කටාර් රාජ්‍යයේ ප්‍රමාණ සමික්ෂක රැකියා අවස්ථා ලබාගැනිමට සාකච්ඡා

කටාර් රාජ්‍යයේ ප්‍රමාණ සමික්ෂක රැකියා අවස්ථා ලබාගැනිමට සාකච්ඡා

වසර 16ක් තිස්සේ ප්‍රමාදයට ලක්වු කටාර් රාජ්‍යයේ ප්‍රමාණ සමික්ෂකයන් සඳහා රැකියා අවස්ථාවන්  ලබාගැනිම පිළිබඳව අදාළ පාර්ශවයන්ගේ අවධානයට යොමු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ශ්‍රි ලංකාවේ ප්‍රමාණ සමික්ෂකයින් සඳහා  මැදපෙරදිග කලාපයේ  ඉදිකිරිමේ ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථා 2016 වසරේ සිට ගතවූ කාලය තුල  මන්දගාමි අයුරින්  ක්‍රියාත්මක වි  තිබෙන බව මේ සම්බන්ධව  මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය හා කටාර් රාජ්‍යයේ නියෝජිතයින් සමග Zoom තාක්ෂණය ඔස්සේ අද පැවති සාකච්ඡාවේදී හෙළිවිය.

විශේෂයෙන් කටාර් රාජ්‍යය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාගැනීමට නම් රැකියා වෘත්තිකයින්ගේ පුහුණුව සම්බන්ධ නිර්දේශිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රි ලංකාව, ඉන්දියාව, පිලිපීනය ඇතුළු රටවල් කිහිපයක් ඉල්ලා තිබුණද ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ලබාදී ඇත්තේ ආයතන තුනක් සම්බන්ධ වාර්තාවක් පමණි.  නමුත් ඉන්දියාව ආයතන 50ක් හා මාලදිවයින ආයතන 40ක් නම්කර යොමුකර තිබූ බවද මෙම සාකච්ඡාවේදී හෙළිවිය. ශ්‍රි ලංකාව ඉදිරිපත් කරන ලද නිර්දේශවල යම් යම් දුර්වලතා හේතුවෙන් මෙම රැකියා අවස්ථා අහිමි වී තිබේ.

මෙම තත්වය සැලකිල්ලට කටාර් රාජ්‍යයේ ප්‍රමාණ සමීක්ෂක රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාගැනීම සඳහා සහාය ලබාදෙන ලෙස ශ්‍රි ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමය මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. මේ සම්බන්ධව කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නාගරික හා පාරිසරික අමාත්‍යාංශය සමග ඉක්මණින් සාකච්ඡා කර ඔවුන්ගේ අවධානයට යොමුකරන බවද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.  එසේම අවශ්‍ය වුවහොත් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මැදිහත්වීමටද සූදානම් බව අමාත්‍යවරයා පැවසීය.