ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට කුවේටයේ රැකියා අවස්ථා

GL-Pireis

කුවේට් තානාපති ඛාලෆ් බු ධයිර් මහතා හා  නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අතර හමුවක් පසුගිය 2021 අගෝස්තු 24 දින විදේශ කටයුතු අමාත්‍යංශයේදී හමූවූ බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, කුවේට් තානාපතිවරයා සිය කථාව ආරම්භයේ දී කුවේට් විදේශ අමාත්‍ය ෂෙයික් ආචාර්ය අහමඩ් නසාර් අල් අහමඩ් අල්-සබා මැතිතුමාගෙන් සුබ පැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකා රජය සමඟ ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා කුවේට් රජයේ පවතින කැමැත්ත ප්‍රකාශ කළේය. තවද, සෞඛ්‍ය හා බලශක්ති ක්‍ෂේත්‍රයන් සඳහා ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයින් යෙදවීම සඳහා කුවේට් රජය අපේක්ෂා කරන බව තානාපතිවරයා කියා සිටියේය.

තානාපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකා රජය සහ කුවේට් රාජ්‍යය ඉතාමත් සුහද සබඳතා භුක්ති විඳින බවත් ඔහුගේ ධූර කාලය තුළ දී ගල්ෆ් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළේය. කොවිඩ්-19 හදිසි සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා සඳහා කුවේට් රතු ක්‍රෙසන්ට් සමිතිය විසින් පරිත්‍යාග කිරීම පිළිබඳව කුවේට් එමීර්වරයාට ශ්‍රී ලංකා රජයේ ස්තූතිය අමාත්‍ය පීරිස් මැතිතුමා විසින් පිරිනමන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සහ අනෙකුත් බහුපාර්ශ්වික සමුළුවල දී කුවේට් රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන වටිනා සහයෝගය ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයක් තුළින්, බලශක්ති, හෝටල් හා සංචාරක කටයුතු සහ නාගරික නිවාස ව්‍යාපෘති වැනි නව ක්ෂේත්‍රයන් වෙත දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවන් පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ තානාපතිවරයා සාකච්ඡා කළහ.

සංචාරක, සෞඛ්‍ය හා බලශක්ති අංශ වැනි දෙරට අතර දැනටමත් පවතින මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ නව අංශ පිළිබඳව තවමත් ගවේෂණය කර නොමැති බව ද ඔවුහු සඳහන් කළහ.

මෙම හමුව සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු ද සහභාගී වූහ.