කොරෝන නිසා ඉතාලියේ පළමු ලාංකික මරණය වාර්තා වෙයි

කොරෝන නිසා ඉතාලියේ පළමු ලාංකික මරණය වාර්තා වෙයි

කොවිඩ් ආසාදනය වීම නිසා ඉතාලියේ මිලාන් නගරයේ ජීවත්වූ ලාංකිකයෙකු පසුගිය 27 වෙනි දින මියගොස් තිබෙන බව මිලාන් නගර සභා සෞඛ්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.

එලෙස මරණයට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.

ඔහු වසර කිහිපයක සිට සිය පවුලේ සාමාජිකයින් සමඟ ඉතාලියේ ජීවත්වී තිබෙන අතර ඔහුගේ මරණයෙන් පසුව පවුලේ සාමාජිකයින් නිවස තුළම ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක්කර ඇති බවත් වාර්තා වෙයි.

එමෙන්ම ඉතාලියේ මිලාන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණය සම්බන්ධයෙන් විමසීමේදී ඉතාලියේ කොවිඩ් ආසාදනය වීම නිසා මියගිය පලමු ලාංකිකයා මොහු වෙන බවයි.

කෙසේ වෙතත් අදවනවිට ඉතාලිය තුළ කොරෝනා දෙවන රැල්ලක් ඇතිව තිබෙන අතර ඒත් සමඟම ඉතාලියේ ලොම්බාර්දියා ප්‍රාන්තයට වැඩි බලපෑමක් එල්ලවී තිබේ.

විශේෂයෙන් මිලාන් නගරය ආශ්‍රිතව ජීවත්වෙන ලාංකිකයින් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තොරතුරු ලැබෙන බවත් ඔවුන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් කළ හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් කොන්සල් ජනරල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඔබත් ඉතාලියේ ජීවත්වෙන ලාංකිකයෙක් නම් සෑමවිටම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න.ආරක්ෂාකාරීව කටයුතු කරන්න.

වැඩබිම