සෞදියෙන් ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා රැසක්

සෞදියෙන් ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා රැසක්
ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර සඳහා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් බදවා ගැනීමටත් ගෘහ සේවක සේවිකාවන්ගේ අවම වැටුප ඉහළ නැංවීමටත් අවශ්‍ය පියවර ගැනිමට සෞදි අරාබිය එකඟතාව පළ කර ඇතැ යි විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය පවසයි.
 
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ සෞදි අරාබියේ මානව සම්පත් සහ සමාජ සංවර්ධන අමාත්‍ය ඉංජිනේරු අහමද් බින් සුලෙයිමාන් බින්අබ්දුල් අසීස් අල් රාජ්හි අතර පසුගිය දා (08) පැවැති පළමු නිල ද්වීපාර්ශ්වික සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම රැකියා අවස්ථා හිමි ව තිබෙන බව අමාත්‍යංශය කියා සිටියි.
 
මෙහි දී ඉදිකිරීම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර බඳවාගැනීම් සදහා ද්වී පාර්ශ්වීය කමිටු දෙකක් පත් කිරීමටත් ගෘහ සේවක සේවිකාවන් බදවා ගැනීමේ දී පවතින අක්‍රමිකතා සොයා බැලීම සඳහා දින 30ක් තුළ නිර්දේශ ඉදිරිපත් කිරීමට උපදේශන කමිටුවක් පත් කිරීමටත්, සෞදි අරාබියේ මානව සම්පත් සහා සමාජ සංවර්ධන අමාත්‍ය ඉංජිනේරු අහමද් බින් සුලෙයිමාන් බින්අබ්දුල් අසීස් අල් රාජ් එකඟ වී ඇති බව සඳහන්ය.
 
මෙරට ශ්‍රමිකයන්ට දැනට ගෙවන අවම වැටුප තවදුරටත් ඉහළ දැමීමටත් සෞදි අමාත්‍යවරයා එකඟ වී ඇති අතර, ඒ සඳහා වන නිර්දේශ දින තිහක් ඇතුළත ඉදිරිපත් කිරීමට ද නියමිත බවද කියැවෙයි.
 
අරාබි සහ ඉංගිරිසි බසින් පමණක් ඇති සේවා ගිවිසුම් සම්බන්ධයෙන් ද එහි දී අවධානය යොමු ව ඇති අතර ගෘහ සේවක සේවිකාවන් මුහුණ පා ඇති ගැටලු සොයා බලා දින 30ක් තුළ අදාළ ක්‍රියාමාර්ග ගැනීමට ද දෙපාර්ශ්වයේ එකඟතාව හිමි වී තිබේ. 
 
මෙ‍තක් කලක් පිලිපීනයට සහ බංගලිදේශයට පමණක් විවෘත කර තිබූ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අංශ ගණනාවක් ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විවෘත කිරීමට නියමිතය. 
 
ගෘහ සේවය සම්බන්ධයෙන් ගැටලු ඉස්මතු ව ඇති බඳවා ගැනීමේ ගාස්තු සහ පිරිවැය යළි සලකා බැලීමටත් සේවක අක්‍රමිකතා සිදු කළ රැකියා නියෝජිත ආයතන 400ක් පමණ වසා දැමීමටත් තීරණය කර තිබෙන අතර,මෙම ද්වීපාර්ශ්වීය සාකච්ඡාව සදහා සෞදි අරාබියේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහ සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් ද එක් ව තිබේ.