ඉතාලි යන්න ගිය ලාංකික තරුණයා කටුනායක ගුවන්තොටේදී අමාරුවේ වැටෙයි

ඉතාලි යන්න ගිය ලාංකික තරුණයා කටුනායක ගුවන්තොටේදී අමාරුවේ වැටෙයි

ව්‍යාජ ලෙස සකස් කරන ලද ගුවන් ගමන් බලපත්‍රයක් සහ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඉතාලියට යාමට තැත් කර ලංකිකයෙකු පසුගිය 10 වැනිදා කටුනායක ගුවන්තොටුපල ආගමන හා විගමන දෙපාර්තමේන්තු දේශසීමා  ආවේක්ෂණ ඒකක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු තුර්කි ගුවන් සේවයේ TK 731 ගුවන් යානයෙන් තුර්කියේ ඉස්තාන්බුල්  නුවර බලා ගොස් එතැනින් ඉතාලිය වෙත පැන යාමේ අරමුණෙන් ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙන බව සඳහන්.

38 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකු වන මොහු මඩකලපුව  නොච්චිමුනායි ප්‍රදේශයේ පදිංචිකරුවකු  වන අතර ගුවන් සේවා නිෂ්කාශන කටයුතු සඳහා පිටත් වීමේ පර්යන්තය වෙත පැමිණි සිටි අවස්ථාවේ ඔහු ගැන සැක සිතූ ආගමන හා විගමන නිලධාරීන් ඔහු කැඳවා මූලික විමර්ශන සිදුකර තිබේ.

තමන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  සංචාරයක් සඳහා යන අයකු බව මුල් අවස්ථාවේදී ප්‍රකාශ කළද පසුව ඔහු සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍රය පරික්ෂා කිරීමේදී  එමිරේට්ස් ගුවන්යානා ප්‍රවේශ පත්‍රයක් තිබීමත් ඉන් මතු වූ සැකය නිසා වැඩිදුරටත් පරික්ෂා කර තිබේ.

එහිදී මෙම පුද්ගලයා සතු ලංකා ගුවන් ගමන් බලපත්‍රය සහ  emirates ගුවන් යානයට පිවිසීමට බව හඟවමින් සකස් කර තිබූ ගුවන් යානා ප්‍රවේශ පත්‍රය ව්‍යාජ ලෙස සකස් කර තිබූ ලියකියවිලි බවට අනාවරණය වී ඇත.

තවද ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයේ සටහන් කර තිබූ ආගමන හා විගමන මුද්‍රා සියල්ලක්ම ව්‍යාජ ලෙස සකස් කර ඇති බවටත් සතු ගමන් මල්ලද සෝදිසි කිරීමෙන් පසුව  ඔහුගේ සැබෑ ගමන් බලපත්‍රය සොයා ගැනීමට ද හැකි වී තිබේ.

එමෙන්ම මෙම තරුණයා සතුව තිබී තුර්කි ගුවන් සේවයෙන් නිකුත් කළ සැබෑ ගුවන්යානා ප්‍රවේශ පත්‍රයද සොයාගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත්වී තිබෙන අතර ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී  ආගමන හා විගමන නිලධාරින් හට තම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය පෙන්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත යන බව අඟවමින් විගමන නිෂ්කාශන කටයුතු කරගැනීමට තමන් සූදානමින් සිටි බව ඔහු සදහන් කර තිබේ.

අනතුරුව තුර්කියේ  ඉස්තාන්බූල් නුවර දක්වා සහ එතැනින් ඉතාලියේ මිලාන් නුවර දක්වා යාම සඳහා  තුර්කි ගුවන් සේවයෙන් ලබාගත් සැබෑ ගුවන් ප්‍රවේශ පත්‍රය හා තම සැබෑ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය උපයෝගී කරගනිමින් ඉතාලියට පැන යාම මෙම පුද්ගලයාගේ මූලික අරමුණ වූ බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊට අමතරව ඉතාලියට ඇතුළුවීම සඳහා කූඨ ලෙස සකස් කරගන්නා ලද ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් ද මොහු සතුව තිබී සොයාගෙන තිබේ. ඉන්පසුව  මෙම පුද්ගලයා ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත  වැරදි ඇත.