System Change යථාර්ථයක් කර ගන්නේ කෙසේ ද ?

gota-go-home

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සතිපතා ඉරුදින සංවිධානය කරනු ලබන  “කතිකාව” සංවාද මාලාවේ 200 වැනි වැඩසටහන පසුගිය ඉරිදා (ඔක්තෝබර් 27) පවත්වන ලදි. System Change යථාර්ථයක් කර ගන්නේ කෙසේ ද? යන තේමාව යටතේ පැවති මෙම සංවාදය සඳහා සම්පත්දායකයින් 08 දෙනකු සම්බන්ධ වීම විශේෂත්වයකි. ඒ අනුව Advocata Institute හි විධායක අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු, අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ, සමාජ ක්‍රියාකාරී චමීර දෙද්දුවගේ, කථිකාචාර්ය උමේෂ් මොරමුදලි, නීතිවේදිනී සාරා අරැමුගම්, දේශපාලන හා ආර්ථික විශ්ලේෂක හරීන්ද්‍ර බී. දසනායක, දේශපාලන ක්‍රියාකාරික හා අරගලයේ ක්‍රියාකාරික මහීල් බණ්ඩාර දෙහිදෙණිය, මානව හිමිකම් නීතිවේදිනී එර්මිසා ටිගල් සම්පත්දායකයින් ලෙස එක් වූ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ විසින් මෙම විශේෂ සංවාදය මෙහෙයවන ලදි.

“කතිකාව” බිහිවුණේ කොහොමද ? - සරෝජ් පතිරණ

ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කර ගැනීම සඳහා මාදුළුවාවේ සෝහිත හිමියෝ දීර්ඝ කාලයක් පුරා දැඩි අරගලයක නිරත විය.  2014 වන විට උන් වහන්සේගේ මෙම අරගලය වඩාත් තීව්‍රර වී ජනතාවගේ සහ දේශපාලන පක්ෂවල පුළුල් සහායක් හිමිවිය. එහි කූඨප්‍රාත්තිය සිදු වූයේ 2015 ජනවාරි 08 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ පරාජය කර විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙම ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් ප්‍රධාන පොරොන්දුවක් විය. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ දියත් වූ නමුත් එය සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට ව්‍යවස්ථාමය බාධා එල්ල විය. එහිදී මාදුළුවාවේ සෝහිත හිමියෝ නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සහ සිවිල් සමාජයේ බලපෑම මත විධායක ජනාධිපතිවරයා සතු අත්තනෝමතික බලතල කප්පාදුකරමින් පාර්ලිමේන්තුවට වඩාත් පුළුල් බලතල ලබා දෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අවස්ථාව උදාවිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සෝහිත හිමියෝ නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලැබූ ජයග්‍රහණය ලෙස සැලකිය හැකිය. “විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතුය” යන දැඩි ස්ථාවරයේ නාහිමියෝ දිගටම සිටි අතර ඒ වෙනුවෙන් තම දීර්ඝ කාලීන අරගලය ඉදිරියට ගෙන යාමට උන්වහන්සේ පියවර ගත්හ.

එහෙත් මාදුළුවාවේ සෝහිත හිමියෝ හදිසියේ අපවත්වීමෙන් පසු, 2020 පැවැති මහ මැතිවරණයෙන් පසු ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වූ  හිටපු කතානායක, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායකත්වය භාරගත් අතර නාහිමියන් අනුගමනය කළ මඟ යමින් තව දුරටත් කටයුතු කිරීමට කරු ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට අවස්ථාව උදාවිය.

2019 පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය සහ සහාය ලැබූ, ඔහුගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගත් සියලු ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ආපසු හරවන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට අවස්ථාව උදාවිය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මත කර ගන්නා ලද 18 වැනි ව්‍යස්ථා සංශෝධනය යටතේ විධායක ජනාධිපතිවරයාට පවරා තිබූ බලතල ද ඉක්මවා යමින් දැවැන්ත බලයක් විධායක ජනාධිපති ධූරයට එක්කර ගැනීමට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අවස්ථාව උදාවිය. මෙම පසුබිම යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වඩාත් තීරණාත්මක ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගැනීම වෙනුවෙන් සිය කැපවීම ප්‍රදර්ශනය කළ අතර කතිකාව සංවාදාත්මක වැඩසටහන බිහි වීමේ තිඹිරි ගෙය ද එය ම විය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ කතිකාව වැඩසටහන් මාලාවේ ආරම්භය සහ ආරම්භක අරමුණු මෙසේ පැහැදිලි කළේය, “මේ අතරේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මැතිතුමා වැදගත් තීන්දුවක් ගත්තා. ඒ අනුව 2020 නොවැම්බර් 29 වැනිදා කතිකාව නම් මෙම සංවාදාත්මක වැඩසටහන ආරම්භ කළා. එහි ප්‍රමුඛ අරමුණ වුණේ කෙසේ හෝ මේ ඒකාධිපති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර යළිත් මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමයි. එදා, 2020 නොවැම්බර් 29 වැනිදා සිට පුරා සති 200ක කාලයක් තිස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගැනීමේ ප්‍රමුඛ අරමුණ කේන්ද්‍රගතව, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ, නීතියේ ආධිපත්‍ය, ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ මාර්ගයෙන් අදට වඩා යහපත් හෙටක් ශ්‍රී ලාංකික සමාජයට උරුමකර දෙන්නේ කෙසේ ද?  යන අරමුණින් සෑම ඉරුදිනකම සවස 05.00 සිට 07.00 දක්වා පුරා පැය දෙකක කාලයක් Zoom තාක්ෂණය ඔස්සේ කතිකාව වැඩසටහන පැවැත් වුණා. ඒ සෑම සංවාදයක්ම sadharana samajayak facebook වේදිකාව ඔස්සේ සජීවීව විකාශනය කරනු ලැබුවා. එසේම sadharana samajayak යූ ටියුබ් නාළිකාව ඔස්සේ මෙම සංවාදයේ සංස්කරණය කරන ලද වැඩසටහනක් විකාශනය කරනු ලැබුවා. අනිද්දා පුවත්පතේ සම්පූර්ණ පිටුවක සංෂිප්ත වාර්තාවක් ලෙස සහ midpoint.lk සහ sadharana.org වෙබ් අඩවි දෙකෙහි ද  මෙම සංවාදයේ සංෂිප්ත වාර්තාවක් පළ කරමින් අදාළ සංවාදය වඩාත් පුළුල් පාඨක පිරිසක් වෙත ගෙන යාමට අපි පියවර ගත්තා“

මෙහිදී සරෝජ් පෙන්වා දුන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමෙහි ලා, නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීමෙහි ලා ‘කතිකාව‘ වැඩසටහන දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ බවයි.

කතිකාව ආරම්භ කළේ මුකවාඩම් දැමූ සමාජයක් තුළයි - සමාජ හා දේශපාලන විශ්ලේෂක හරීන්ද්‍ර බී. දසනායක

2020 නොවැම්බර් මස 29 වැනි දින කතිකාව වැඩසටහන ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගෙන සමස්ත සමාජයටම මුකවාඩම් දැමූ තත්ත්වක් තුළ බවත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට වෙහෙස වී කටයුතු කළ පුද්ගලයින් පවා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ප්‍රබල ලෙස පෙනී නොසිටි බවත් සංවාදයට ප්‍රවේශයක් ගනිමින්  හරීන්ද්‍ර බී. දසනායක පෙන්වා දුන්නේ ය.

ඒ වෙලාවේ තමයි කතිකාව සංවාදය පටන් ගත්තේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අයිතිකාරයෙක් ඉන්න ඔ්නෑ කියන ස්ථාවරයෙන් තමයි මේක ආරම්භ කළේ. ඒ වගේම තමයි අපි අවස්ථා ගණනාවකදී System Change කළ රටක්. ඒ වගේම සිස්ටම් එකක් හොයන රටක්. අපි තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කරගෙන අත්හදා බැලුව, ව්‍යවස්ථා සංශෝධනය කළ රටක් නැහැ. අපි තාම පාර හොයමින් ඉන්නේ. අපි තාම පදම හොයා ගෙන නෑ. ඒ නිසා තමයි මෙපමණ විවිධ මත තිබෙන්නේ, පොදු එකඟතාවක් නැත්තේ” යැයි හරේන්ද්‍ර පෙන්වා දුන්නේ ය.

කතිකාව වැඩසටහනේ ආකෘතිය ගැන සඳහන් කරමින් හරේන්ද්‍ර පෙන්වා දුන්නේ ඒ තුළ අවධානය යොමුකළ විශේෂ ක්ෂේත්‍ර තුනක් පැවැති බවයි. ඒ අනුව ආණ්ඩුකරණය / governance (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මැතිවරණ ප්‍රතිසංස්කරණ, බලය බෙදීම ආදි) කාලීන වැදගත්කමක් සහිත ජාතික මාතෘකා (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, කෘෂිකර්මාන්තය සම්බන්ධ ගැටලු යනාදිය) සහ ක්‍රමිකව වර්ධනය කරගත හැකි අවස්ථා (එදිනෙදා කරළියට එන ආණ්ඩුකරණ ගැටලු) සම්බන්ධයෙන් කතිකාව වැඩසටහන තුළ අවධානය යොමු කළ බව හරේන්ද්‍ර සඳහන් කළේය.

කතිකාව වැඩසටහනේ ශක්තීන් සහ දුර්වලතා ගැන පැහැදිලි කරමින් හරීන්ද්‍ර මෙසේ සඳහන් කළේය, කතිකාවෙන් කරන්නේ විවිධ අදහස් එකතු කර ගන්න එක. විසඳුම් මොනවද කියලා සොයා බලන එක. ඒ හරහා තමයි අපි ප්‍රතිපත්තිමය ලේඛන ආදිය සම්පාදනය කරන්නේ. උදාහරණයක් ලෙස මැතිවරණ ක්‍රම සහ කමිටු ක්‍රමය ගැන අපි (NMSJ) සම්පාදනය කළ ලේඛනය එවැන්නක්. ඒ වගේම තමයි පොදුවේ සමාජය තුළ ද දැකගත හැකි පරිදි කතිකාව සංවාදය තුළ කාන්තා නියෝජනයේ කැපී පෙනන අඩුවක් තිබෙනවා. ඒ වගේම කතිකාවට සම්බන්ධ වූ සම්පත්දායකයින්ගේ සාමාන්‍ය වයස් මට්ටම (අවුරුදු 35) ලංකාවේ සාමාන්‍ය වයස් මට්ටමට වඩා අවුරුදු 20ක් විතර වැඩියි. ඒ කියන්නේ 55ක පමණ අගයක්. ඒ වගේම තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නිසා තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරන ආණ්ඩු ගෙදර යවන්න පුළුවන් තත්ත්වයක තිබෙන්නේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් අපිට කළ හැකි සහ කළ යුතු තව බොහෝ දේ තිබෙනවා. කතිකාව කරන්නේ ඒ වෙනුවෙන්.

 ජනතාව අපේක්ෂා කළ Systems Change එක කළ හැකි කණ්ඩායමට ඔවුන් බලය ලබා දුන්නා  දේශපාලන ක්‍රියාකාරික හා අරගලයේ ක්‍රියාකාරික චමීර දෙද්දුවගේ

Systems Change එකක් නැතහොත් පද්ධති වෙනසක් ගැන සාකච්ඡා කිරීමේදී Systems එකක් යනු කුමක් දැයි වටහා ගැනීමකින් තොරව සාකච්ඡා කිරීම අර්ථ විරහිත බව පෙන්වා දුන් චමීර දෙද්දුවගේ පෙස්ටල් විශ්ලේෂණයට (Pestel Analysis) අනුව පද්ධතියක් කොටස් හයකින් සමන්විත වන බවත් ඒ අනුව, දේශපාලන, ආර්ථික, සමාජ, තාක්ෂණික, පරිසර හා නීති යන කොටස් හයෙන් පද්ධතියක් සමන්විත වන බව චමීර පෙන්වා දුන්නේ ය. ඕනෑම ආයතනයක් ක්‍රියාත්මක වන පද්ධතිය ඉහත දක්වන ලද කොටස් හයෙන් සමන්විත වන බවත් චමීර කීවේය.

2022 අරගලයේ දී Systems Change එකක් ඉල්ලා සිටි තමා ද ඇතුළු අරගලකරුවන් ඉල්ලා සිටියේ ආර්ථික, දේශපාලන, නීති වෙනසක් බව කී චමීර සෙසු කාරණා ත්‍රිත්වය ගැන සැලකිය යුතු අවධානයක් අරගලකරුවන් යොමු නොකළ බව ද පෙන්වා දුන්නේ ය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් චමීර මෙසේ ද කීවේය, මේකම නිවැරදියි කියලා මම කියන්නේ නැහැ. විවිධ අදහස් තිබෙනවා. ඒත් අපි පළමුවෙන්ම අපි Systems Change එකක් ඉල්ලා සිටියේ ඇයි කියලා විග්‍රහ කරගත යුතුයි. එක, අපේ දේශපාලන ක්‍රමයේ විශාල අවුලක් තිබෙන බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම අපේ ආර්ථික පද්ධතියේ ලොකු අවුලක් තිබෙනවා. ඉහළ අදායම් ලබන 1%කට සමස්ත ධනයෙන් 31%ක් අයිති වෙන කොට ලංකාවේ පහළම ආදායම් ලබන 50%ට අයිති ජාතික ධනයෙන් 4%ක් පමණයි. ඒකෙන්ම ලංකාවේ ආර්ථිකය තුළ තිබෙන අවුල වටහා ගන්න පුළුවන්. නීති පද්ධතියත් ඒ වගේමයි. ඒ නිසා මේ ක්ෂේත්‍ර වල වෙනසක් සිදුවිය යුතු බව අපි හැමෝම පිළිගන්නවා. මෙහිදී අපි Correction සහ Over correction  කියන එකේ වෙනස තේරුම් ගත යුතුයි. Correction කියන එකෙන් අදහස් වන්නේ වැරදි සහ අඩුපාඩු හදන්න ඕනෑ කියන එකයි. Over correction කියන්නේ මේ සිස්ටම් එකේ වැරදි සහ අඩුපාඩු හදන්න ගිහිල්ලා තවත් වැරදි සහ අඩුපාඩු හදා ගන්නවා කියන එක. මේ ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා උදාහරණ අප සතුව තිබෙනවා.

Systems එක බලයත් සමඟ ඓන්ද්‍රීයව සම්බන්ධ බව පෙන්වා දුන් චමීර ඒ අනුව ඕනෑම ආකාරයක Systems Change එකක් අනිවාර්යයෙන් ම බලය සමග සම්බන්ධ වන බව පෙන්වා දුන්නේ ය. එසේම විවිධ පුද්ගලයින් Systems Change එක දෙස බලන්නේ තමන්ගේ පුද්ගලික දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බවත් ඒ අනුව එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය වෙනස වෙනත් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අනවශ්‍ය බව ද කීවේය.

මේ තත්ත්වය තව දුරටත් විග්‍රහ කළ චමීර මෙසේ ද කීවේය, මේ පද්ධතිය ඇතුළේ වෙනස්කම් කරමින් ඉදිරියට යන්න නොහැකි බව කියන කණ්ඩායමකුත් ඉන්නවා. ඔවුන් බලාපොරොත්තු වන්නේ විප්ලවයක්. මේ ආකාරයෙන් විවිධ පුද්ගලයින් හා කණ්ඩායම් තම තමන්ගේ දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බලමින් කටයුතු කරන අතර එය ජයග්‍රහණය කරවා ගැනීම වෙනුවෙන් කටයුතු කරනවා. අපි Systems Change එකක් ගැන කතා කරනවා නම් මේක පරාජය කළ යුතුයි. එසේම අපි Systems Change එකක් වෙනුවෙන් කටයුතු කරනවා නම් බහුත්වවාදී දෘෂ්ටිකෝණයන්ට, බහුතර අදහස්වලට ඉඩදිය යුතුව තිබෙනවා. මම යළිත් අවධාරණය කරන්නේ අපි Systems Change එකක් කරනවා නම් මේ බහුත්වවාදී අදහස්වලට, බහුතර අදහස්වලට ගැටෙන්න ඉඩදිය යුතුයි. එහෙත් අදහස් ගැටුනත් මිනිස්සු නොගැටෙන තත්ත්වයට අපි පරිණත විය යුතුයි. මම දකින ආකාරයට මේවා තමයි ක්‍රීඩා පිටියේ මූලික නීති. මේවා නැතිව අපිට Systems Change එකක් ගැන කතා කරන්න බැහැ. ඒ වගේම තමයි තමන්ගේ අදහස නිවැරදි කියලා හිතාගෙන ඒක අන් අය මත බලහත්කාරයෙන් පටවන්න යනවා නම් අනිවාර්යයෙන්ම අනවශ්‍ය ගැටලු රැසක් නිර්මාණය වෙනවා. ඒ නිසා Systems Change එකක් ගැන කතා කරනවා නම්, බහුත්වවාදී අදහස් ඇති බව පිළිගැනීම, ඒවාට මතු වීමට ඉඩ දීම හා තමන්ගේ අදහස් ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇති බව පිළිගෙන කටයුතු කළ යුතුයි.

ඉහත සන්දර්භය තුළ මිනිස්සු Systems Change එකක් යනුවෙන් පිළිගත්තේ කුමක්දැයි විග්‍රහ කරගත යුතු බව චමීර කීවේය. පසුගිය අරගලයේ දී විවිධ පුද්ගලයින් හා කණ්ඩායම් විවිධාකාරයෙන් Systems Change එකක් ගැන කතා කළ බව පෙන්වා දුන් චමීර මේ සියලු දෙනාට ම Systems Change එක සම්බන්ධයෙන් කිසිම ආකාරයකින් පොදු අදහසක් නොතිබූ බව ද කීවේ ය.

මෙහිදී අරගලකරුවන්ගේ නොව ජනතාවගේ අදහස ගැන සිය මතය හෙළිකරමින් චමීර පෙන්වා දුන්නේ ජනතාව Systems Change එකක් ලෙස පිළිගත්තේ අරගලකරුවන් Systems Change එකක් ලෙස පිළිගත් දෙය නොවන බවයි.

චමීර මෙම අදහස තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද කීවේය, ජනතාව Systems Change එකක් ලෙස පිළිත්තේ දූෂණය හා වංචාව නැති කිරීමයි. මිනිස්සුන්ගේ ඔළුවට ගිහින් තිබුණ දේ තමයි, අපි දුක් විඳිනවා. අපි දුක් විඳින්නේ තව පිරිසක් අසාධාරණ විදිහට, දූෂණයෙන් හා වංචාවෙන් අපට අයිතිය ධනය අත්පත් කර ගෙන ඉන්න නිසා කියන අදහස. මේ වන කොට මිනිස්සු තමන් පිළිගන්නා Systems Change එක කරන කණ්ඩායමට බලය දීලා තිබෙනවා. දැන් හොරු අල්ලනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා. නමුත් මම දකින ආකාරයට මේක Systems Change එකක් නොවෙයි. මම මුලින් සඳහන් කළ ආකාරයට දේශපාලන හා නෛතික කියන කාරණා ද්විත්වය තුළ තමයි හොරු ඇල්ලීම, නැතහොත් වංචාව හා දූෂණය පිටුදැකීම තිබෙන්නේ. ඒකෙන් සමස්ත Systems Change එක ආවරණය වෙන්නේ නැහැ. නමුත් ජනතාව ප්‍රමුඛතාව දුන්නේ ඒකට නිසා අපි ඒකට ගරු කළ යුතුයි කියලා මම හිතනවා.

තමා Systems Change එකක් ලෙස පිළිගන්නා දෙය කුමක් දැයි පැහැදිලි කරමින් චමීර  තම අදහස මෙසේ පැහැදිලි කළේය, අපි මූලික සත්‍යයන් කිහිපයක් පිළිගත යුතුයි. එකක් තමයි මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමීයි. තමන්ගේ මනෝරථ පූර්ණය වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඔවුන්ට ජීවිතය වින්දනය කරන්න අවශ්‍යයි. අපි මේ පළමු කරුණ පිළිගන්නවා නම් කිසිම අවස්ථාවක අපි කිසිවෙකුට අසීමිත බලයක් ලබාදිය යුතු නැහැ. ඊට පසුව එන ප්‍රශ්නය තමයි පිරිසකට බලය ලබාදිලත් බැහැ - නොදිත් බැහැ. මේකට ඇති විසඳුම මොකක්ද ? ඒකට ඇති විසඳුම තමයි සංවරණ හා සංතුලනය කියලා කියන්නේ.  අපේ ආණ්ඩුක්‍රමය තුළත් මේ සංවරණ හා සංතුලනය ක්‍රියාත්මක වෙනවා. ඒත් එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අපේ තිබෙන්නේ එකිනෙක තදින් බැඳුණු ක්‍රමයක්. ඒ නිසා අපි අපි තව දුරටත් ඉදිරියට යා යුතුයි. ආගම සහ රාජ්‍යය වෙන්විය යුතුයි. ආර්ථිකය සහ දේශපාලනය වෙන් විය යුතුයි. අන්තර් සහගත බැඳීම් බිඳ දැමිය යුතුයි. මම Systems Change එකක් කියලා කියන්නේ මෙන්න මේකට. එහෙම නොවීමේ ප්‍රතිඵලය තමයි අපි දැකලා තිබෙන සහචරවාදය නැතහොත් අනුග්‍රහවාදයක් නිර්මාණය වීම. උදාහරණයක් විදිහට කිව්වොත් සල්ලි තිබෙනවා නම් දේශපාලන බලයත්, දේශපාලන බලය තිබෙනවා නම් සිවිල් බලයත් ලැබෙනවා. ඔහුගේ අනුග්‍රහය ලබන පිරිසක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේ පිරිසට ඔහු පෙරළා අනුග්‍රහය දක්වනවා. ඊට පස්සේ ආණ්ඩුකරණය, නීතිය ආදි සියල්ලම ඔවුන් අතට පත් වෙනවා. මේ අනුව තමයි ලංකාවේ පසුගිය කාලය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අනුග්‍රහවාදයක් ක්‍රියාත්මක වුණේ. මම විශ්වාස කරන ආකාරයට ලංකාවේ Systems Change එකක් කරනවා නම් මේ අනුග්‍රහවාදය කඩාබිඳ දැමිය යුතුයි. තදින් ඒකාබද්ධව පවතින පද්ධති වෙන් කළ යුතුයි.

මෙහිදී චමීර පෙන්වා දුන්නේ තමා දක්වන ලද අදහස එක්වර කළ නොහැකි දෙයක් බවයි. ශ්‍රී ලංකා සමාජය එවැනි Systems Change එකක් දරාගත හැකි මට්ටම දක්වා පරිණත වී නොමැති බව ද ඉතිහාසය විසින් ලබා දුන් එවැනි අවස්ථා අති සාර්ථක ලෙස අපතේ යවා ඇති බව ද කී චමීර එහි අවසාන ප්‍රතිඵලය ලෙස සමස්ත පද්ධතිය අනපේක්ෂිත ලෙස (සිදුවිය යුතු ලෙස) 2022 දී පුපුරා ගිය බව ද කී චමීර මෙසේ ද කීවේය. අවුරුදු ගණනාවක් පුරා රබර් බෝලයක් වාගේ යටපත් කරගෙන සිටි මේ පීඩනය 2022 දී පුපුරා ගියා. සුනාමියෙන්, යුද්ධය අවසන් කිරීමෙන් සහ යහපාලනයෙන් පාඩම් ඉගෙන නොගත්තත් අපි 2022 දී සිදු වුණ අරගලයෙන් යම්කිසි පාඩමක් ඉගෙන ගෙන ඇති බවක් පේනවා. ඒත් ඒක ස්වභාවික දෙයක් ද නැතහොත් මිරිඟුවක් ද ? කියලා බලා ගන්න කාලයක් ගත වේවි. ඒත් මම හිතන විදිහට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. ක්‍රමිකව, ටිකෙන් ටික අපිට ඉගෙන ගන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.

ජනතාව ඉල්ලා සිටින System Change එක මොකක්ද ? - ඇඩ්වකාටා ආයතනයේහි විධායක අධ්‍යක්ෂ ධනනාත් ප්‍රනාන්දු

System එකක් නිර්මාණය කිරීම යනු අදාළ ආයතනයේ හෝ සංවිධානයේ දෛනිකව කටයුතු සිදුකරනු ලබන ස්වභාවික ආකාරයට වඩා කිසියම් සැලකිය යුතු කාලයක් පුරා ක්‍රියාත්මක කළ හැකි කිසියම් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම බවත් එය පුද්ගල වෙනස්වීම් මත හෝ පුද්ගලික අභිලාෂයන් මත එය වෙනස් නොවිය යුතු බවත් ධනනාත් ප්‍රනාන්දු පෙන්වා දුන්නේය. මෙහිදී ඔහු අවධාරණය කළේ System එකක් එහි ස්වභාවය අනුව ම කිහිප වතාවක් යාවත්කාලීන වීම අනිවාර්ය දෙයක් බවයි.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ධනනාත් මෙසේ ද සඳහන් කළේය, “මේ තත්ත්වය අනුව බලන විට කාලයක් තිස්සේ ලංකාවේ ආර්ථිකය තිබෙන්නේ අසීරු තලයක. මේ තත්ත්වය තුළ ආර්ථිකය ගැන ජනතාවගේ විරෝධය වර්ධනය වෙන්න මූලික කාරණා දෙකක් බලපෑවා. පළමු කරුණ තමයි ආර්ථිකය නිසා ලැබෙන ප්‍රතිලාභ, ආදායම්, රැකියා යනාදිය අඩුවීම, දෙවැනි කරුණ තමයි වංචාව හා දූෂණය නිසා ඔවුන්ට හිමිවිය යුතු රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා සහ ආදායම් අහිමි වුණා කියන චෝදනාව. මේ තත්ත්වය තුළ System එකක් හදනවා නම් මේ කියන කාරණා දෙක ගැන ම ජනතාව තුළ විශ්වාසය ගොඩනැගිය යුතුයි.

මෙහිදී වංචාව සහ දූෂණය පිටු දකින ප්‍රවේශයක් වෙත යන්නේ නම් එහි පදනම විය යුත්තේ, අභිමත බලය අවම කිරීම සහ අනාවරණය කිරීම (හෙළිකිරීම / disclosed) බව පෙන්වා දුන් ධනනාත් අභිමතය පරිදි කටයුතු සිදුවන සෑම අවස්ථාවකම දූෂණයට සහ වංචාවට පාර කැපෙන බවත්, අදාළ සේවය ලබා ගන්නා අතෘප්තියට පත්වන බවත් පෙන්වා දුන්නේ ය. මෙහිදී වෙනකුගේ තීරණය අනුව තමන්ගේ ඉදිරි පවැත්ම සම්බන්ධ තීරණ ගැනීමට සිදුවන බවත් මෙවැනි අවස්ථා බහුලව සිදුවන බවත් ධනනාත් කීවේ ය. මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ ධනනාත් මෙසේ ද පෙන්වා දුන්නේ ය.

මෙවැනි අවස්ථාවක වෙනත් පුද්ගලයෙකුගේ තීරණයක් අනුව තවත් පුද්ගලයෙකුගේ අනාගත පැවැත්ම තීරණය වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් අභිමත බලයක් යම්කිසි පුද්ගලයෙකුට දෙනවා කියන්නේ එතැන වංචාවක් හෝ දූෂණයක් සිදුවීම පහසු පරිසරයක් නිර්මාණය වීමයි. ඒ නිසා අභිමත බලය අවම කරන තරමට වංචාව හා දූෂණය පිටුදැකීම හෝ අවම කිරීම පහසුයි. උදාහරණයක් විදිහට යම් පුද්ගලයෙකුට ඔහුට ම අයත් ඉඩමේ තිබෙන කොස් ගසක් කපා ගැනීමට අවසර දීමේ දී ග්‍රාම නිලධාරිවරයාට අභිමත බලයක් හිමි වෙනවා නම් මෙවැනි අවස්ථාවට දූෂණයට පහසු පරිසරයක් නිර්මාණය වෙනවා.  ආයෝජන මණ්ඩලය දක්වාත්, අන්තර්ජාතික ගනුදෙනු දක්වාත් නිතර සිදුවෙනවා. යම්කිසි නායකයෙකුට දූෂණයට හා වංචාව අවම වන  System  එකකට යාමට අවශ්‍ය නම් මේ අභිමත බලය අඩු කළ යුතුයි.

මෙහි දී ධනනාත් පෙන්වා දුන්නේ වංචාව හා දූෂණය පිටු දකින System එකකට යාමට අවශ්‍ය නම් හෙළි කිරීම්  කළ යුතු බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී වත්කම් බැරකම් නීතිය හරහා මෙය ක්‍රියාවට නැගුණු බව පෙන්වා දුන් ධනනාත් මේ අනාවරණය / හෙළි කිරීම හරහා සමාජ කතිකාවක් නිර්මාණය වන බවත් එමගින් වංචාව හා දූෂණය අවම කිරීමට පිටුබලයක් ලැබෙන බවත් පෙන්වා දුන්නේ ය.

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සංශෝධනය කිරීමේ දී හා බදු පැනවීමේ දී ද අභිමත බලය හිමි වන බව පෙන්වා දුන් ධනනාත් මේ හරහා ද වංචා, දූෂණ (බද්ද ඉහළ දැමීමෙන් හෝ පහළ දැමීමෙන්) සිදු වන බව කීවේ ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාවගේ අතෘප්තිය වර්ධනය වූ දෙවැනි හේතුව (වංචා දූෂණ හේතුවෙන් ආර්ථික අවස්ථා, රැකියා, ව්‍යාපාරික අවස්ථා සහ අදායම් අහිමිවීම) ගැන සිය ස්ථාවරය පැහැදිලි කළ ධනනාත් System එකක් නිර්මාණය කරන්නේ නම් තරඟකාරීත්වය මත පදනම් වූ ආර්ථික ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බව පෙන්වා දුන්නේ ය.

බලහත්කාරයෙන් හෝ මර්දනය මගින් System එකක් හදන්න පුළුවන් වාතාවරණයක් වර්තමාන ලෝකයේ නැහැ. අද මුළු ලෝකයම දුවන්නේ දීමනාවක් නැතහොත් අභිප්‍රේරණයක් මත. මෙවැනි තත්ත්වයක් තුළ තමයි මිනිස්සු යමක් කරන්න පෙළඹෙන්නේ. එසේ නැතිව බලහත්කාරය හෝ තර්ජනය මත මිනිස්සු වැඩ කරන්නේ නැහැ ධනනාත් වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී ඔහු අවධාරණය කළේ තරඟකාරීත්වය මත ක්‍රියාත්මක වන System එකක් තුළ වංචාව සහ දූෂණය අවම වන බවයි.

හැමෝ ම තරඟ කරද්දී එහි විනිවිදභාවයක් ඇතිවෙනවා. හැමෝ ම හිතනවා මම මීට වඩා දෙයක් කළ යුතුයි කියලා. ඔවුන් තෘප්තිමත් කලාපයෙන් එළියට ඒමට උත්සාහා කරනවා. ඒ නිසා ටෙන්ඩර් ක්‍රියාවලියේ සිට සෑම අංශයකම තරඟකාරී ස්වභාවයක් අවශ්‍යයි. එවැනි තත්ත්වයක් තුළ පාරිභෝගික භාණ්ඩවල මිල අඩුවීමත්, ගුණාත්මකභාවය ඉහළ දමා ගැනීමත් කරන්න පුළුවන්. ආර්ථිකමය කරුණු සම්බන්ධයෙන් මම දකින System Change එක මේක තමයි.

මෙහිදී ධනනාත් පෙන්වා දුන්නේ System Change එකක් ගැන දීර්ඝ කාලයක් පුරා ජනතාව තුළ අපේක්ෂාවන් තිබූ බවයි. නමුත් මෙය කෙටි කාලීනව ඉටුකර ගත හැකි දෙයක් නොවන බව කී ධනනාත් සාම්ප්‍රදායක දේශපාලනය කල් ඉකුත් වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති කාලයක් ගත කරමින් සිටින බවත් පෙන්වා දුන්නේ ය. මෙහි අවසාන ඉල්ලකය ගැන සිය අදහස ගෙන හැර දැක්වූ ධනනාත් ප්‍රනාන්දු මෙසේ ද සඳහන් කළේය.

ජනතාව 2010 -2012 දී පමණ සිට System Change එකක් ඉල්ලා සිටියා. මෑතකදී එය වඩාත් තීව්‍රර වුණා. ඒ නිසා මම කියන්නේ ජනතාව ඉල්ලා සිටින System Change එක ලබාදීමකින් තොරව මෙහි ධනාත්මක දෙයක් අපේක්ෂා කළ නොහැකියි. අපි ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ධනනාත් ප්‍රනාන්දු අවධාරණයෙන් යුතුව සඳහන් කළේය.

සෑම දෙයක්ම පුද්ගලික අංශයට පැවරීමෙන් අතිවන තරඟකාරීත්ව මගින්ම පමණක් System Change ඒක කළ හැකි ද ? මැයෙන් මෙහිදී සරෝජ් පතිරණ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ධනනාත් කියා සිටියේ තරඟකාරීත්වය සහ පුද්ගලික අංශයට පැවරීම එකක් ලෙස බොහෝ දෙනා සිතා සිටින බවයි. ඒ දෙකම එකක් වන අවස්ථාත් තිබෙන බව පැහැදිලි කළ ධනනාත් එම අදහස මෙසේ පැහැදිලි කළේය. මම මෙහිදී අදහස් කළේ රජයේ අරමුණ විය යුත්තේ රාජ්‍ය ව්‍යවසාය තරඟකාරී ලෙස පවත්වා ගෙන යාම බවයි. තරඟකාරීත්වය කියන්නේ පුද්ගලික අංශයට පැවරීම නොවෙයි. රජය ව්‍යාපාර නොකිරීමයි, තරඟකාරීත්වයයි කියන්නේ කතා දෙකක්. තරඟකාරීත්වය කියන්නේ System Change එකේ ප්‍රධාන කොටසක්. උදාහරණයක් ලෙස ටෙන්ඩර් ක්‍රියාවලිය තුළත් තිබෙන්නේ තරඟකාරීත්වය. රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් ගත්විට තරඟකාරීත්වය ඉතාම වැදගත්. රජය හෝ පුද්ගලික අංශය වේවා ඒකාධිකාරියක් පවත්වා ගෙන යනවා නම්, එතැන තරඟකාරීත්වය අඩු නම් පුරවැසියාට හෝ පාරිභෝගිකයාට වාසියක් ලැබෙන්නේ නැහැ. ඒක මහා බ්‍රිතාන්‍යයටත් පොදුයි, ලංකාවේ සහල් සහ බිත්තර ව්‍යාපාරයටත් පොදුයි. පුද්ගලික අංශයට පැමිණි පමණින් එතැන තරඟකාරීත්වයක් ඇති වෙන්නේ නැහැ”

 System Change වෙන්න නම් ජනතාව ද වෙනස් විය යුතුයි - නීතිඥ සාරා ආරුමුගම්

System Change එකක් යනුවෙන් තමා සලකන්නේ රාජ්‍ය වෙනස්වීම් බවත් (රාජ්‍ය බිහි කරන්නේ මිනිසුන් නිසා මිනිසුන් ද වෙනස් විය යුතුයි. මිනිස්සු වෙනස් නොවී රාජ්‍ය වෙනස් කළ නොහැකියි) System Change එකක් තුළ රාජ්‍යයේ කාර්යභාරය කුමක් විය යුතුද? යන්න සම්බන්ධයෙන් රාජ්‍යයට වගකීමක් තිබෙන බවත් නීතිඥ සාරා ආරුමුගම් මෙහිදී පෙන්වා දුන්නාය. System Change වීමට නම් රාජ්‍ය වෙනස් වීම අනිවාර්යය කරුණක් බව පෙන්වා දුන් ඇය තම අදහස තව දුරටත් මෙසේ පැහැදිලි කළාය.

මෙහිදී අපි සලකා බලන්න ඔ්නෑ අපට තිබෙන්නේ මොන වාගේ රාජ්‍යයක් ද කියන එක. ඒ වගේම අපි මෙතෙක් කාලයක් දැක ඇති රාජ්‍ය මොන වගේ එක්ක ද? යන්න ප්‍රශ්න කළ යුතු බව මම හිතනවා.  ඔවුන් හැසිරෙන්නේ කෙසේද? ඔවුන්ගේ ප්‍රමුඛතාවයන් මොනවාද?  ඔවුන්ගේ න්‍යාය පත්‍රය කුමක් ද? කියන හැම දෙයක්ම අපට මෙහිදී වැදගත් වෙනවා. ඒ වගේම System Change එකකට දායකත්වය ලබා දෙන්න පුළුවන් වන විදිහට රාජ්‍ය සකස් වෙලා තිබෙනවාද? කියලා අපි සොයා බැලිය යුතුයි. මම දකින ආකාරයට (ඉතිහාසය පුරාම) මේක අපරාධ රාජ්‍යයක්. ඉතිහාසය පුරා මේ රාජ්‍ය හැසිරී තිබෙන ආකාරයට, පුරවැසි ඉල්ලීම් හමුවේ ප්‍රතිචාර දක්වා ඇති ආකාරය අනුව, පුරවැසියන්ට සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට සලකා ඇති ආකාරය දෙස බලන විට, මේ අපරාධකාරී රාජ්‍ය වෙනස් වීම තමයි මම System Change එකක් ලෙස දකින්නේ. මෙවැනි රාජ්‍යයක් තුළ System Change එකක් කරන්න නම් අපි (පුරවැසියන්) කුමක් කළ යුතුද? යන්න ගැන සලකා බැලිය යුතුයි. ඒ අනුව අපරාධයන් කියන දේට රාජ්‍ය විසින් කුමනාකාර තත්ත්වයක් ලබාදී ඇත්දැයි සොයා බැලිය යුතුයි.

මෙහිදී සාරා පෙන්වා දුන්නේ පුරවැසියන් මේ අපරාධකාරී රාජ්‍යයේ ක්‍රියාකාරීත්වය ප්‍රශ්න කරනවාද ? යන ප්‍රශ්නය තමා හමුවේ තිබෙන බවයි. ජනතාව රටේ ප්‍රශ්න දෙස බලන්නේ ආර්ථිකමය දෘෂ්ටිකෝණයෙන් බව පෙන්වා දුන් ඇය, රාජ්‍ය තුළ පවත්නා ප්‍රචණ්ඩකාරී ව්‍යුහය ජනතාව ප්‍රශ්න නොකර බවත් පෙන්වා දුන්නාය. 2022 දී රට මුහුණ දුන්නේ ආර්ථික අර්බුදයකට නොව ආණ්ඩුකරණය සම්බන්ධ අර්බුදයකට බව කී සාරා මෙම තත්ත්වය තුළ System Change එකක් කරනවා නම් ප්‍රමුඛතාව ලබාදිය යුතුතේ කුමකටදැයි ජනතාව අතර අදහසක් තිබිය යුතු බව සඳහන් කළාය.

තම ස්ථාවරය පැහැදිලි කරමින් නීතිඥ සාරා ආරුමුගම් මෙසේද කීවාය. අපි පහුගිය අවුරුදු කිහිප දෙස බැලුවත් දේශපාලන වේදිකාවල අපි දැක්කේ ආර්ථිකමය කාරණා (දූෂණය වැළක්වීම, හොරු ඇල්ලීම වැනි) පමණයි. අපිට යුක්තිය කියන කාරණය (දෙවැනි කරුණ) මෙහිදී අමතක වුණා. රාජ්‍යය  කියන එක යුක්තිය කියන කාරණයට කොතරම් ප්‍රමුඛතාවක් ලබාදී තිබෙනවාද?  යුක්තිය ඉල්ලා සිටින මිනිසුන්ට යුක්තිය ලබාදීමට අවශ්‍ය ව්‍යුහයක් රාජ්‍ය විසින් නිර්මාණය කර තිබෙනවාද?, ඒ වෙනුවෙන් රාජ්‍යය  කොතරම් කැප වෙලා තිබෙනවාද? කියන කරුණු System Change තුළ අපි බලාපොරොත්තු වෙනවා.

ලෝකයම පිළිගත්, කතා කරන වැදගත් සංකල්පයක් වන දණ්ඩ මුක්තිය සම්බන්ධයෙන් ලංකාව ඉහළින්ම සිටින බව පෙන්වා දුන් සාරා රට තුළ පුරවැසියන්ට සිදුව ඇති අපරාධවලට කිසිම ආකාරයක යුක්තියක් ඉටු නොවූ බවත් යුක්තිය සොයන මිනිසුන්ව නිරන්තරයෙන් දඩයමට ලක්වන බවත් මෙහිදී පෙන්වා දුන්නා ය.

මේවා තවමත් අවසාන වෙලා නැහැ. ඉතිහාසය පුරා මුහුණ දුන් අභියෝගවලට සාධනීය පිළිතුරු සොයා ගන්නේ කෙසේද? කියන එක සම්බන්ධයෙන් අපට තවමත් අදහසක් නැහැ. දණ්ඩ මුක්තිය දිගින් දිගටම ක්‍රියාත්මක වන තත්ත්වයක් මත කිසිම අපරාධයකට යුක්තිය ඉටුවන බවක් අපට දැකගත නොහැකියි. ඉතිහාසය පුරා සිදුවුණ අපරාධ දේශපාලන වේදිකාවල කතා කරන්නේ බලය ලබා ගැනීමේ අරමුණින් පමණක් බවයි අපි දකින්නේ. මේ තත්ත්වය තුළ අපි කොහොමද අලුත් දේශපාලන වේදිකාවල නිවැරදි System Change එකක් දකින්නේ. අපි මේ අපරාධ පිළිගන්නවා, අපි මේවාට යුක්තිය ඉටුකරමින් ඉදිරියට යනවා කියන න්‍යාය පත්‍රයක් කිසිම පක්ෂයක් තුළින් අපි දකින්නේ නැහැ. අපි මේ කියන කාරණා ගැන අවධානය යොමු කරන්න කිසිම ආණ්ඩුවක් සූදානම් බවක් අපි දකින්නේ නැහැ.

මෙහිදී සාරා අවධාරණය කළේ ආර්ථික අභියෝග ජය ගැනීම අනවශ්‍ය බව තමා කිසිසේත්ම නොකියන බවයි. දූෂණය සහ වංචාව පිටුදැකීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළ ඇය යුක්තිය ඉටුකර ගැනීම රාජ්‍ය මධ්‍ය ලක්ෂය මත තැබිය යුතු බවත් එවැන්නක් වන්නේ නම් පමණක් System Change එකක් සිදුවිය හැකි බව තමා විශ්වාස කරන බවත් කීවාය.

ඉතිහාසය පුරා අපි දකිනවා සිදුව ඇති අයුක්තීන්ට එරෙහිව ගත යුතු පියවර සම්බන්ධයෙන් ජනතාවට උත්තරයක් නැහැ. ඒ වගේම උතුරු - නැගෙනහිර ජනතාව මුහුණ දෙන ගැටලුවලට වත්මන් ආණ්ඩුවට කිසිම පිළිතුරක් නැහැ. ඔවුන් දේශපාලන වේදිකාවල කරන්නේ සුළු ජාතීන්ට තර්ජනයක් වන කතා නම් අපි කොහොමද මේ System Change එක කරන්නේ? මේ වගේ තත්ත්වයක් තුළ මේ රටේ ජීවත් වන සියලුම පුරවැසියන් කොහොමද System Change එකට එකතු වෙන්නේ?  තමන් මේ System Change එකේ කොටසක් කියලා ජනතාවට තේරෙන්නේ කොහොමද? වේදිකාවල කතා කරන දේවල්, තමන්ගේ දේශපාලන ව්‍යුහයන් සකස් කර ගන්න ආකාරය ගළපා ගන්නේ කොහොමද?  අපි සමහර වෘත්තීන්ට (ආගමික නායකයින්ට, විශ්‍රාමික සොල්දාදුවන්ට) අපේ සිස්ටම් ඇතුළේ සුවිශේෂත්වයක් ලබා දෙන්නේ ඇයි? මේකෙන්ම ඔවුන් තව දුරටත් පැහැදිලි කරන්නේ කුමක්ද? මේක තමයි අපේ සිස්ටම් එක, මේ විදිහට තමයි අපි යන්නේ... ඉතිං, අපි System Change එකක් කරයි කියලා බලාපොරොත්තු වෙන අයත් ඉදිරියට ගෙන යන්න හදන්නේ මිනිස්සුන්ව තෘප්තිමත් කරන දේවල් තමයි. ඉතිං මේක වෙනස් කරන්නේ කවුද? කියන ඒක අපිට ගැටලුවක්. මම අවසාන වශයෙන් කියන්නේ ලංකාවේ ජීවත් වන සියලුම පුරවැසියන්ට එකාවන්ව හිතන්න පුළුවන් වන ආකාරයට ව්‍යුහාත්මක වෙනසක් වෙනකම් අපිට මේ දේවල් වෙනස් කරන්න අමාරුයි. රාජ්‍ය ව්‍යුහය වෙනස් වෙන එකෙන් තමයි අපිට System Change එකක් කර ගන්න පුළුවන්. රාජ්‍ය වෙනස් වෙනවා නම් ජනතාවත් වෙනස් වෙනවා. ඒ වගේම මම යම්කිසි වෙනසක් දක්නවා. ජනතාව වෙනස් වෙමින් සිටිනවා. මැතිවරණ ව්‍යාපාර පවා වෙනස් වෙමින් තිබෙනවා. මම දකින ආකාරයට ඒක යහපත් ලක්ෂණයක්. මම දකින ආකාරයට අපිට දිගු ගමනක් යන්න තිබෙනවා. නමුත් බලය තිබෙන සමාජ ප්‍රාග්ධනයක් තිබෙන පුළුවන් විය යුතු රැඩිකල් ලෙස පෙනී සිටිමින් මේ System Change එක සම්බන්ධයෙන් යම්කිසි මැදිහත් වීමක් කරන්න. ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕනෑ පේන්න ඕනෑ.

බොහෝ නීති සම්මත වන්නේ ජනතා සංවාදයකින් හෝ සහභාගීත්වයකින් තොරවයි - මානව හිමිකම් නීතිවේදී එර්මිසා ටිගල්

පුරවැසියන්ට රාජ්‍ය සමඟ ඇති ගිවිසුම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවත් එම ගිවිසුමේ ප්‍රමාණවත් නොවන භාවය හේතුවෙන් System Change එකක අවශ්‍යතාව වර්ධනය වූ බවත් මානව හිමිකම් නීතිඥවරියක වන එර්මිසා ටිගල් පෙන්වා දුන්නාය.

විධායක ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා ඇති අසීමිත බලතල හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ මූලික අයිතිවාසිකම් ගැටලු නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ටිගල් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බව ද සඳහන් කළාය.

ලංකාවේ නීති සම්පාදනයේ ඇති ගැටලුකාරීත්වය ගැන පැහැදිලි කරමින් ටිගල් පෙන්වා දුන්නේ  ලංකාවේ නීති සම්පාදනය කරන විට කිසිම ආකාරයකින් ජනතාව දැනුවත් කිරීමක් සිදු නොවන බවයි. ඇය එම තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද කීවා ය. මේ නීතිය සම්පාදනය කළේ ඇයි? ඒක ක්‍රියාත්මක වන්නේ කෙසේද? ආදි කිසිම දැනුම් දීමකින් හෝ සංවාදයකින් තොරව තමයි මේ නීති පැනවීම සිදුවන්නේ. නීතිවේදීන් ලෙස අපි කියන්නේ යම්කිසි නීතියක් සම්පාදනය කරන්නේ නම් ඒ ගැන ජනතාව සමග පුළුල් සංවාදයක් කළ යුතුයි. ඔවුන්ව නිසි පරිදි දැනුවත් කළ යුතුයි. ජනතාවගේ සහාය ලබා ගත යුතුයි. විවාද කළ යුතුයි. විකල්ප හා වෙනස් අදහස්වලට ඉඩ දිය යුතුයි. ඒ නිසා අපි කියන්නේ ජනතාව දැනුවත් කිරීමකින් තොරව සිදුවන මේ ක්‍රමය වෙනස් විය යුතුයි.

මෙහිදී එර්මිසා පෙන්වා දුන්නේ නීති සම්පාදනයේ දී මහජන උපදේශනයක් සිදුවිය යුතු බවයි. එසේම සුළු ජාතීන්ට හෝ ආන්තික ප්‍රජාවන්ට බලපාන යම් කිසි නීතියක් සම්පාදනය කරන්නේ නම් ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දිය යුතු බවත්, සංවේදී විය යුතු බවත් ඇය අවධාරණය කළාය. යම්කිසි නීතියක් සම්මත වූ පසු එයට අභියෝග කළ හැකි ක්‍රමයක් නොමැති බව පෙන්වා දුන් ඇය යම් නීතියක් සම්මත වීම මගින් තමාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම්  හෝ ඊට අගතියක් වන්නේ නම්  හෝ ඒ ගැන අධිකරණය හමුවට ගොස් කරුණු කියාපෑමට පුරවැසියන්ට අයිතියක් තිබිය යුතු බව ද සඳහන් කළාය.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ නම් ඉහත දක්වන ලද කරුණු සම්බන්ධ අයිතිවාසිකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව පෙන්වා දුන් ටිගල් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිම් පමණක් බවත් නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් සමාජ අර්ථික අයිතිවාසිකම් ද නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවත් පෙන්වා දුන්නා ය.

අර්මිසා මෙම තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද සඳහන් කළාය, “ ආණ්ඩුව විවිධ ක්‍රම මගින් ජනතාවගේ සමාජ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය කළත් (ආර්ථික අර්බුදය හෝ සේ.අ.සා.අරමුදල) ඊට එරෙහිව අධිකරණය හමුවේ කරුණු කියා පෑමට නොහැකි තත්ත්වයක් පවතින්නේ සමාජ ආර්ථික අයිතිවාසිකම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිනොගන්නා නිසයි. ඒ නිසා අපි අවධාරණය කරන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නේ නම් ඒ තුළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සේම සමාජ ආර්ථික අයිතිවාසිකම් ද ‘මූලික අයිතිවාසිකමක්’ ලෙස අන්තර්ගත කළ යුතුයි. එසේම මර්ධනකාරී හා වෙනස් කොට සැලකීම් සිදුවන නීති ඉවත් කළ යුතුයි. සංශෝධනය කළ යුතුයි.

පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉතාම කෙටි කාලයක් තුළ නීති සියයකට අධික ප්‍රමාණයක් සම්මත කරගත් බවත්, එයින් 30%ක් පමණ ආර්ථිකයට සම්බන්ධ නීති බවත් ඇය පෙන්වා දුන්නා ය.

නීති සම්පාදනය කිරීමේ දී ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අර්මිසා ඒ සම්බන්ධයෙන් තම ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් මෙසේ ද කීවාය,

ඒ කියන්නේ කිසිම දැනුම් දීමකින් හෝ දැනුවත් කිරීමකින් තොරව අපේ ජීවිත පාලනය කරන්න අවශ්‍ය නීති සිය ගණනක් ඉකාම කෙටි කාලයක් තුළ සම්මත කරගෙන තිබෙනවා. එසේම කොපමණ නීති සම්මත කළත් පසුගිය කාලයේ අපරාධවල විශාල වර්ධනයක් තිබෙනවා. අපි මේ තත්ත්වය හඳුනා ගත යුතුයි. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ඔන්ලයින් පනත වැනි මර්ධනකාරී නීති වහාම ඉවත් කළ යුතුයි. එසේම අලුත් නීති සම්පාදනය කරන විට සුළුතර ජන වර්ගවලට, ආන්තික ප්‍රජා කණ්ඩායම්වලට බලපාන, හානිකර නීති සම්මත නො විය යුතුයි. ඒ වගේම තමයි කොපමණ යහපත් නීති සම්මත කළත් දේශපාලන කැප කිරීමක් නොමැති නම් ඒ නීති නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ නිසා අපි මෙතැන ඇති දේශපාලන අභිලාෂයන් කුමක් ද යන්න ගැන සලකා බැලිය යුතුයි. ආණ්ඩුවක් බිහිවන්නේ එක්තරා ජනවර්ගයක් පමණක් ආරක්ෂා කරන්න නොවෙයි. රට තුළ ජීවත් වන සියලුම ජනවර්ග ආරක්ෂා කරන්න. එසේම යම්කිසි නීතියක් සම්මත කරන විට සුළුතර ජනවර්ග හා ආන්තික ජනවර්ග ගැනත් නිසි අවධානයක් යොමු කළ යුතුයි. එසේම ජාත්‍යන්තරව පිළිගත් සමාජ ආර්ථික අයිතිවාසිකම් ද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුයි.

50%ක කාන්තා නියෝජනයක් නැති පාර්ලිමේන්තුවක් තුළ කාන්තාවන්ට ද අදාළ නීති සම්පාදනය කරන්නේ කෙසේදැයි තමාට නොවැටහෙන බව කී එර්මිසා ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් ව්‍යවස්ථාදායකය තුළ සහතික කල  යුතු බව අවධාරණය කළාය.

Systems Change කියලා කළේ ආණ්ඩු මාරු කිරීම පමණයි - දේශපාලන ක්‍රියාකාරික හා අරගලයේ ක්‍රියාකාරික මහීල් බණ්ඩාර දෙහිදෙණිය

Systems Change එකක් යන වචනය 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමේ සිට පසුගිය වසර කිහිපය පුරා ජනතාව අතර සහ දේශපාලන සංවාදය තුළ බහුලව භාවිතා වූ වචනයක් බවත් ඒ අනුව ජනතාව මෙවර ද Systems Change එකක් වෙනුවෙන් තීන්දුවක් ගෙන ඇති බවත් මහීල් බණ්ඩාර සඳහන් කළේය.

Systems Change  එකක් යනු කුමක් දැයි තව දුරටත් පැහැදිලි කරමින් මහීල් මෙසේ ද සඳහන් කළේය, 2015 යහපාලන ආණ්ඩුව බලය ගෙන ඒමට ඡන්දය භාවිත කළ ජනතාව එදා අපේක්ෂා කළෙත්, 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේදී කතා කළෙත්, පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා බලයට ගෙන ඒමට සහාය දැක්වූ පාර්ශ්ව කතා කළෙත් අද අපි කතා කරන Systems Change කියන වචනය ම තමයි. ඒ අනුව Systems Change කියන වචනය ආණ්ඩු මාරු කරන්න විශාල දායකත්වයක් ලබා දුන් වචනයක් ලෙස සැලකිය හැකියි. ඒ වගේම තමයි අපි පසුගිය කාලය පුරාම විටින් විට Systems Change කියන නිවසට විවිධ කොටස් එකතු කරලා තිබුණත් ඒකට අවශ්‍ය ශක්තිමත් අත්තිවාරමක් නිසි ලෙස දමා ගෙන නැහැ. ඒ වගේම Systems Change එකක් ගැන කතා කරමින් බලයට පැමිණි කිසිවෙක් මේක නිවැරදිව කරලා නැහැ. ඒ නිසා මේක ආණ්ඩු මාරුවෙන් ඔබ්බට ගිහින් නැහැ. අපි Systems Change කියලා කරලා තිබෙන්නේ ආණ්ඩු මාරු කිරීම පමණයි. ඒ නිසා මම හිතනවා අපි කොතරම් ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන ආවත් අපේක්ෂිත වෙනස සිදුකරන්න අපහසු වෙයි කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ ජනතාව අතර දේශපාලන සාක්ෂරතාව සහ දේශපාලන සවිඥානිකත්වය ඉතාම අවම මට්ටමක පැවතීම. ඒක වර්ධනය කරන්න දේශපාලන පක්ෂ කිසිම දායකත්වයක් ලබා දුන්නේ නැහැ.

Systems Change කරන්න කලින් රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයි - කතිකාචාර්ය උමේෂ් මොරමුදලි

Systems Change නැතහොත් පද්ධති වෙනසක් ගැන කතා කළත් ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික හා දේශපාලන අර්බුදයක ගිලී සිටින බව පෙන්වා දුන් කතිකාචාර්ය උමේෂ් මොරමුදල මේ සියලු අර්බුදයන්ට විසඳුම ශක්තිමත් රාජ්‍යයක් ගොඩනැගීම බව පෙන්වා දුන්නේ ය. මෙහිදී තමා ශක්තිමත් රාජ්‍යයක් ලෙස සලක්නේ බහුතර පාර්ලිමේන්තු නියෝජනයක් ඇති ආණ්ඩුවක් නොව රාජ්‍ය වෙත පැවරී ඇති කාර්යභාරය නිසි ලෙස ඉටු කළ හැකි යාන්ත්‍රණයක් සහිත ආණ්ඩුවක් බව ද කීවේ ය.

රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සහ එහි දුර්වලතා ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ උමේෂ් මෙසේ ද කීවේය, ලංකාවේ එහෙම රාජ්‍ය යාන්ත්‍රණයක් නැහැ. එහෙම රාජ්‍ය යාන්ත්‍රණයක් නොමැති වීම ම තමයි අපි මුහුණ දෙන බහුතරයක් ගැටලුවලට පදනම වෙලා තිබෙන්නේ. ටෙන්ඩර් ක්‍රියාවලිය හා සම්බන්ධ දූෂණ හා අක්‍රමිකතා, නිසි ලෙස බදු නොගෙවීම, නිසි ලෙස සමාජ ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක නොවීම ආදි සියලු ම අර්බුද නිර්මාණය වෙලා තිබෙන්නේ මේ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් නොතිබීම නිසා බව පැහැදිලියි. ඒ වගේම මිනිස්සුන්ගේ ආදායම ඉහළ යාම, අවශ්‍යතා සංකීර්ණ වීම ආදි කාරණාවලට ආමන්ත්‍රණය කළ හැකි ආකාරයට රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් වෙලා නැහැ. අපි Systems Change කොපමණ කලත් මේ රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ශක්තිමත් කිරීමකින් තොරව ඉදිරියට යාමට කිසිම අවස්ථාවක් නැති බව අවබෝධ කරගත යුතුයි.

රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමක් කිරීමට අවශ්‍ය මූලික කටයුතු රැසක් පසුගිය ආණ්ඩුව විසින් ඉටුකළ බව සිහිපත් කළ උමේෂ් මොරමුදලි ආණ්ඩුකරණය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙන ආ නීති මෙහිදී වැදගත් වූ බව ද කීවේ ය.

නීතිමය ප්‍රතිපාදන තිබුණ පළියට ප්‍රශ්නය විසඳා ගන්න බැහැ. ඒකට රාජ්‍ය යාන්ත්‍රණයට සම්බන්ධ ශ්‍රම බළකායේ ගුණාත්මකභාවය දියුණු කළ යුතුයි. නිසි බඳවා ගැනීම්, වැටුප් සහ විශේෂයෙන් අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි. සංවරණ හා සංතුලන ක්‍රමයක් තිබිය යුතුයි. මම දකින ආකාරයට Systems Change එකක් කියන්නේ රාජ්‍ය යාන්ත්‍රණයට, ආණ්ඩුකරණයට අවශ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් ලෙස හා නිසි ලෙස සංවිධානය කර ගැනීමයි. එය කළ යුත්තේ කවරාකාරයෙන් ද කියලා විවිධ අදහස් තිබෙන්න පුළුවන් වුණත් කළ යුතු වන්නේ අදාළ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පමණයි යැයි කී උමේෂ් මොරමුදලි මෙම කටයුතු කෙටි කාලයකින් ඉටුකර ගත නොහැකි වුවත් වසර කිහිපයක් ගත කර හෝ ඉටුකර ගැනීම අතිශය වැදගත් හා තීරණාත්මක වන බව ද පෙන්වා දුන්නේ ය.

රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම නිසි ලෙස නොකළහොත් රට යළි අර්බුදයකට යාම වළක්වා ගන්න කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා Systems Change ගැන කතා කරන ඕනෑම ආණ්ඩුවක් රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ශක්තිමත් කිරීමට දැඩි අවධානයක් යොමුකළ යුතුයි. එසේ නොකළහොත් පැවැත්මක් නැහැ ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

සටහන - තුෂාල් විතානගේ