කොරියාවේ මැරෙන අපේ තරුණයෝ

කොරියාවේ මැරෙන අපේ තරුණයෝ

කොරියාවේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක එක දිගට පැය 18ක් තිස්සේ සේවය කරමින් සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු කර්මාන්ත අනතුරක් හේතුවෙන් මියගොස් තිබේ.

Hwaseong Seobu පොලිස් ස්ථානය මාධ්‍යවලට පවසා තිබෙන පරිදි, මෙම තරුණයා මියගොස් තිබෙන්නේ Paltan ප්‍රදේශයේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකදීය. පසුගිය ජුලි 25දා පෙ.ව. 3.30ට පමණ ඔයිල් පීඩන කොම්ප්‍රෙසරයකට හසුවීමෙන් ඔහු මියගොස් තිබේ. ,

ශ්‍රී ලංකාවෙන් කොරියාවේ රැකියාවලට යන තරුණ තරුණියන් ඉතා අවදානම් රැකියාවල යොදවන බව එරට රැකියාවලට යන අය පවසති. වැඩි වැටුප් හේතුවෙන් ඇතැම් ශ්‍රමිකයන් මේ රැකියාවල නිරත වන්නේ සිය කැමැත්තෙනි. ඇතැම්විට මෙවැනි රැකියා ඔවුන් පිටත් වීමේදී ගිවිසුම්ගත වූ රැකියාවලට වඩා වෙනස් ඒවාය. කොරියානු සේවායෝජකයන් ශ්‍රම නීති උල්ලංඝනය කරන අවස්ථා බොහෝය. එහෙත්, සේවා ස්ථානයෙන් ඉවත් වුවහොත් නීති විරෝධී සංක්‍රමණිකයන් බවට පත්වීමේ අවදානම නිසා බොහෝ කම්කරුවෝ දරාගෙන සිටිති.

මෙම සේවකයා එම කම්හලෙහි සේවයට බැඳී මාස තුනකට අඩුය. කාර්මික දෝෂ හේතුවෙන් සිදුවූ නිෂ්පාදන පමාවක් හේතුවෙන් ඇණැවුම් ලබාදීම පමාවීම වැළැක්වීම සඳහා මෙම කර්මාන්ත ශාලාවේ හිමිකරුවා මෙම සේවකයා සහ තවත් අය දීර්ඝ සේවා මුරවල යොදවා තිබේ.

ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානයට (OECD) අයත් රටවල් 38ක් අතරින් සේවා ස්ථාන මරණ අනුපාතිකය අතින් කොරියාව මුල් රටවල් පහට අයත් වේ.

කොරියාවේ වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් ජනගහනය අඩුවෙමින් තිබේ. කර්මාන්ත, ඉදිකිරීම්, ධීවර හා කෘෂිකාර්මික වැනි ක්ෂේත්‍රවල පවතින ශ්‍රම හිඟය පියවාගැනීම සඳහා කොරියාවට සංක්‍රමණික ශ්‍රමිකයන් අවශ්‍යය. එහෙත්, සංක්‍රමණය අධෛර්යවත් කරන දැඩි නීති සහිත කොරියාවේ පුරවැසිභාවය ලබාගැනීම විදේශිකයන්ට අතිශය දුෂ්කරය.

ලාංකික තරුණයන් 5000කට වැඩි පිරිසක් අවුරුදු පතා කොරියාවේ රැකියාවලට පිටත්වෙති. අවුරුදු පහක පමණ කාලයක් සඳහා ගිවිසුම්ගතව කොරියාවේ රැකියා කරන එම තරුණයන් ආපසු සියරට පැමිණීමෙන් පසු ඔවුන් රැකියා, ස්වයං රැකියා, ව්‍යවසාය ආදියෙහි යෙදවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ නැත. කොපමණ ගැටලු තිබුණත්, කොරියාවේ රැකියාවලින් ලබාගත් ආදායම් මත ජීවිත සාර්ථකත්වයට අඩිතාලම් දමාගත් පුද්ගලයෝ රැසක් සිටිති

අන්තර් රාජ්‍ය ගිවිසුම් හරහා සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් 25,000ක් පමණ කොරියාවේ රැකියාව කරති. මේ අතරින් 95%ක් පමණ කුසලතා රහිත කම්කරුවෝය. ඇතැමෙක් වීසා කාලය ඉක්මවා රැඳී සිටින නීති විරෝධී කම්කරුවෝය. ඔවුන් අතිකාල ආදිය සමග සාමාන්‍යයෙන් රු. ලක්ෂ 2-4 පමණ වැටුපක් උපයන බව දැනගන්නට තිබේ. එහෙත්, ආහාර හා නවාතැන් සඳහා ඇතැම්විට වැටුපෙන් 20%කට වඩා වැයවන බව ද වාර්තා වේ.

(praja)