විදෙශ්ගත ශ්‍රමිකයින්ට ඉල්ලීමක් - මිලියන දෙකකට රැකියා අහිමිවෙන්න පුළුවන් 

විදෙශ්ගත ශ්‍රමිකයින්ට ඉල්ලීමක් - මිලියන දෙකකට රැකියා අහිමිවෙන්න පුළුවන් 
විදේශගත ශ්‍රමිකයින් නිවරදිව බැංකු ක්‍රමය හරහා තමන් උපයන මුදල් ලංකාවට එවිමට කටයුතු කරන්නේ නම් දැනට පවතින තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කර බෙහෙත් හිඟය නැති කළ හැකි බවකම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
 
කොරියානු රැකියා සඳහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන 5800ක් ඉදිරි මාස හය තුළ කොරියාව බලා පිටත් කර ඔවුන්ගේ පීඩනය නැති කරන බවද, හෙතෙම කියා සිටියි.ත
 
කොරියානු රැකියා සඳහා පිටත්ව යාමේ අපේක්ෂාවෙන් සිටි 5800කට ආසන්න පිරිසක් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කොරියාවට පිටත්ව යාමට නොහැකිව පීඩාවට පත්ව සිටි අතර ඔවුන් කඩිනමින් රැකියා සඳහා පිටත් කර යැවීමට කටයුතු කරන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර  උපදෙස් ලබාදී තිබේ.
 
ඒ අනුව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා සමඟද මේවන විට සාකච්ඡා කර ඇති අතර  ඒ අනුව ඉදිරි මාස හයක කාලයක් තුළදී කොරියානු රැකියා සදහා පිටත්ව යාමේ අපෙක්ෂාවෙන් පසුව 5800 දෙනාම කොරියාවට පිටත් කර යැවීමට නියමිතය.
 
එහි පළමු කණ්ඩායම ලෙස 119 දෙනෙකුගෙත් යුත් කණ්ඩායමක් ඉකුත් අගහරුවාදා (07) රාත්‍රියේදී කොරියාව බලා පිටත්ව ගිය අතර කොරියානු රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ට සුබ පැතීමට  මනුෂ නානායක්කාර ඇමැතිවරයා ගුවන්තොටුපොලට ගොස් තිබිණි.
 
“අද සිට පන්දහස් අටසීයක් දෙසැම්බර් වන විට කොරියාව බලා පිටත්ව යැවීමට කටයුතු කරනවා. රටට විදේශ විනිමය අවශ්‍ය අවස්ථාවකදී තමයි ඔබ කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන්නේ.
 
කොරියානු රැකියා සඳහා පිටත් කර යවන්නේ රජය හා සම්බන්ධ වැඩපිළිවෙලක් ලෙසයි. ඔබලා කොරියාවට ගිය පසුව හොදින් රැකියාව කර ලංකාවට ලැබෙන රැකියා අවස්ථා ප්‍රමාණය වැඩි කරන්න.
 
මේ වෙලාවේ අපි තෙල් පෝලිම්වල ඉන්නවා. බෙහෙත් නෑ. විදුලිය කපනවා. මේවා විසදන්න ලෝකයෙන් ණය ගත්තොත් තවත් රට ණය කරනවා. ඒත් ඔබලා උපයන මුදල් නිවරදිව, බැංකු හරහා ගෙදරට මුදල් එව්වොත් දැනට තිබෙන ප්‍රශ්ණවලට විසදුම් සොයන්න පුලුවන්.
 
මේ වන විට කොරියාවේ විසි තුන්දහසක් පමණ රැකියා කරමින් සිටිනවා. ඒ අය උපයන මුදල්වලින් රටට අවශ්‍ය තෙල් ටික මිලදී ගන්න පුළුවන්. දැන් අද උදේට තෙල් ටික ගන්නේ කොහොමද කියලා බලනවා. ඉන්ධන සඳහා මුදල් ගෙවීම ප්‍රමාද වූ විට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවෙනවා.
 
අපි මේ වෙලාවේ අනෙක් සියලුම දේවල් අමතක කරලා දාන්න ඕන. රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න ඕන. අපි වෙනම දේශපාලන මතවාදයක හිටපු අය. අපේ දේශපාලනය පැත්තකට දාලා දේශපාලන තීන්දුවක් ගත්තේ රට වෙනුවෙන් අපි කළ යුතු යුතුකම ඉටු කිරීමට අවශ්‍ය නිසයි.
 
මේ වෙලාවේ ඔබත් ඔබේ යුතුකම ඉටු කරන්න ඕන. ඔබේ පවුලේ අය අතහැරලා රට යන්නේ. ඔබලා රට සිටියදී අම්මා ගෑස් පෝලිමේ ඉන්නවානම්, දරුවන්ට බෙහෙත් ටික නැතිනම් ඔබලා සැප විදලා වැඩක් නෑ. ඔබලා උපයන මුදල් නිවරදිව බැංකු ක්‍රමය ඔස්සේ එව්වොත් බෙහෙත් හිගය නැති කරන්න, අම්මලා ගෑස් පෝලිමේ ඉන්න එක නතර කරන්න පුළුවන්කමක් ලැබේවි.
 
ඉස්සරහට අපි නොහිතන ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. කර්මාන්ත ශාලා වහලා දාලා යනවා. දල වශයෙන් මිලියන දෙකක රැකියා අහිමි වෙන්න පුළුවන්. ලංකාවේ තියෙන කර්මාන්තශාලා වහලා දාලා ගියොත් ඒ කර්මාන්ත නැවත ලංකාවට ලැබෙන්නේ නෑ. බොහෝ කාලයක් තිස්සේ ගොඩ නගාගත් කර්මාන්ත අහිමි වෙන්නේ. හැබැයි ඔබලා ගිහින් නිවරදි මාර්ගයෙන් ඔබේ පවුලේ අයට සල්ලි එව්වොත් මේ ප්‍රශ්න නැති කරන්න පුළුවන්.
 
තවත් අපි 58–00ක් ඉදිරි මාස හය ඇතුළත කොරියාවට යනවා. කොරියානු රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ පීඩනයට විසදුම් ලබාදීමට අපි කටයුතු කරනවා.
 
විදේශගතවන ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී වැඩි පිළිගැනිමක්, ගෞරවයක් ලබාදෙන ක්‍රමයක් සකස් කිරීම ගැන ගුවන්තොටුපොලේ අධ්‍යක්ෂතුමා සමග මම සාකච්ඡා කළා. විදේශගත ශ්‍රමිකයින් ගෙන එන බඩු භාණ්ඩ පරීක්ෂා කිරීම ගැන චෝදනා තියෙනවානේ. ඒ නිසා ඔවුන් කරන සේවයට පෙරලා ගෞරවයක් ලබාදීමේ ක්‍රමවේදයක් අපි සකස් කරනවා.
 
කොරියාවට ගොස් රැකියා කරන ඔබ මුදල් උපයලා මෙරටට ඇවිත් ව්‍යාපාර ආරම්භ කරන්න. ව්‍යවසායකයෙක් බවට පත්වෙන්න. ව්‍යවසායකයෙක් විදියට ගොඩ නැගෙන්න. චීනය කුඩා ව්‍යවසායකයින් නිර්මාණය කිරීමෙන් පසුව තමයි දියුණුවට පැමිණියේ. ඒ වගේ ඔබලාත් නැවත මේ රටට ඇවිත් ව්‍යවසායකයින් විදියට තමන්ගේ දායකත්වය ලබාදෙන්න."