මැලේසියාවේ රැකියා ලබාදීමට මුදලක් ලබාගෙන සැඟව සිටි කත රිමාන්ඩ්

මැලේසියාවේ රැකියා ලබාදීමට මුදලක් ලබාගෙන සැඟව සිටි කත රිමාන්ඩ්

සංචාරක වීසා මඟින් මැලේසියා වේ රැකියා ලබාදීමට පුද්ගලයින් 09 දෙනෙකුගෙන් රු 5,015,000ක මුදලක් ලබා ගෙන විමර්ශන නිලධාරින් මගහැර සැඟව සිටි තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් විදේශසේවා වමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 13 දින දක්වා රිමාන්ඩ් කර ඇත. 

සංචාරක වීසා මඟින් මැලේසියාවට යාම සඳහා පසුගිය 4 වන දින ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ඔවුන්ගේ ලේඛන පිලිබඳව සැක සිතූ විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් ඔවුන්ගෙන් වැඩිදුර කරුණු විමසීමේදී ඔවුන් සංචාරක වීසා මඟින් මැලේසියාවේ රැකියා සඳහා යන බව තහවුරු කරගත් අතර, ඔවුන්ගේ විදේහගත වීම වලකා  ඔවුන් විදේශසේවා  නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් වෙත භාර දෙන ලදි. විමර්ශන නිළධාරීන් ඔවුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් අතර, එහිදී අනාවරණය වී ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ කාන්තාවකට මුදල් ගෙවා මෙලෙස විදේශගත වීමට වීසා ගෙන්වා ගත් බවයි.

ඒ අනුව විමර්ශන නිළධාරීන් 2022/12/05 වන දින ඇය අත්අඩංගුවට ගැනීමට තංගල්ල ප්‍රදේශයේ ඇයගේ නිවසට ගියද ඒ වන විටත් ඇය නිවසින් පැන ගොස් තිබිණි. ඇය සිටිතැයි සැක සිතූ ස්ථාන කීපයක්ම විමර්ශන නිළධාරීන්ගේ පරීක්ෂාවට ලක් වුවද  ඇය තැනින් තැනට පැන ගොස් සැඟව සීටීම නිසා පසුගිය 6  වන දින වනතුරුත් ඇය අත් අඩංගුවට ගැනීමේ උත්සාහය ව්‍යර්ථවිය. පසුව ඇයගේ පුතා මඟින් ඇයට විදේශසේවා නියුක්ති  කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිනෙන ලෙස දැනුම් දෙන ලදි. ඒ අනුව ඇය ඇයගේ සැමියා සමඟ  12/09  වන දින කාර්යාංශයේ විශේෂ විමර්ෂණ අංශයට පැමිණ  භාර වීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන එදින තලංගම පොලිස් ස්ථානයේ  රඳවා තබා පසු දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කීරීමෙන් අනතුරුව  මෙම මස 13 දින දක්වා බන්ධනාගාර ගත කරන ලදි. ඇය ලබාගත් සියළු මුදල්  පැමිණිලි කරුවන් වෙත  ගෙවන බවටද ඇය අධිකරණය ඉදිරියේදී පොරොන්දු විය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් විදේශ ගත කිරීමට උත්සාහ කළ 09 දෙනා වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් මැයට විරුද්ධව නඩු ගොනු කීරිමට  විමර්ශන අංශය කටයුතු කරන අතර,  ඒ අනුව ඉදිරියේදී අනෙක් පුද්ගලයින් 8 දෙනා වෙනුවෙන්  තවත් නඩු 8 ක් ගොනු කීරීමට නියමිතය.