ගෘහ සේවිකාවන් හෝ නුපුහුණු ශ්‍රමිකයින් ලෙස විදෙස්ගතවීමට තහනමක්

ගෘහ සේවිකාවන් හෝ නුපුහුණු ශ්‍රමිකයින් ලෙස විදෙස්ගතවීමට තහනමක්
වහාම ක්‍රියාත්මක වන පරිදි  අද (11) දිනයේ සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා කාන්තාවන්, රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත කිරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර තිබේ.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
 
සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වූ කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක් වූ බවට තොරතුරු වාර්තා වූ බව එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
 
ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඕමාන් සහ එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ රැකියා සඳහා යොමු වූ පුද්ගලයින් බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
 
ඔවුන් සංචාරක වීසා මත විදෙස්ගතව රැකියා නොමැතිව අතරමංව ඇති බවට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ වගකීම භාරගැනීම සඳහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත්වී නොමැති බැවින් ඔවුන් විවිධ හැරිහැරයන්ට ලක්වන බව තානාපති කාර්යාල විසින් දැනුම්දී ඇත.
 
ඒ අනුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ද ගැටලුකාරි තත්ත්වයත් මතුව ඇති  බැවින් සංචාරක වීසා මගින් නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යොමු කිරීම තහනම් කරන ලෙස ද කම්කරු අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව සඳහන්ය.
 
මේ අතර, ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයින් හා ආයතන 570ක් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත මේ වන විට පැමිණිලි ලැබී තිබේ.
 
එවැනි පැමිණිලි 182ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, මීට අමතරව එසේ වංචනික ලෙස අයකරගනු ලැබූ රු.28,383,000.00 ක මුදලක් පැමිණිලිකරුවන් වෙත ලබාදීමට කාර්යාංශය පියවර ගෙන ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
 
විදේශ රැකියා වංචනික සිදුවීම් සම්බන්ධයෙන් කාර්යාංශය වෙත කරන ලද පැමිණිලිවලට අදාළව වැටලීම් 17ක් සිදුකර ඇති අතර, සැකකරුවන් 43දෙනෙකු අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව ද කාර්යාංශය කියා සිටියි.
 
එමෙන්ම මේ වසරේ ගත වූ කාලය තුළ නීතිවිරෝධි ලෙස රැකියා සඳහා විදෙස් ගතවීමට උත්සහ කළ පුද්ගලයින්  586 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් යළි හරවා එවීමට කටයුතු කර තිබේ.
 
සංචාරක වීසා උපයෝගි කර ගනිමින් මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් මස දක්වා කාලය තුළ විදෙස් ගතවිමට උත්සහ කළ පිරිසක් මෙලෙස හරවා එවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.