බෙලරූස්හි සිටින ලාකික සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න

බෙලරූස්හි සිටින ලාකික සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න

බෙලරූස් රාජ්‍යයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සහ මොස්කව්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

අදාළ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කර අධ්‍යයන කටයුතු සති කිහිපයකට ප්‍රමාද කරගැනීමටත් ඔවුන්ට රුසියාවට පැමිණීමේ වීසා බලපත්‍ර ලබාගෙන අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමේ පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

බෙලරුස් රාජ්‍යයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 1,500කට ආසන්න පිරිසකගේ දෙමාපිය එකමුතුව කළ ඉල්ලීමකට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මෙම දැනුම් දීම කර තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බෙලරුස්හි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයක් 1,600 ක පමණ පිරිස සම්බන්ධයෙන් කටයුතු කිරීම බෙලරූස් රාජ්‍යය ආසන්නයෙන්ම පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වන මොස්කව්හිතානාපති කාර්යාලය ඔස්සේ දැනට සිදුවෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.