එංගලන්තයේ රැකියා සිහින පෙන්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

එංගලන්තයේ රැකියා සිහින පෙන්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ගලදාරි හෝටලයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඔක්තෝම්බර් මස 19 දින අත්අඩංගුවට ගෙන තිබේ.

එංගලන්තයේ සාත්තු සේවා රැකියා සඳහා බඳවාගැනීමට මෙවැනි සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරක් අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් එම ස්ථානය වැටලීම් කර තිබේ. එහිදී මාරා ෆොරින් එම්ප්ලොයිමන්ට් නමින් ව්‍යාජ රැකියා නියෝජිතායතනයක නම භාවිතා කර මෙම සම්මුඛ පරික්ෂණ මෙහෙයවා ඇති බවද අනාවරණය වී ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී රුපියල් ලක්ෂ 3ක මුදලක්, විදේශ රැකියා අයදුම්පත් හා රිසිට් පොත් දෙකක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් (2022.10.20) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලද අතර, මෙම නඩුව දෙසැම්බර් මස පළමුවෙනි දින යළි කැඳවීමට නියමිතයි.  මෙම වැටලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් වන සරත් විමලවීර, රවීන්ද්‍ර අබේපාල, වසන්ත ඒකනායක, මධුශාන් විජේවර්ධන හා ගයේෂා සුභාෂිනි යන නිළධාරීන් සහභාගි විය.