Covid-19 එන්නත් ගැන දුප්පත් රටවල බලාපොරොත්තු සුන් වෙලා – WHO ප්‍රධානී

Covid-19 එන්නත් ගැන දුප්පත් රටවල බලාපොරොත්තු සුන් වෙලා – WHO ප්‍රධානී

අවම වශයෙන් ඉහළම ආදායම් ලබන රටවල් 49ක් විසින් එන්නත් මාත්‍රාව මිලියන 39කට වඩා දැන් ලබාදී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි ! මිලියන 25ක් නෙවෙයි. 25,000ක් ද නෙමෙයි. නිකම්ම නිකං 25ක් පමණයි !

කොවිඩ්-19 වෛරයට එරෙහිව ගතහැකි එකම පිළිතුර වූ ‘එන්නත්‘ ගැන මුළු මහත් ලෝකයම බලාපොරොත්තු තබා ගෙන සිටිනවා. ලංකාවත් ඒ අතර සිටිනවා. ඒත් මේ වන විට එන්නත් ගැන ධනවත් ලෝකයට කෙසේ වෙතත් ලංකාව ද ඇතුළු අඩු ආදායම්ලාභී රටවලට නම් වැඩි විශ්වාසයක් තබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

ඒ එන්නතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටලු නිසා නොවෙයි. එන්නත ලබා ගැනීමට ඇති ‘නොහැකියාව‘ නිසා බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්වතුන් පවසන්නේ.

මේ ගැන අපි අදහස් ඉදිරිපත් කරනවාට වඩා ලෝක සෞඛ්‍ය සංවිධානයම උපුටා දැක්වීම වැදගත්.

‘කොවිඩ්-19 එන්නත් බෙදා හැරීමේදී ලෝකය ව්‍යවසනකාරී සදාචාරාත්මක අසාර්ථකත්වයේ අද්දරට පැමිණ ඇති බව‘ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වන ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් Adhanom Ghebreyesus, Director General of the World Health Organization (WHO),පසුගිය දා කණස්සල්ල පළ කරමින් කියා සිටියා.

‘සාධාරණ ප්‍රවේශයක් පිළිබද පොරොන්දුව බරපතළ අවදානමකට පත්ව තිබෙනවා‘ යැයි ඔහු කියා සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇතැම් විශේෂඥයින් කොවිඩ්-19 සදහා එන්නතක් නිෂ්පාදනය කළ හොත් ඊටපසු ඇතිවිය හැකි අවදානම් ගැන පසුගිය කාලය පුරාම අනාවැකි පළ කළා පමණක් නොව එයට මුහුණ දීම සදහා විවිධාකාර සැලසුම් ද සකස් කළා.

මෙහිදී ඔවුන් වැඩිපුරම අවධානය යොමු කළේ ලෝකයේ බරපතළ ලෙස පවතින ‘ඇති – නැති පරතරය‘ නිසා සිදුවිය හැකි ගැටලු ගැනයි.

‘ධනවත් රටවල් සියලු අවස්ථා හිමිකර ගනිද්දි දුප්පත් රටවලට කිසිවක්ම හිමි නොවිය හැකියි‘ මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

අද ඒ අනාවැකි ඒ ආකාරයෙන්ම සිදු වෙමින් තිබෙනවා. ධනවත් රටවල් අසීමිත ලෙස එන්නත් මිලදී ගැනීම සිදුකරන විට දුප්පත් රටවලට ‘අනුන්ට අතපෑමට හෝ සිගාකෑමට‘ සිදුව තිබෙනවා.

පසුගිය දා පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇත්ත තත්ත්වය පැහැදිලි කරමින් මෙසේ ප්‍රකාශ කළා.

‘අවම වශයෙන් ඉහළම ආදායම් ලබන රටවල් 49ක් විසින් එන්නත් මාත්‍රාව මිලියන 39කට වඩා දැන් ලබාදී තිබෙනවා. අඩු ආදායම්ලාභී රටක තවමත් ලබාදී ඇත්තේ මාත්‍රාවන් 25ක් පමණයි !

ඔහු ඊළගට මේ දැවැන්ත ඇති-නැති පරතරය හෝ ධනවත් රටවල ආත්මාර්ථකාමීකම විසින් ලෝකයට උරුම කරන කරුමය ගැනත් අනතුරු ඇගයීමක් කළා.

‘මම මේ අවස්ථාවේදී අවංකව අදහස් ප්‍රකාශ කළ යුතුයි. මේ අසාර්ථකත්වයේ මිල ලෝකයේ දුප්පත්ම රටවල ජීවිත හා ජීවනෝපායන් විසින් ගෙවනු ඇති. අවසානයේදී මෙම ක්‍රියාවන් මගින් වසංගතය එය පාලනය කිරීමට අවශ්‍ය සීමාවන් සහ මානව සහ ආර්ථික දුක්වේදනා තවදුරටත් දීර්ඝ කරාවි ‘ ඔහු කියා සිටියා.

මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බලවතුන්ගෙන් හා ධනවතුන්ගෙන් කාරුණික ඉල්ලීමක් ද කළා.

‘එන්නත් සමානාත්මතාවය සදාචාරාත්මක අවශ්‍යතාවක් පමණක් නොවෙයි. එය උපායමාර්ගික හා ආර්ථික වශයෙන් අත්‍යවශ්‍ය කරුණක්. එනිසා ලොව පුරා වඩා හොද එන්නත් බෙදාහැරීමක් සදහා අවංකව සහාය දක්වන්න‘ ඔහු බලාපොරොත්තු සහගත ඉල්ලීමක් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඉල්ලා සිටියේ ගෝලීය එන්නත බෙදා ගැනීමේ යෝජනා ක්‍රමයක් වන කොවාක්ස් – Covax සඳහා පූර්ණ කැපවීමක් ඉල්ලා සිටින අතර එය ලබන මාසයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

“සියලුම සාමාජික රටවලට මගේ අභියෝගය වන්නේ අප්‍රේල් 7 වන දින ලෝක සෞඛ්‍ය දිනය පැමිණෙන විට සෑම රටකම කොවිඩ් -19 එන්නත් ලබා දීම සහතික කිරීමයි. වසංගතය සහ අසමානතාවයන් යන දෙකම ජය ගැනීමේ බලාපොරොත්තුවේ සංකේතයක් ලෙස සැලකිය යුතුයි ”වෛද්‍ය ටෙඩ්‍රොස් පැවසුවා.

මේ වන විට රටවල් 180 කට වැඩි සංඛ්‍යාවක් කොවාක්ස් වැඩසටහනට අත්සන් තබා ඇති අතර එයට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර එන්නත් උපදේශන කණ්ඩායම්වල සහාය ලැබෙනවා. එහි අරමුණ වන්නේ ඖෂධ සමාගම් සමඟ සාකච්ඡා කිරීමට වැඩි බලයක් ඇති බැවින් රටවල් එක තැනකට ඒකාබද්ධ කිරීමයි.

රටවල් අනූ දෙකක (ඒ සියල්ලම අඩු හෝ මධ්‍යම ආදායම් ලබන රටවල්ය) ඔවුන්ගේ එන්නත් සඳහා ආධාර සපයන්නන් විසින් අනුග්‍රහය දක්වන අරමුදලකින් ගෙවනවා.

“අපි නිෂ්පාදකයින් පස් දෙනෙකුගෙන් මාත්‍රා බිලියන දෙකක් ලබාගෙන ඇති අතර තවත් මාත්‍රාව බිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. පෙබරවාරි මාසයේ දී බෙදා හැරීම් ආරම්භ කිරීම අපගේ ඉලක්කයයි” වෛද්‍ය ටෙඩ්‍රොස් පැවසුවා.

ප්‍රතිචාරය කුමක් වීද?

වෛද්‍ය ටෙඩ්‍රොස්ගේ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේ “ලෝකයේ සෑම රටකම එන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා වන ගෝලීය වැඩසටහනේ ලොව විශාලතම ආධාරකරුවා, මූල්‍ය ආධාරකරුවා එක්සත් රාජධානියයි බවයි‘‘

හැන්කොක් මහතා පැවසුවේ එක්සත් රාජධානිය “සෑම කෙනෙකුටම එන්නත් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා මෙම ජාත්‍යන්තර ප්‍රයත්නයන් සඳහා වඩාත්ම මූල්‍යමය සහයෝගය ලබා දී ඇති” බවයි.

කොවාක්ස් වැඩසටහන සඳහා එක්සත් රාජධානිය ඩොලර් මිලියන 548 ක් ලබා දී තිබෙනවා.

අඩු ආදායම්ලාභී රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවක් එන්නත් කළ හැක්කේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් බව වාර්තාවල සඳහන් වෙනවා.

මේ අතර එන්නත් හිමිකර ගැනීමට ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් කැනඩාව විශේෂයෙන් විවේචනයට ලක්ව තිබෙනවා. කැනඩාව එක් එක් කැනේඩියානු ජාතිකයෙකු පස් වතාවක් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් එන්නත් මාත්‍රාවක් ඇණවුම් කර ඇති බවයි වාර්තාවල සදහන් වන්නේ.

කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය කරීනා ගුල්ඩ් පසුගිය දෙසැම්බරයේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, මාත්‍රාව ලබා දී නොමැති බැවින් අතිරික්තයක් පිළිබඳ කිසිදු සාකච්ඡාවක් “උපකල්පිත” බවයි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ් -19 සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා කැනඩාව ඩොලර් මිලියන 485 ක් ලබා දෙන බව ඇය පැවසුවා.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය ඔවුන්ගේ කෝවිඩ් ප්‍රතිචාරය නිසා විවේචනයට ලක්ව තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත් කරන ලද ස්වාධීන මණ්ඩලයක් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මහජන සෞඛ්‍ය ආයතනය UN public health body මීට පෙර ජාත්‍යන්තර හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ බවත්, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඉක්මණින් නොගැනීම සම්බන්ධයෙන් චීනය බරපතළ ගැටලු ඇති කළ බවයි.

මේ දක්වා චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් සියල්ලම කොවිඩ් එන්නත් නිපදවා ඇති අතර අනෙක් ඒවා ඇමරිකානු-ජර්මානු ෆයිසර් එන්නත වැනි බහුජාතික කණ්ඩායම් විසින් නිපදවා ඇති අතර මෙම ජාතීන් සියල්ලම පාහේ ඔවුන්ගේම ජනගහනයට බෙදා හැරීමට ප්‍රමුඛත්වය දීම විශේෂත්වයක්.

අපි මෙහිදී ලංකාවේ තත්ත්වය ගැන කිසිවක් කියන්න යන්නේ නැහැ. ඒත් අපි දන්නවා දැන් ලංකාව කොවිඩ්-19 ආසාදිතයින් 50,000කට ආසන්න පිරිසක් වාර්තා කර ඇති බව. දෛනිකව මරණත් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තාවන අතර දෛනිකව ආසාදිතයින් 600-700 අතර හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙනවා. අහඹු ලෙස කරන පර්යේෂණවලින් ලැබෙන ප්‍රතිඵල අප තුළ භීතියක් ඇති කරවන සුළුයි.

මේ තත්ත්වය තුළ ආණ්ඩුව කොවිඩ්-19 එන්නත් ලබා ගැනීමක් ගැන කියනවා. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ලබන පෙබරවාරි වන විට ලංකාවත් එන්නත්කරණය ආරම්භ කරනවාලු. ඒත් ඒ ගැන අපට විශ්වාසයක් තැබිය හැකිද ? ලංකාවටත් එන්නත් ලබා ගැනීමට තරග කිරීම කෙසේ වෙතත් සිගාකෑමට සිදුවනු ඇති බව අපේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව පැහැදිලියි.

අපේ පාලකයින් හා බලධාරීන් ධම්මික පැණිය ආදි මිත්‍ය පිටුපස දුවන එකට හේතුව අප දැන් වටහා ගත යුතුයි. ඒ වගේම වසංගතයේ යථාර්තයත් මනාව වටහාගත යුතුයි.

උදාහරණයක් ලෙස කොවිඩ්-19 රැල්ල ආරම්භ වූ විට ජනපතිවරයා ප්‍රමුඛ බලධාරීන් සාමාන්‍ය ජනතාවට දෙස්දෙවොල් තිබ්බ ආකාරයත, හෙදියන් ගැන වර්ණනා කළ ආකාරයත් අපට මතකයි. ඒත් දැන් ඇත්තම තත්ත්වය යටහා ගත හැකියි. මැති ඇමැතිවරුන් පමණක් නොව ඊටත් වඩා ප්‍රබලයින්, පාර්ලිමේන්තුව පවා අද මෙහි ගොදුරු බවට පත්වෙලා තිබෙනවා.

මේ තත්ත්වය තුළ ඔබ වඩාත් ප්‍ර වේශම් වෙන්න ! වාහකයෙක් හෝ ආසාදිතයෙක් නොවීමට වගබලා ගන්න. මොකද මේ වන තෙක් ලෝකය පුරා කොවිඩ්-19 එන්නත ලබා දුන්නේ වඩාත් වැඩි අවධානමක් ඇති වැඩිහිටියන්ට සහ කොවිඩ්-19 සමග ඍජුව ගනුදෙනුකරන පාර්ශ්වයන්ට පමණයි.

රැකියාවට යන, ව්‍යාපාරික කටයුතුවලට යන, ඉගෙන ගන්න යන ඔබ ප්‍ර වේශම් විය යුත්තේ ඒ නිසයි.

සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ