පකිස්ථානයේ රෝහල්වල සේවය කරන කාන්තාවන් පවසන්නේ ඔවුන් පිරිමි සගයක්ගෙන්, රෝගීන්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් නිරන්තරයෙන් ලිංගික හිරිහැරවලට, ප්‍රචණ්ඩත්වයට සහ වාචික හිංසනයට මුහුණ දෙන බව ය. ඉන්දීය රෝහලක සේවයේ යෙදී සිටියදී 31 හැවිරිදි සීමාවාසික වෛද්‍යවරියක දූෂණය කර මරා දැමීමෙන් පසුව බොහෝ පිරිසක් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කනස්සල්ලෙන් පසු වන බව පැවසූහ. බොහෝ දෙනෙකු ඔවුන්ගේ නම් ප්‍රකාශය පත් නොකරන ලෙස ඉලා සිටියේ, ඔවුන්ගේ රැකියා අහිමි වේ යැයි හෝ "කීර්තිය සහ ගෞරවය" නැතිවේ යැයි බියෙනි.
මාස කිහිපයකට පෙර තරුණ වෛද්‍යවරියක හඬමින් වෛද්‍ය නුස්රත් (ඇගේ සැබෑ නම නොවේ) වෙත පැමිණියා ය. ඇය වැසිකිළිය භාවිත කරමින් සිටියදී බිත්තියේ සිදුරකින් පිරිමි වෛද්‍යවරයෙකු විසින් එය වීඩියෝගත කර තිබූ අතර, ඇයව බ්ලැක්මේල් කිරීම සඳහා උත්සහ කරමින් තිබිණි.
"මම FIA එකට [සයිබර් අපරාධ හසුරුවන ෆෙඩරල් විමර්ශන ඒජන්සිය] පැමිණිල්ලක් කරන්න යෝජනා කළ නමුත් ඇය කැමති වුණේ නෑ. ඇය කිව්වා ඒක ලීක් වෙලා ඇයගේ පවුලේ අය හෝ සැමියාගේ පවුලේ අය දැන ගන්න එකට කැමති නෑ කියලා," වෛද්‍ය නුස්රත් පැහැදිලි කළේ වෛද්‍යවරියන්ව රහසිගතව වීඩියෝ කළ අවස්ථා අවම තුනක්වත් ඇය දන්නා බවට එකතු කරමිනි.
වෛද්‍ය නුස්රත්ට දැන ගන්නට ලැබුණේ, පොලිසියේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු බ්ලැක්මේල් කළ පුද්ගලයා වෙත ගොස් ඔහු සමග කතා කර, ඔහු කළ දේ නිසා ඔහුව අත්අඩංගුවට ගත හැකි බවට අනතුරු හඟවා ඇති බව ය. එම වීඩියෝව මකා දැමීමට පොලිස් නිලධාරියා වග බලාගෙන තිබිණි.
"අවාසනාවකට අපට එතැනින් එහාට මොකුත් ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවුණ නමුත් ආයේ කාටවත් එහෙම දෙයක් කරන්න බැරි වෙන්න අපි බිත්තියේ සිදුර වහලා දැම්මා," වෛද්‍ය නුස්රත් පවසයි.
මීට වසර පහකට පෙර බලවත් පුද්ගලයෙකු වූ ඇයගේ ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයා ඇයව ඉලක්ක කර ගන්නා විට, රජයේ රෝහලක නේවාසික වෛද්‍ය නිලධාරිනියක වූ වෛද්‍ය අමීනා [ඇගේ සැබෑ නම නොවේ] ඇතුළුව වෙනත් කාන්තාවන් ද ලිංගික හිරිහැරවලට ලක් වූ අත්දැකීම් බෙදා ගත් හ.
| සිය වෘත්තියට හෝ පෞද්ගලික ජීවිතයට එය බලාපානු ඇතැයි යන බිය නිසා බොහෝ කාන්තාවෝ අතවර සහ හිංසන ගැන විවෘතව කතා කිරීමට බියක් දක්වති
"මගේ අතේ ෆයිල් එකක් තියෙනවා කියලා ඔහු දකිනකොට අනවශ්‍ය කතා කියමින් මගේ පැත්තට බර වෙන්න උත්සහ කරන ගමන් මාව අල්ලන්න උත්සහ කරනවා," ඇය පවසයි.
ඇය රෝහල් පරිපාලනයට පැමිණිල්ලක් කළ නමුත් ඇය පවසන්නේ එයින් කිසිදු වෙනසක් සිදු නොවූ බව ය. "මට කිව්වා මම එතන ඉන්නේ පොඩි කාලයයි, හිංසනය ඔප්පු කරන්න දේවල් තියෙනවා ද කියලා ඇහුවා. ඔවුන් කිව්වා අපට මේ පුද්ගලයාව අවුරුදු හතක් තිස්සේ හදන්න බැරි වුණා, මොකුත් වෙනස් වෙන්නේ නැහැ සහ කවුරුත් ඔයාව විශ්වාස කරන්නේ නෑ කියලා."
හිංසනයන් වීඩියෝගත කර ගැනීමට සමත් වූ වෙනත් කාන්තාවන්ව අමීනා දන්නා බව පවසන අතර, ඇය පවසන්නේ, "හිංසකයාව වෙනත් වාට්වුවකට මාස කිහිපයකට මාරු කළා, ඊට පස්සෙ ආපහු ආවා. මොකුත් වුණේ නෑ," යනුවෙනි.
ඇයට වෛද්‍යවරියක වශයෙන් පත්වීම් ලැබීමට සුදුසුකම් ලැබීම සඳහා එය සම්පූර්ණ කිරීමට සිදු වූ අතර, එය අවසන් වූ වහා ම හැකි ඉක්මනින් මාරු වීමක් ලබා ඉන් ඉවත්ව ගියා ය.
ඇයගේ කතාව අවුල්සහගත සාමාන්‍යයක් බව අපි සොයා ගත්තෙමු. වෛද්‍යවරයෙකු විසින් ශල්‍යාගාරයේදී, "මම ඔහුට ශල්‍ය උපකරණ දෙන විට එයා මගේ අතින් අල්ලලා මාව අනවශ්‍ය විදිහට අල්ලන්න උත්සහ කරනවා," යැයි හිටපු සීමාවාසික හෙදියක් විස්තර කළා ය. "ඔහු ඉඟි මරමින් උරහිස් පිරිමදිමින් නොනවත්වා ම මගේ ළඟට එන්න උත්සහ කළා."
ඇය ඉස්ලාමාබාද්හි හෙදියක බවට පත් වීම සඳහා ඉගෙන ගැනීමට ශිෂ්‍යත්වයක් හිමි කරගෙන තිබූ අතර, ඇය හිංසන සම්බන්ධයෙන් පැමිණිලි කළහොත් ශිෂ්‍යත්වය අවලංගු වනු ඇතැයි බිය වී සිටියා ය. "කවුරුවත් ඇහුම්කන් දෙන්නේ නෑ. හෙදියක් පැමිණිලි කළොත් ඔවුන් කියන්නේ 'කීර්තිමත් වෛද්‍යවරයෙකුට ඔහොම චෝදනා කරන්න ඔයාට හයියක් කොහෙන් ද?' කියලා."
පාඨමාලාව වසර තුනක කාලයක් පැවැත්වෙන නමුත් තත්ත්වය අයහපත් වූ හෙයින් ඇය වසරකින් පසු අත් හැරියා ය.
| කරාචිහි ප්‍රධාන අධිකරණ වෛද්‍යවරිය වන වෛද්‍ය සුම්මායා තාරීක් සෙයිඩ් අපයෝජන චෝදනා ලැබූ පුද්ගලයන්ට ඒවායෙහි වගකීම් පවරනු දැකීමට බලාපොරොත්තු වෙයි
පකිස්ථානයේ පළමු ස්ත්‍රී දූෂණ ගැටලු විමර්ශන මධ්‍යස්ථානයේ ප්‍රධානියා සහ කරාචිහි ප්‍රධාන අධිකරණ වෛද්‍ය සුම්මායා තාරික් සෙයිඩ්ට අනුව විශ්වාසයේ සහ වගවීමේ අඩුව ප්‍රශ්නයට මුල් වී තිබේ.
ඇගේ වසර 25ක සේවා කාලය ප්‍රචණ්ඩත්වයට සහ පාවාදීමට එරෙහි අඛණ්ඩ සටනහක් බවට විස්තර කරන අතර, අදාළ සිද්ධි හැසිරවූ ආකාරය පිළිබඳ ඇය කලකිරීමට පත්ව සිටින බව පවසයි.
වසර කිහිපයකට පෙර ඇය වෙනස් රැකියාවක නිරතව සිටියදී, මරා දැමුණු කෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක ඇය ලියා තිබූ දේ වෙනස් කිරීමට අවශ්‍ය වූ සගයන් ඇයව කාමරයකට දමා වසා තැබූ ආකාරය ඇයට යළිත් සිහිවෙයි.
"ඔවුන් කිව්වා, 'ඒකට අත්සන් කරන්න, නැතිනම් ඔයා දන්නේ නෑ අපි ඔයාට මොකක් කරයි ද කියලා,'" නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළා ය. එයට මැදිහත් වූ එක් පුද්ගලයෙකුගේ ජ්‍යෙෂ්ඨ තනතුරක් නිසා ඔවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
කාන්තා වෛද්‍ය කාර්ය මණ්ඩලවලට රහසිගතව පැමිණිලි කිරීමට රෝහල්වල කමිටුවල ඇති අඩුව නිසා අපයෝජන වාර්තා කිරීම අපහසු බව පන්ජාබයේ රජයේ රෝහලක තවත් කාන්තා වෛද්‍යවරියක් පැහැදිලි කරයි.
"තියෙන කමිටුවල හැමතිස්සෙ ම ඉන්නේ අපිව හිංසනයට ලක් කරන වෛද්‍යවරුන් ම හෝ ඔවුන්ගේ යාළුවන්. ඉතින් ඇයි කවුරු හරි පැමිණිල්ලක් දාලා ඔවුන්ගේ ජීවිතය තවත් අමාරු කර ගන්නේ ඇයි?"
පකිස්ථානයේ කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ට එරෙහිව සිදුවන අඩන්තේට්ටම් පිළිබඳ නිල දත්ත නොමැත. කෙසේ නමුත්, ඇමෙරිකා ජාතික සෞඛ්‍ය ආයතනයේ වාර්තාවක් නරක තත්ත්වයක් පෙන්වයි. ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ පකිස්ථානයේ හෙදියන්ගෙන් 95%ක් අවම වශයෙන් එක් අවස්ථාවක හෝ සේවා ස්ථානයේ හිංසනයන්ට මුහුණ දී ඇති බව එය හඟවයි. සගයන්ගෙන්, රෝගීන්ගෙන් සහ රෝහලට පැමිණෙන අමුත්තන්ගෙන් සිදුවූ අඩන්තේට්ටම් හා තර්ජන මෙන් ම වාචික හා මානසික හිංසනයන් ද මෙහි ඇතුළත් ය.
හෙදියන්ගෙන් 27%ක් ලිංගික හිංසනයන් අත්දැක ඇති බවට පෙන්වා දෙන 2016 ලාහෝරයේ රජයේ රෝහල් පිළිබඳ අධ්‍යයනයක් උපුටා දක්වන පකිස්ථාන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සඟරාවේ වාර්තාවක් සමග මෙය සමපාත වෙයි. වෙනත් කාර්යජමණ්ඩලයන්ගෙන් රැකියා ස්ථානයේදී යම් ආකාරයක ලිංගික හිංසනයන් අත්දැක ඇති හෙදියන් 69%ක් සහ කාන්තා වෛද්‍යවරියන්ගෙන් 52%ක් සිටින බවට පකිස්ථානයේ වයඹ දිග ඛයිබර් පක්ටුන්කා පළාතේ අධ්‍යයනයක් ද උපුටා දක්වා තිබේ.
| පමණක් නොව, දීර්ඝ වැඩමුරවලදී විවේක ගැනීමට සෑම කොටසක ම වැසිකිළියක් වැනි මූලික පහසුකම්වල හිඟය සම්බන්ධයෙන් ද කාන්තා වෛද්‍යවරියෝ කතා කළ හ
2010 වසරේදී කරාචිහි සිදුවූ මනස ව්‍යාකූල කරන එක් විශේෂ සිද්ධියක් වෛද්‍ය සෙයිඩ් නැවත මතක් කරයි: "රජයේ රෝහලක වෛද්‍යවරයෙක් හෙදියක් ව උපක්‍රමශීලිව, ඔහු තනියෙන් නොසිටි සහ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් හිටිය නේවාසිකාගාරයකට එක්කගෙන ගියා," හෙදිය දූෂණයට ලක් වූ අතර, ව්‍යාකූලත්වය නිසා ඇති වූ කැළඹීමකින් වහලයෙන් පැන සතියක් පමණ කෝමා තත්ත්වයක සිටියා ය. "කිසි ම දෙයක් එකඟතාවයෙන් සිදුවුණේ නෑ. නමුත් ඇය නඩුව පවත්වාගෙන යන්නේ නැතිව ඉන්න තීරණය කළා."
ඒ, සමාජය නිතර ම වින්දිතයාට චෝදනා කරන බවට ඇය විශ්වාස කළ නිසා සහ ඇය ඒක වාර්තා කළේ නම් "චෝදනාව ඇය මතට ම එන නිසා," ය.
පසුගිය වසරේදී ඔවුන් මෘත ශරීරාගාරයේ මෘත ශරීර හසුරුවමින් සිටියදී මහ ජනතාව ඇගේ කණ්ඩායමට පහරදුන් ආකාරය විස්තර කරමින් ඇය පවසන්නේ, හිංසන සහ තර්ජන රෝගීන්ගෙන්, ඔවුන්ගේ මිතුරන්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් ද පැමිණෙන බව ය.
"මම වීඩියෝ කරන්න එපා කිව්ව නිසා මට ගහන්න ආව කෙනෙක්ගෙ ප්‍රහාරය වළක්වන්න දෙදෙනෙක්ට ගුටි කන්න වුණා."
ඇය පොලිසියට පැමිණිලි කළ අතර, ඇය දැන් බලා සිටින්නේ අධිකරණය හරහා නඩුව ආරම්භ වන තෙක් ය. "සටනේ අපේ කොටස අපි කළ යුතු යි, නිහඬව සිටීම චූදිතයව ශක්තිමත් කරනවා විතර යි," ඇය සඳහන් කළා ය.
විශේෂයෙන් ම ඕනෑ ම කෙනෙකුට පරීක්ෂා කිරීමකින් තොරව පැමිණිය හැකි යැයි ඔවුන් පවසන රජය විසින් පවත්වාගෙන යන රෝහල්වල ඇති ආරක්ෂාවේ අඩුව ප්‍රශ්නයක් බව අනෙක් කාන්තා වෛද්‍යවරියෝ විස්තර කරති. අවම වශයෙන් තිදෙනෙකු පැවසුවේ, ඔවුන්ට ප්‍රහාර එල්ල කළ අය බීමත්ව රෝහලට ඇතුළු වූ සාමාන්‍ය පුරවැසියන් බව ය. ඇල්කොහොල් පානය පකිස්ථානයේ බොහෝ දුරට තහනම් කර තිබේ.
කරාචිහි ප්‍රධාන රජයේ රෝහලක ඇගේ සගයන් කිහිප දෙනෙකු නැවත නැවත ලිංගික හිංසනයන්ට ලක් වූ බව වෛද්‍ය සාදියා [ඇගේ සැබෑ නම නොවේ] පැහැදිලි කරයි. "මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ මිනිස්සු බොහෝ වෙලාවට රෝහල් ඇතුළට ඉබාගාතේ ඇවිදගෙන එනවා," ඇය පවසයි.
"එක හවසක මත්පැන් බීපු මනුස්සයෙක් ඇයට කරදර කරන විට ඇය වෙනත් වාට්ටුවකට යමින් හිටියේ. තව වතාවක් වෙනත් වෛද්‍යවරයෙක් ප්‍රහාරයට ලක් වුණා. සමහර වෛද්‍යවරුන්ට මේ පුද්ගලයාව එළවලා දාන්න පුළුවන් වුණත්, ඒ අවට කිසි ම ආරක්ෂකයෙක් හිටියේ නෑ,"
| සේවිකාවෝ රෝහල් ගොඩනැගිලි තුළ වඩා හොඳ ආරක්ෂාවක් සහ ආලෝකයක් බලාපොරොත්තු වෙති
"බීමත් රෝගීන් ඔවුන්ව ස්පර්ශ කිරීමට උත්සහ කිරීම සාමාන්‍ය දෙයක් බව හෙදියක වන එලිසබෙත් තෝමස් [ඇගේ සැබෑ නම නොවේ] පවසයි. "ඒ මනුස්සයාට ප්‍රතිකාර කරනවා ද, මාව ආරක්ෂා කර ගන්නවා ද කියන අවිශ්වාසයෙන් අපි බය වෙනවා. අපි සම්පූර්ණයෙන් ම අසරණ යි. අපට උදව් වෙන්න කිසි ම ආරක්ෂක නිලධාරියෙක් නෑ."
වෛද්‍ය සාදියා පවසන්නේ, "පොළොව අතුගාන පුද්ගලයා හෝ කාර්ය මණ්ඩලයේ කියමින් වාට්ටුව වටේ ඇවිදින පුද්ගලයා හෝ ඇත්තට ම කාර්ය මණ්ඩලයේ ද," කියාවත් ඔවුන් නොදන්නා බව ය.
වසර පහකට පෙර පන්ජාබ්හි රජයේ රෝහලක ඇය සිටි කාලය පිළිබඳව හැරී බලන විට වෛද්‍ය අමීනා මෙසේ පවසයි: "දුර ප්‍රදේශවල ආරක්ෂාව පැත්තකට දාන්න. අඩු ම ගාණේ එයාලට ශාලාවල හොඳ ආලෝකයක්වත් නෑ."
2023 පකිස්ථානයේ ආර්ථික සංගණනයට අනුව රට තුළ රජයේ රෝහල් 1284ක් ඇති අතර, වෛද්‍යවරුන් පවසන්නේ ඒවායේ ආරක්ෂක වැඩපිළිවෙළ ඉතා දුර්වල බව ය.
සෞඛ්‍ය සේවකයන් කියා සිටින්නේ බොහෝ රෝහල්වල සීසීටීවී කැමරා හිඟයක් පවතින අතර, සවි කර ඇති ඒවාත් බොහෝ වෙලාවට හොඳින් ක්‍රියාත්මක නොවන බව ය. ඔවුන් පවසන්නේ, දිනකට රෝගීන් දහස් ගණනක් සහ ඔවුන්ගේ පවුල් මෙම රෝහල්වලට පැමිණෙන අතර, වෛද්‍ය කාර්ය මණ්ඩලවලට සිදුවන ප්‍රහාරයන් සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී ඇති බව ය.
විශේෂ එන්නතක් ලබා දීමට පෙර පරීක්ෂණයක ප්‍රතිඵල එන තෙක් බලා සිටියදී රෝගියාගේ ඥාතියෙකු ඇයට පහර දීමට උත්සහ හළ එක් අවස්ථාවක ඇයට සැඟව සිටීමට සිදු වූ ආකාරය වෛද්‍ය සාදියා සිහිපත් කරයි.
"උස මනුස්සයෙකු වුණ ඔහු මට බනින්න පටන් ගත්තා. මාව දොරට තියලා තද කළා. ඉන්ජෙක්ෂන් එක දැන් දෙන්න, නැත්තම් මම ඔයාව මරනවා,' කියලා මට තර්ජනය කළා."
ඔවුන් වෙනත් ආකාරවලින් අවදානම්සහගත කළ හැකි මුස්ලිම් නොවන සුළුතර ප්‍රජාවන්ගෙන් බොහෝ පකිස්ථානු හෙදියන් පැමිණෙන බව එළිසබෙත් තෝමස් පවසයි.
"මම දන්නවා හිංසනයට ලක්වුණු ගොඩක් හෙදියන්ව, එයාලා එකඟ වුණේ නැතිනම් අපහාස චෝදනා සමග ඔවුන්ට තර්ජනය කරනවා. හෙදියක් ආකර්ෂණීය යි නම් ඔවුන්ට ඔවුන්ගේ ආගම මාරු කරන්න කියලා නිතර ම කියනවා."
"අපි එයාලට අවශ්‍ය දේවල් කළේ නැති නම් ඔවුන් අපට බොරු අපහාස චෝදනා කරන්න පුළුවන් නිසා අපි හැම තිස්සෙ ම හිතනවා කොහොම ද ප්‍රතිචාර දක්වන්නේ කියලා. මේක හෙදින්ට වෙලා තියෙනවා."
මූලික අවශ්‍යතා නොමැතිව දීර්ඝ වැඩ මුරවල රාජකාරී කිරීම අපයෝජනයේ ඉහළ ම මට්ටමේ පවතින බව කාන්තා වෛද්‍යවරියෝ විස්තර කරති.
"මගේ සායනික පුහුණුව අතරතුර, අපි පැය 30ක වැඩමුරවලදී විවේක ගැනීමට කාමරයක්වත් නොතිබූ කාලයක් පසු කළා. අපි මිනිත්තු 15ක් හෝ ඊට වැඩි කාලයක් විවේක ගත්තේ එළියට ගිහින් යාළුවෙකුගේ කාර් එකක් ඇතුළේ," වෛද්‍ය සාදියා පවසයි.
"මම හදිසි අනතුරු වාට්ටුවේ ඉන්නකොට එතැන වැසිකිළියක් තිබුණේ නෑ. පැය 14ක වැඩමුර අතරේදී අපට වැසිකිළියටවත් යන්න නොහැකි වුණා. අපට ඔසප් වීමේ දිනවලදී පවා වැසිකිළිය භාවිත කරන්න හැකියාවක් තිබුණේ නෑ."
ඇය පැවසුවේ, රෝහල් කාර්ය මණ්ඩලය සඳහා වන වැසිකිළිය දුරකින් පිහිටි වෙනත් කොටසක පැවති බවත් ඒ නිසා ඔවුන්ට එය භාවිත කිරීමට යාමට වේලාවක් නොතිබූ බවත් ය.
ගොඩනැගිල්ලෙන් පිටත රේන්ජර් [පැරා මිලිටරි ආරක්ෂක හමුදා] වැසිකිළි භාවිත කරන්න හැකි වුණත් ඒවා නියම කර තිබුනේ පිරිමින්ට පමණි. මුල සිට ම තදබදයට ලක්ව තිබෙන රෝගීන්ගේ පහසුකම් පාවිච්චි කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය අදහස් කළේ නැත.
| අගෝස්තු මාසයේදී ඉන්දියාවේ සීමාවාසික වෛද්‍යවරියක ඝාතනය කිරීමට එරෙහිව යුක්තිය ඉල්ලමින් වෛද්‍ය සිසුන්, වෛද්‍යවරුන් සහ මහජනතාව උද්ඝෝෂණ පැවැත්වූහ
මෙම කාන්තාවන් සේවය කළ පළාත් හතරේ ප්‍රාදේශීය සෞඛ්‍ය ඇමතිවරුන්ගෙන් මෙන් ම ඉස්ලාමාබාද්හි සෞඛ්‍ය සම්බන්ධීකාරකගෙන් අදහස් විමසූ නමුත් කිසිලු ප්‍රතිචාරයක් නොතිබිණි..
ඉන්දියාවේ සීමාවාසික වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිට ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්නා ආකාරය පිළිබඳව පකිස්ථානයේ කාන්තා වෛද්‍යවරියන් අතර සාකච්ඡා තීව්‍ර වී තිබේ.
එය ඇයට දැඩි ලෙස බලපා ඇති බවත්, ඇය ඇගේ වැඩ චර්යාව වෙනත් කර ඇති බවත් වෛද්‍ය සාදියා පවසයි: "මම තව දුරටටහ් අඳුරු හෝ කවුරුත් නැති තැන්වලට යන්නේ නෑ. මම කලින් පඩිපෙල් පාවිච්චි කළත්, දැන් මට සෝපානය පාවිච්චි කරන එක ආරක්ෂිතයි කියලා දැනෙනවා."
එළිසබෙත් තෝමස් පවසන්නේ එය ඇය ද කම්පනයට පත් වී සිටින බව ය. "මට අවුරුදු හතක දුවෙක් ඉන්නවා සහ එයා නිතර ම කියනවා එයාට වෛද්‍යවරියක් වෙන්න ඕනෑ කියලා. නමුත් මම සිතමින් ඉන්නවා මේ රට තුළ වෛද්‍යවරියක් ආරක්ෂිතයි ද කියලා."