ඔමික්‍රොන්, ජපානයත් ආක්‍රමණය කරයි - ජපානයේ ඉන්න ඔබ ප්‍රවේශමෙන්!

ඔමික්‍රොන්, ජපානයත් ආක්‍රමණය කරයි - ජපානයේ ඉන්න ඔබ ප්‍රවේශමෙන්!
ලෝකයේම අවදානය යොමුව ඇති කොවිඩ් 19 විකෘත්තියක් ලෙස සැලකෙන ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවූ නවතම රට ලෙස ජපානය පත්ව තිබේ.
 
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට ඔමික්‍රෝන් ආසාදනය වූ එක් පුද්ගලයෙක් ඊයේ (01) දිනයේ ජපානයෙන් වාර්තා වී තිබෙන අතර නැමීබියාවේ සිට පැමිණි 30 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඔමික්‍රෝන් ආසාදිතයෙකු බවට  තහවුරු කර තිබේ.
 
අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට ගුවන් තොටුපළේදීම හඳුනාගෙන තිබෙන බවත් ජපන් බලධාරීන් ප්‍රකාශ කරයි.
 
ඉන් අනතුරුවයි ඔහුට ආසාදනය වී ඇති කොරෝනා වෛරස් කාණ්ඩය සොයා පරීක්ෂණ සිදුකර ඇත්තේ. එම පරීක්ෂණවලදී එම පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය බවට තහවුරු වූ බව ජපාන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. 
 
කෙසේවෙතත් ඔමික්‍රෝන් ප්‍රභේදය ලොව රටවල් රැසකින් වාර්තා වීමත් සමඟ විදෙස් සංචාරකයින් සඳහා රට වසා දැමීමට ජපානය ඊයේ කටයුතු කළා. 
 

ඔබත් ජපානයේ සිටින ලාංකිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් අවදානම් විය හැකි බැවින් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින් ආරක්ෂාකාරීව රැදී සිටින්න.