තුර්කියට ගිය ශ්‍රී ලංකා තානාපතිනිය අක්තපත්‍ර බාරදෙයි

තුර්කියට ගිය ශ්‍රී ලංකා තානාපතිනිය අක්තපත්‍ර බාරදෙයි

තුර්කි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්ව ගිය හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය සිය අක්තපත්‍රවල පිටපත් තුර්කි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රොටෝකෝල් අධ්‍යක්ෂ ජනරාල් ටුන්කා ඔස්කුහඩාර් (Tunca Özçuhadar) මහතා වෙත පසුගියදා බාර දී තිබේ.

හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය ජපානය, ස්වීඩනය, ඉතාලිය, චීනය සහ වියට්නාමය යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කර ඇති අතර විදේශ සේවයේ වසර 26කට වැඩි පළපුරුද්දක් ඇති වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිණියකි.

ඇය 2015 – 2019 දක්වා වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කර ඇති අතර . කොළඹ පිහිටි විදේශ අමාත්‍යාංශයේ අංශ කිහිපයක සේවය කර තිබේ.

ඇය තුර්කියේ තානාපතිනිය ලෙස පත්ව යෑමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කළාය.

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඉතිහාසය ප්‍රතිෂ්ඨාපනය, පුරාවිද්‍යා සංරක්ෂණය සහ සිසුන්, විද්වතුන් සහ මාධ්‍යවේදීන් සඳහා අවස්ථා දීම යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තානාපතිවරයා සහ ප්‍රොටෝකෝලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.