බුලී බායි: මුස්ලිම් කාන්තාවන් වෙන්දේසියේ දැමූ ඇප් එක තහනම් කෙරේ

බුලී බායි: මුස්ලිම් කාන්තාවන් වෙන්දේසියේ දැමූ ඇප් එක තහනම් කෙරේ

 මුස්ලිම් කාන්තාවන් සිය දෙනෙකුට වැඩි පිරිසකගේ ඡායාරූප යොදාගනිමින්, ඔවුන් "විකිණීමට" ඇතැ යි ප්‍රචාරය කළ යෙදවුමකට (ඇප් එකකට) එරෙහිව ඉන්දීය ප්‍රාන්තයන් දෙකක පොලීසි නඩු පවරා ඇත.

මෙයට චෝදනා ලද්දවුන් අතර එම ඇප් එකේ නිර්මාපකයින් ද, එහි වූ පින්තූර සහ අන්තර්ගතයන් බෙදාගත් ට්වීටර් ගිණුම්හිමියන් ද වේ.

ගිට්හබ් නම් වෙබ් ප්ලැට්ෆෝමයෙන් බලගැන්වුණු "බුලී බායි" නම් මෙම විවෘත මූල මෘදුකාංගය (ඕපන් සෝස් ඇප්) මේ වන විට ඉවත්කර තිබේ.

මාස කීපයක් තුළ දී, ඉන්දීය මුස්ලිම් කාන්තාවන් අන්තර්ජාලය හරහා "වෙන්දේසි කිරීම" මඟින් ඔවුන්ට හිංසා කිරීමට ගත් දෙවැනි තැත මෙය යි.

ජුලි මාසයේ දී, මුස්ලිම් කාන්තාවන් 80කට වැඩි පිරිසක් අන්තර්ජාලයේ පළකළ ඡායාරූප භාවිතයට ගත් "සුලී ඩීල්ස්" නම් ඇප් එකක් සහ වෙබ් අඩවියක්, එම කාන්තාවන් සඳහා ප්‍රොෆයිල් නිර්මාණය කරමින් ඔවුන් "දවසේ ඩීල්" යනුවෙන් හඳුන්වා තිබුණි.

මෙම සිදුවීම් ද්විත්වයේ දීම සත්‍ය විකුණුමක් සිදුව තිබුණේ නැත - ඒවායේ අරමුණ වී තිබුණේ, මුස්ලිම් කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප බෙදාහැරීම හරහා ඔවුන් අවමානයට පත් කිරීම සහ පහතට හෙලා සැලකීම යි.

"සුලී" යනු දක්ෂිණාංශික හින්දූන් විසින් මුස්ලිම් කාන්තාවන් හිතාමතාම අපහාසාත්මක සහ කුපිත කරවනසුළු ලෙස හැඳින්වීමට යොදාගන්නා පරිභවාත්මක හින්දි යෙදුමකි. එසේම "බුලී" ද අපහාසාත්මක ය.

තම නම සහ ඡායාරූප ද බුලී බායි ඇප් එකට ඇතුළත්කර තිබුණු මාධ්‍යවේදිනී ඉස්මත් අස්රා පසුගිය සති අන්තයේ දී දිල්ලිහි පොලීසියට මේ පිළිබඳ පැමිණිල්ලක් ගොණුකළා ය. මෙම පැමිණිල්ල නාඳුනන පුද්ගලයින්ට එරෙහිව ගොණුකර තිබූ අතර, ඒ, ලිංගික හිංසනය සහ ආගම මත පදනම්ව වෛරය පැතිරවීම යන හේතූන් මත ය.

බුලී බායි ලැයිස්තුවේ නම් සඳහන් තවත් කාන්තාවක් සිදුකළ පැමිණිල්ලකට අනුව මුම්බායිහි පොලීසිය ඇප් එකේ නිර්මාපකයින්ට සහ එහි අන්තර්ගතයන් බෙදාගත් ට්වීටර් පරිශීලකයින් කීපදෙනෙකුට එරෙහිව දෙවැනි නඩුවක් ද ගොනුකර ඇත.

ඇප් එකේ ඡායාරූප සහ නම් අඩංගු වූ ලැයිස්තුවට මාධ්‍යවේදිනියන් කීප දෙනෙකු, සම්මානිත බොලිවුඩ් නිළියක, සහ 2016 දී අතුරුදන් වූ විශ්වවිද්‍යාල සිසුවෙකුගේ මවක ද ඇතුළත් වේ.

බුලී බායි ඇප් එකට ඇතුළත්කර තිබූ ඡායාරූපවල හිමිකාරියන් සති අන්තය පුරා ට්වීටර් පණිවුඩ නිකුත් කරමින් ප්‍රකාශකර තිබුණේ තමාට "කම්පනයක්" සහ "මහත් බියක්" දැනුණුබව යි.

සුලී ඩීල්ස් සිදුවීමෙන් මාස හයක් පමණම ගතවී ඇතත්, පොලීසිය විසින් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

bull app

| ඉන්දියාවේ සයිබර් හිංසනවල ප්‍රධාන ඉලක්කයක් වන්නේ මුස්ලිම් කාන්තාවන් ය

පරීක්ෂණ කටයුතුවල ප්‍රගතියක් නොමැතිවීම නිසා තමාට ඒ ගැන විශ්වාසයක් නැතිබව අස්මත් අස්රා අල් ජසීරා පුවත් සේවයට පවසා තිබුණා ය.

"මේ වගේ වෛරය පතුරුවන්නන් කිසිම දඬුවමකට බය නොවී, කිසිදු විපාකයක් නොලබා, දිගින් දිගටම මුස්ලිම් කාන්තාවන් ඉලක්කකර ගනිමින් සිටිනවා දකින එක ඇත්තෙන්ම කලකිරවනසුළු යි," ඇය සිය පැමිණිල්ලේ සටහන් කළා ය.

ජනවාරි පළමු දා, තොරතුරු හා තාක්ෂණ අමාත්‍ය අශ්විනී වෛෂ්ණව් ප්‍රකාශ කළේ මෙම ඇප් එක උඩුගත කළ තැනැත්තා ගිට්හබ් විසින් "බ්ලොක්කර" ඇතිබව යි. "වැඩිදුර ක්‍රියාමාර්ග" ගැනීම සඳහා පොලීසිය සයිබර් ඒජන්සි සමග සම්බන්ධ වී කටයුතු කරනබව ද ඔහු සඳහන් කළේ ය.

ශිව් සේනා පක්ෂයේ නීතිවේදිනියක වන ප්‍රියංකා චතුර්වේදී ඊට ප්‍රතිචාර ලෙස මෙසේ ට්වීට් කළා ය: "ප්ලැට්ෆෝමය බ්ලොක් කරනවාට අමතරව, ඒ වගේ වෙබ් අඩවි නිර්මාණය කරන වරදකාරයින්ට දඬුවම් කිරීමත් වැදගත්."

සුලී ඩීල්ස් නිර්මාපකයින්ට තවමත් දඬුවම් ලබා දී නොමැති හෙයින් මේ නව ඇප් එක නිර්මාණය වූබව ඇය ANI පුවත් ඒජන්සිය සමග පවසා සිටියා ය.

කාන්තාවන් සඳහා වන ජාතික කොමිෂන් සභාව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම නඩුකරය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගයන් පිළිබඳව "හැකි ඉක්මනින්" තමා දැනුවත් කරන්නැ යි එහි සභාපතිනිය දිල්ලි පොලිස් කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇතිබව යි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය සාතේජ් පටිල් ගිට්හබ් වැනි ඩිජිටල් ප්ලැට්ෆෝමයන් විවේචනය කරමින්, ඒවා "නාරිද්වේශයෙන් හා වාර්ගික වෛරයෙන් ඉතිරෙනබව" ප්‍රකාශ කළේ ය.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, සුලී ඩීල්ස් සිද්ධිය පිළිබඳ විමර්ශනයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් ද ෆෙඩරල් රජයෙන් ප්‍රශ්නකර සිටියේ ය.

2018 දී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයෙන් නිකුත් කළ සයිබර් හිංසන පිළිබඳ වාර්තාවකින් පෙන්නුම් කළේ, කාන්තාවක් වැඩි හඬක් නගන තරමටම ඇය ඉලක්කකොට හිංසා කිරීමේ ඉඩකඩ ද ඉහළ යනබව යි - කාන්තාව ආගමික සුළුතරයකට හෝ වරප්‍රසාද නොලත් කුලයකට අයත් නම් මෙහි පරිමාණය තවත් ඉහළ නැගෙයි යනුවෙනි.

"මේ සිද්ධිය නිසා මාව හිරිවැටිලා ගියා වගේ වුණා," සුලී ඩීල්ස් ලැයිස්තුවේ නම සඳහන් වූ තවත් කාන්තාවක් BBCය සමග පැවසුවා ය.

ඉන්දියාවේ ධ්‍රැවීකරණය වූ දේශපාලන වාතාවරණය තුළ මෑත වසරවල දී, මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව අන්තර්ජාලය හරහා හිතාමතා අපහාසාත්මක ප්‍රකාශනයන් පළකිරීම ආදිය වඩාත් නරක අතට හැරී ඇතිබව විචාරකයෝ පවසති.

"මේ ඉලක්කගත, සැලසුම් සහගත ප්‍රහාරය තමන්ගේ අදහස් ප්‍රකාශ කරන, ඉස්ලාම් භීතිකාවට විරුද්ධව නැගී සිටින උගත් මුස්ලිම් කාන්තාවන් නිහඬ කරන්න ගත්ත උත්සාහයක්," ඇම්නෙස්ටි ඉන්දියාහි හිටපු මාධ්‍ය ප්‍රකාශිකාව මෙන්ම කතුවරියක ද වන නසියා ඉරම් පසුගිය ගිම්හානයේ දී සුලී ඩීල්ස් සම්බන්ධයෙන් අදහස් දක්වමින් BBCය සමග පවසා සිටියා ය.

(bbc/sandeshaya)