරවැසි අයිතිවාසිකම්වලට එල්ල වන තර්ජනය තවදුරටත් උත්සන්න නොකරනු ඇති බවට දෙනු ලබන සහතිකය කුමක්ද?
මතුපිටින් සිදුකරන පරිපාලන වෙනසකින් පනතේ ඇති දරුණුකම ඉවත් නොවේ.
අමාත්‍යාංශ මාරුවක් හුදු “මතුපිටින් පෙනෙන වෙනසකි.” එය පනතේ ඇති මූලික, සංකල්පීය “දරුණු” තත්ත්වයන් විසඳන්නේ නැත. මෙම පනතේ විධිවිධාන, ප්‍රකාශනයේ නිදහස හා ඩිජිටල් අයිතීන් සීමා කිරීමට යොදාගත හැකි බව පෙන්වා දී ඇත. එවැනි නීතියක් එලෙසින්ම පවත්වා ගැනීම, රජයේ ඩිජිටල් ආර්ථික දැක්මේ බරපතළ පරස්පරතාවයක් පෙන්නුම් කරයි. එය, ඩිජිටල් ආර්ථිකයකට යාමේ ගමනේදී රටේ තිරසාරභාවය හා විශ්වාසනීයත්වය අඩපණ කරන බව අවිවාදිතය.
මහජන අදහස් කුණු කූඩයටද?
පසුගිය අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා මාසයක කාලයක් මෙම පනත පිළිබඳව මහජන අදහස් විමසීමක් පැවති අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු පාර්ශවයන් සිය යෝජනා ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවයි. එහි දී, මහජන අදහස් විමසීමට පත්කළ කමිටුව සදහා, ‘සමාජ මාධ්‍ය ප්‍රකාශනය සදහා වූ සාමූහිකය’ ද සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළේය. එහිදී ඔවුන් සදහන් කළ යෝජනා සහ අදහස් වල මුල් කොටසේ මෙසේ දැක්වෙයි.
“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (2024 අංක 9) අහෝසි කිරීම සහ විකල්ප යාන්ත්‍රණ පිළිබඳ යෝජනාව
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (2024 අංක 9) සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුය.
හේතු:
අදහස් ප්‍රකාශනයේ නිදහසට ඇති අනතුර:
මෙම පනත් ප්‍රවේශයන් මඟින් පුද්ගලයන්ට ඔවුන්ගේ අදහස් අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශ කිරීම සීමා කරයි. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය හා මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වගන්තියට පටහැනි වේ. මෙම පනතෙන් අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත්කරමින් අවුරුදු පහක් දක්වා බන්ධනාගාරගත කිරීම සහ රුපියල් මිලියනයක් දක්වා දඩ මුදල් නියම කරයි. “තහනම් ප්‍රකාශ” ලෙස සදහන් අර්ථහී කාණ්ඩ 12ක් නිර්මාණය කර ඇති අතර, එය අත්තනෝමතික බලාත්මක කිරීම සඳහා අවස්ථාව සලසයි.
අධික Repressive ස්වභාවය:
මෙම පනතේ ප්‍රවේශයන්ගෙන් කිහිපයක් මඟින් ආණ්ඩුවට අධික බලතල හිමිවෙයි. එයින් ජනාධිපති අධීක්ෂණය යටතේ පවතින කොමිසමක් මඟින් අන්තර්ජාල අන්තර්ගතය සීමා කිරීමේ බලය ලැබෙයි. මෙය අධිකරණ අධීක්ෂණය නොමැතිව ක්‍රියාත්මක වේ. 49 වගන්තිය මඟින් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට විනිර්මුක්තිය හිමිවෙයි. පැය 24ක් ඇතුළත අන්තර්ගතය ඉවත් කිරීමේ අවශ්‍යතාව නිසි ක්‍රියාදාමය (due process) නොලැබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් විසින් පනත අහෝසි කරන ලෙස පැහැදිලිව ඉල්ලා සිටී.
ව්‍යවස්ථාමය අර්බුදය:
Centre for Policy Alternatives වාර්තා කර ඇත්තේ, ප‍්‍රඥප්තියේදී අනිවාර්ය ශ්‍රේෂ්ඨාධිකරණ සංශෝධන නොපිළිපැදීම නිසා සම්පූර්ණ නීතිය අවලංගු විය හැකි බවයි. මෙම පනත ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (Personal Data Protection Act) සමඟ අනුකූල කළ නොහැකි වන අතර, එයින් අනුකූලතා ගැටුම් (compliance conflicts) ඇතිවී සෘජු විදේශ ආයෝජන (foreign direct investment) අනතුරට ලක් කරයි. “ Full Statement here
දැන් එම මහජන අදහස් පිළිබද කිසිදු අදහසක් හෝ ප්‍රතිචාරයක් නොදක්වා, සිදුකර ඇති මෙම ‘මතු පිට වෙනස’ මගින් ප්‍රක්ශේපනය කර ඇත්තේ මහජන උපදේශන ක්‍රියාවලිය සහ ඒ හරහා ලැබුණු ප්‍රතිචාර පිළිබඳව ආණ්ඩුව දක්වන නොසැලකිලිමත් බාවයයි. එබැවින් මෙම ගැසට් නිවේදනය මගින් ආණ්ඩුවේ දැක්ම ඉතාමත් හොදින් නිරීක්ෂනය කිරීමට පැහැදිලි කැඩපතක් අපට සපයනු ලබයි. කෙසේ නමුත් එම පැහැදිලි කැඩපත තුළ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ ප්‍රකාශනයේ නිදහසට, පනත (OSA) මගින් එල්ලවන තර්ජනය ඉවත් කිරීමට නොහැකි වනු ඇත. එමනිසා මේ සිදුකර ඇත්තේ පනතේ මර්දනීය තත්ත්වයන් ඉවත්කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවට පවතින පනත ආරක්ෂා කිරීමට අවශ්‍ය ‘විධායකය’ නම් සලුවෙන් පනත පවතින අන්දමටම පවත්වාගෙන යාමට ගත් ලැජ්ජා සහගත උත්සහයක් ලෙසය. එසේම එය, ආණ්ඩුවේ ඩිජිටල් ආර්ථික ඉලක්ක හා පුරවැසි අයිතිවාසිකම් අතර ඇති ගැටුම තවදුරටත් උත්සන්න කරන, බරපතළ පරස්පරතාවයක් ලෙසද මෙම තත්ත්වය හදුනාගත හැකිය.
| සම්පත් සමරකෝන් | Sampath Samarakoon

