ලෙබනනයේදී මියගිය ලාංකික ගෘහ සේවිකාව වෙනුවෙන් සාධාරණයක් ඉල්ලයි

ලෙබනනයේදී මියගිය ලාංකික ගෘහ සේවිකාව වෙනුවෙන් සාධාරණයක් ඉල්ලයි

වසර හතළිහකට ආසන්න කාලයක් ලෙබනන් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස කටයුතු කළ තම සහෝදරිය ලෙබනන් රටේදී හදිසියේ මියයෑම සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඇයගේ සහෝදරිය වන ඒ.ජේ.එම්. ප්‍රියංගනී අනෝමා මහත්මිය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියි.

බණ්ඩාරවෙල, බදුල්ල පාර උෟව-දික්අරාව අංක 15 නිවෙසේ පදිංචිව සිටි ඒ. ජේ.එම්. ලක්ෂ්මී සුනේත්‍රා බණ්ඩාර (58) යන අය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ලෙබනන් රාජ්‍ය‍යේ දීර්ඝ කාලයක් සේවය කරමින් සිටි තැනැත්තියකි. 

2021 ජනවාරි මාසයේ ඇය අසනීප වී ඇති බව තානාපති කාර්යාලය විසින් දැනුම්දී තිබේ.

ඇයට සහනයක් ලබාදෙන ලෙස 2021/02/15 වැනි දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  බදුල්ලේ පිහිටි උෟව පළාත් කාර්යාලයට ගොස් දැනුම් දෙන ලදී. 

නැවත 2021/03/18 වැනි දින පළාත් කාර්යාලයට ලිඛිතව පැමිණිල්ලක් කරන ලදී.

තම සහෝදරියට කිසියම් කරදරයක් සිදුවුවහොත් තානාපති කාර්යාලයේ සහ විදේශ සේවා කාර්යාංශය ඊට වගකිව යුතු බවට එම ලිපියේ සඳහන් කරන ලදී.

2021/03/22 වැනි දින රාත්‍රියේ ලෙබනනයේ ශ්‍රී  ලංකා තානාපති කාර්යාලයෙන් දුරකථනයෙන් දැනුම් දුන්නේ රාත්‍රි 10.30ට පමණ මගේ අක්කා මිය ගොස් ඇති බවයි.

එහිදී කුමන රෝහලකදී මියගියාද, ඉදිරි කටයුතු සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිවක් පැවැසුවේ නෑ. මගේ සහෝදරියගේ මෘත දේහයට  කුමක් කරා දැයි මම මෙතෙක් දන්නේ නෑ.

මේ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වා මගේ සහෝදරිය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ජනාධිපතිතුමා, විදේශ කටයුතු ඇමැතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටිනවා. 

 උපුටා ගැනීම -මව්බිම පුවත්