කුවේටයේ සිටින ලාංකිකයින්ගේ සද් ක්‍රියාවක් නිසා කුවේට් රජයෙන් පැසසුම්

කුවේටයේ සිටින ලාංකිකයින්ගේ සද් ක්‍රියාවක් නිසා කුවේට් රජයෙන් පැසසුම්
ලෝක ලේ දන්දීමේ දිනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්ෂිකව ජුනි 14 වන දින ජාත්‍යන්තරව සමරනු ලබන අතර මෙම දිනයට සමගාමීව කුවේට් මධ්‍යම ලේ බැංකුව සෑම වසරකම වැඩිපුර ලේ පරිත්‍යාග කරන ප්‍රජාවන්, සංවිධාන සහ පුද්ගලයින් අගය කොට ගෞරව දක්වනු ලබයි.
 
2020-2021 වසර තුළ කුවේට් මධ්‍යම ලේ බැංකුව වෙත වැඩිපුර ලේ පරිත්‍යාග කළ ප්‍රජාවන් අතර ශ්‍රී ලාංකික සංවිධානයන් වන කුවෙට් ඉක්රා ඉස්ලාම් සංගමය Iqra Islamic Committee ( IIC Kuwait ) සහ සෙයිලනිස් හෙල්පින් හැන්ඩ් (Saylaneese Helping Hand Kuwait (SHHK ) යන කුවේට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සංගම් නම් කිරීම මධ්‍යම ලේ බැංකුව විසින් සිදු කර ඇති අතර ලේ පරිත්‍යාග කිරීමෙන් විදේශ රටකදී ශ්‍රී ලාංකිකයින්ව අගය කොට ගෞරව කළ පළමු අවස්ථාව මෙයවන බවයි වාර්තා වෙන්නේ.
 
ලේ දන් දීමේ පුණ්‍ය කර්මයට දායක වූ කුවේට් හි වෙසෙන සියලු ශ්‍රී ලාංකික අය වෙත ස්තුතිය පුද කරන බව ඉක්රා සංගමය පවසයි.
 

එම සංගමය තවදුරටත් පැවසුවේ, කුවේට් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේදී ද මෙවැනි වැඩ කටයුතුවලට සහභාගී වන ලෙසයි.