කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ ලාංකිකයන්ට නිවේදනයක්

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ ලාංකිකයන්ට නිවේදනයක්

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රි ලාංකිකයන් සඳහා එරටට යෑමට අවශ්‍ය පහසුකම් ඉක්මණින් සපයන බව ශ්‍රි ලංකාවේ කොරියානු තානාපති වොන්ජින් ජියෝන් මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වේ සහතික විය.

කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති තරුණ පිරිස මුහුණ දී ඇති ප්‍රමාදය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස දීර්ඝ කාලයක් තිස්සේ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂාවෙන් සිටින නමුත්, කොවිඩ් වසංගත තත්ත්වය නිසා එය දිනෙන් දින මඟ හැරි ගොස් ඇති බවය.

මේ නිසා ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී කොරියානු රජයේ ස්ථාවරය පැහැදිලි කළ ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිවරයා පෙන්වා දුන්නේ, කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති සියලු දෙනාටම කොරියාවේ රැකියා අවස්ථා සලසා දීමට සැලසුම් කර ඇති බවය.

කොවිඩ් වසංගත තත්වය නිසා එම අවස්ථා ලබා දීමේ යම් ප්‍රමාදයක් ඇති නමුත් හැකි පළමු අවස්ථාවේම ඔවුන්ව කොරියාවට පිටත් කිරීමට තමන් අවධානයෙන් සිටින බව ද කොරියා තානාපති සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ද කොරියානු රජය ආධාර උපකාර කිරීමට අපේක්ෂාවෙන් අදාල කටයුතු සැලසුම් කරමින් සිටින බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

තවද කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ පිරිසට වැඩිඅවස්ථා ලබා ගැනීම, දෙරටේ ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු කීපයක්ම මෙම සාකච්ඡාවට බඳුන් විය.