බ්‍රිතාන්‍ය සමාගමක් ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙක් එක රැයින් සේවයෙන් පහ කරලා

uk-care-workers

රෝගීන් සහ වයෝවෘද්ධ පුද්ගලයින්ට සත්කාර කිරීමේ රැකියාව (Care Worker) පිණිස බ්‍රිතාන්‍යයට පැමිණි ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් රැකියා කොන්ත්‍රාත්තුවක් නොලැබීම, ඉතා දුෂ්කර සේවා කොන්දේසි, ප්‍රමාණවත් වැටුපක් නොලැබීම සහ දීර්ඝ වැඩ මුර ඇතුළු බොහෝ ගැටලුවලට මුහුණ දී සිටින බව කලෙක සිට වාර්තා වෙනවා.

ඇතැම් විට මේ රැකියාව සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන ඇතැමුන්ට රැකියා ඒජන්සිය විසින් බ්‍රිතාන්‍යයේදී කිසිම රැකියාවක් සොයා දීලත් නැහැ.

කොවිඩ් වසංගතයෙන් පසුව රෝගීන් සහ වැඩිහිටියන් රැක බලා ගැනීමේ පුරප්පාඩු පිරවීම පිණිස non-skilled ක්ෂේත්‍රය යටතේ විදේශිකයින්ට දොරටු විවර කරනු ලැබුවේ බොරිස් ජොන්සන් අගමැතිවරයා යටතේ එවක පැවති කොන්සර්වේටිව් ආණ්ඩුව විසින්.

ඒ සමගම ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශිකයින් විශාල පිරිසක් Care Worker විසා බලපත් ලබාගෙන බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වුණා.

ඒ අතරින් සමහරුන්ට සුදුසු රැකියාවක් ලැබුණත් විශාල පිරිසක් මුහුණ දුන්නේ කබලෙන් ලිපට වැටුණ වාතාවරණයකට. ලංකාවට වඩා හොඳ, සුරක්ෂිත ජීවිතයක බලාපොරොත්තුවෙන් ගෙවල්, දොරවල් විකුණල නැත්නම් උගස් කරලා, ණය තුරුස් වෙලා දරු මල්ලොත් එක්ක "සිහින දේශයට" ආවට පස්සේ තමයි බොහෝ දෙනාට මේ සිහින දේශයේ ඇත්ත කතාව තේරුණේ.

නමුත් එතකොට ප්‍රමාද වෙලා වැඩියි.

අනික ලංකාවෙන් එද්දී අසල්වැසියන්ට, නෑදෑයින්ට කියල ආපු දේවල් නිසා දැන් ඇත්ත කියන්න විදියකුත් නෑ. ඇත්ත කිවුවොත් ඒජන්සිය වීසා බලපත්‍රය (work permit එක) කැන්සල් කරන්න ඉඩ තිබීම තවත් ප්‍රශ්නයක්.

සමහරු ඇවිත් තිබුණේ ලංකාවේ කරමින් හිටපු වැදගත් රැකියා පවා අත්හැරලා දාල. ඒ වගේ එක ශ්‍රී ලාංකිකයෙක් දීර්ඝ වැඩ මුරයක් ඉවර වෙලා හැමදාම නිදාගත්තේ කාර් එකේ සීට් එක දිග ඇරගෙන කියලත් මට අහන්න ලැබුණ.

ඒ නිසා දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන බ්‍රිතාන්‍යයට ඇවිත් අතරමංවුණ කිසිම කෙනෙක් තමන්ගේ අත්දැකීම ප්‍රසිද්ධියේ කිවුවේ නෑ.

ඔවුන් ප්‍රසිද්ධියේ නොකිවුවට බ්‍රිතාන්‍යයේ බොහෝ දෙනා දැන් ඒ ගැන දන්නවා. ආණ්ඩුවත් දන්නවා.

මේ ඒ වගේ එක කතාවක්.

මීට අවුරුද්දකට විතර කලින් බ්‍රිතාන්‍යයේ Care Home එකක වැඩ කරපු ශ්‍රී ලාංකික කාන්තාවන් 20 දෙනෙකුට සිකුරාදා හවස management එකෙන් පණිවුඩයක් ලැබුණලු. සඳුදා ඉඳල ඔයාලට ජොබ් දෙන්න විදියක් නෑ ඒ නිසා සඳුදා ඉඳල වැඩට එන්න එපා කියල ඒ 20 දෙනාට එදා මැනේජ්මන්ට් එක කිවුවලු.

බ්‍රිතාන්‍ය කම්කරු නීතිවල හැටියට දවස් දෙකක් නෝටිස් දීල ආයතනයක සේවකයෙක් ඉවත්කරන්න බැහැ. එහෙම කළොත් ඒක නීති විරෝධියි.

ඒත් රැකියා කොන්තාත්තුවක්වත් නැති නිසා - කිසිම ලියවිල්ලක්ට අත්සන් කරලා නැති නිසා - මේ කාන්තාවෝ මේ රටේ කම්කරු නීතිය යටතට වැටෙන්නේ නෑ.

කොටින්ම Care Worker visa අරගෙන ආපු බොහෝ දෙනාට සිද්ද වුණේ රැකියාවක නෙවෙයි වහල් මෙහෙයක යෙදෙන්න.

Care Worker visa අදින් අවසන්!

එක කෝල් එකකින් රැකියාව අහිමි කෙරුණ ඒ කාන්තාවෝ 20 දෙනා ගැන මාත් එක්ක කිවුවේ නීතිඥ නිල්මිණි රෝලන්ස්.

ඇය ඔක්ස්ෆර්ඩ් ප්‍රදේශයේ වාසය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත, සංක්‍රමණික කටයුතු පිළිබඳ නීතිඥවරියක් (https://www.roelens.uk). ඒ වගේම solarvillagesdg පුණ්‍යායතනයේ (https://www.solarvillagesdg.org/) සම-නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂවරිය.

මේ විදියට රැකියා ඒජන්තයින්, හාම්පුතුන් සහ උසස් අධ්‍යාපන ආයතන වගේ අය කාලයක් මුළුල්ලේ සංක්‍රමණික නීතිය අපයෝජනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට අගමැති කියර් ස්ටාමර් ගේ ආණ්ඩුව බ්‍රිතාන්‍ය සංක්‍රමණික නීතියේ දැවැන්ත සංශෝධනයක් පසුගිය මැයි මාසයේ ප්‍රකාශයට පත් කළා.

Student visa, partner visa, ශිෂ්‍යයින්ගේ හෝ රැකියා බලපත්‍රලාභීන්ගේ දරුවන් හෝ සැමියා/බිරිඳ ට ලබා දෙන වීසා ඇතුළු සමස්ථ වීසා බලපත්‍ර ක්‍රමවේදය එමගින් සංශෝධනය කෙරෙනව.

ජුලි 22 වෙනිදා (හෙට) ඉඳල ඒ සංශෝධන අදියර වශයෙන් ක්‍රියාත්මක වෙනව.

ජුලි 21 මධ්‍යම රාත්‍රියේ ඉඳල Care Worker visa ලබාදීම අවසන් කිරීමත් ඒ සංශෝධන අතරේ තියෙනව.

කොහොම වුණත් දැනට බ්‍රිතාන්‍යයේ ඉන්න අයට වීසා දීර්ඝ කිරීමෙදී මේ බොහෝ සංශෝධන බල නොපාන්නත් ඉඩ තියෙනව. ඒ වගේම සමහර සංශෝධන තවමත් තියෙන්නේ සලකා බලමින් ඉන්න අදියරේ.

ලේබර් ආණ්ඩුව ඉදිරිපත් කළ බ්‍රිතාන්‍ය සංක්‍රමණික නීතිවල දැවැන්ත සංශෝධනය ගැන නීතිඥ Nilmini Roelens මේ වීඩියෝවේ විස්තර කරනවා. (https://www.youtube.com/watch?v=DPrQCd2RUbw)

saroj pathirana

| සරෝජ් පතිරණ

2025 ජුලි 21