හය ලක්ෂයක් ලාංකිකයින් මෙරටින් පිටවෙන්න පෝළිමේ

හය ලක්ෂයක් ලාංකිකයින් මෙරටින් පිටවෙන්න පෝළිමේ
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව වෙනත් රටවලට ඇතුළුවීම් සඳහා ශ්‍රී ලාංකිකයන් හය ලක්ෂකට අධික සංඛ්‍යාවක් වීසා අයැදුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර ඇත.
 
වීසා අයැදුම් කර ඇති පිරිසෙන් බහුතරයක් සිංහල බෞද්ධයන් වීම සුවිශේෂ කාරණයක් බවද, මේ අන්දමින් උගතුන්, වියතුන්, ව්‍යාපාරිකයන් හා වෘත්තියවේදීන් රටහැර යෑමෙන් සිදුවන බුද්ධිගලනය නිසා අනාගත ශ්‍රී ලංකාව ලොව තුළ විවිධ අංශයන්ගෙන් පසු බැස්මකට ලක්වීම නොවැළැක්විය හැකි කරුණක් බවද සභාපතිවරයා එහිදී සඳහන් කළේය.
 
මෙලෙස වැඩිම පිරිසක් වීසා අයැදුම් කර ඇත්තේ මේ වසරේ බව කී ඒ මහතා එය ශ්‍රී ලාංකිකයන් වීසා අයැදුම් කිරීමේ ප්‍රතිශතය මෙතරම් ඉහළ ගිය ප්‍රථම අවස්ථාව බවද කීවේය.
 
ශ්‍රී ලාංකිකයන් වීසා අයැදුම් කර ඇති රටවල් අතර යුරෝපා රටවල්, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහා කැනඩාව ප්‍රමුඛස්ථානයේ සිටින බව ද වීසා නිකුත් කිරීමේ සේවාවලින් එය තහවුරු වූ බව ද සඳහන් කළ සභාපතිවරයා ඊට ප්‍රධාන හේතුව වර්තමාන රජය ආර්ථිකය හැසිරවීම සහ රටේ ස්ථාවර භාවයකින් තොරව රට පාලනය කිරීම නිසා යැයිද පැවැසීය.
 

රට තුළ මෙවැනි තත්ත්වයක් ඇති වීම ආර්ථිකයටත් අනාගතයටත් දැඩි ලෙස බලපාන බවත් වජිර අබේවර්ධන තවදුරටත් සඳහන් කළේය.