කාර්යාංශයේ ලිපි ශීර්ෂ යොදාගනිමින් ඊශ්‍රායල් රැකියා ලබාදෙන බවට මුදල් වංචාවක්

කාර්යාංශයේ ලිපි ශීර්ෂ යොදාගනිමින් ඊශ්‍රායල් රැකියා ලබාදෙන බවට මුදල් වංචාවක්

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයට සමාන අන්දමින් ව්‍යාජ ලෙස සැකසූ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන  බවට සඳහන් කරමින් වංචනිකව මුදල් ගසාකෑමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන  බවට කාර්යාංශයට තොරතුරු හෙළි වී තිබේ.

මෙය මුළුමනින්ම වංචනික ක්‍රියාවක් බවත් ඒ සඳහා කාර්යාංශයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කරයි. ඊශ්‍රායලයේ රැකියා සදහා රාජ්‍ය බඳවාගැනීම් සිදුකරනු ලබන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණක් බවත්, කාර්යාංශය විසින් මෙවැනි බඳවාගැනීම් සඳහා කිසිඳු පුද්ගලයෙකුට වගකීමක් හෝ බලයක් පවරා දී නොමැති බවත් රන්දෙණිය මහතා සඳහන් කරයි.

මෙවැනි වංචනිකයින්ට හසු නොවන ලෙසත්, ඔවුන් විසින් ලබාදෙන ගිණුම් අංකවලට මුදල් තැන්පත් නොකරන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ 24 පැය පුරා ක්‍රියාත්මක වන 1989 අංකයට දැනුම් දෙන ලෙසද කාර්යාංශය ඉල්ලා සිටියි.

කාර්යාංශයේ ලාංඡනය, වර්ණ, ලිපිනයන් ආදිය භාවිතා කරමින් වංචනිකව ලිපි ශීර්ෂ සකසා සිදුකරන මෙම ජාවාරම හා සම්බන්ධ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට සියළුම පියවරයන් ගනිමින් සිටින බවද මංගල රන්දෙණිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.