කොරෝනා ආසාදිතයින් නිසා චීනය තවත් නගරයක් වැසෙයි

කොරෝනා ආසාදිතයින් නිසා චීනය තවත් නගරයක් වැසෙයි
කොරෝනා ව්‍යාප්තියේ අවදානම හමුවේ චීනයේ යුෂෝ නගරය වසා දමා තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

වසා දැමීමත් සමග බස් සේවා ඇතුළු සියලු ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙනවා. කෙසේවෙතත් නගරයේ පිහිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි වෙළඳසැල් පමණක් විවෘතව තැබෙන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

යුෂෝ නගරය මෙලෙස එක් රැයකින් සම්පූර්ණයෙන් වසා දමා ඇත්තේ එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එම ආසාදිතයින් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වන බව ද චීන බලධාරීන් සඳහන් කළා. 

එළඹෙන සීත ඍතු ඔලිම්පික් උළෙලට බීජිං නුවර සූදානම් කිරීම හමුවේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ දැඩි මෙහෙයුමකට චීනය අවතීර්ණ වී සිටිනවා. ඒ හමුවේ ඉදිරියේදී චීනය තුළ තවදුරටත් සීමා පැනවෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කොරෝනා ආසාදිතයින් වාර්තා වන නගර සම්පූර්ණයෙන් වසා දැමීම එහි එක් පියවරක්. එලෙස කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනීමත් සමග ඉකුත් 23 වනදා සිට චීනයේ ෂියෑන් නගරය සම්පූර්ණයෙන් වසා දමා ඇත්තේ මිලියන 13 ක වැසියන් පිරිසක් ද සමගයි.