ජෝර්දානය හරහා තවත් මිනිස් ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවේ

ජෝර්දානය හරහා තවත් මිනිස් ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිවේ

පසුගිය දිනවල සංචාරක වීසා මගින් ශ්‍රි ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් විදේශ ගතවීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන්ගේ විමර්ශනයට ලක්වූ අතර, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීමේදී අදාල තැනැත්තන් මේ පිළිබඳව පැහැදිලි කර ඇත්තේ තමන් ජෝර්දානයේ කෙටි සංචාරයක නිරත වන බවයි.

එහෙත් ජෝර්දානයේ පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව විදේශ රටවල් 10 කින් පමණ මෙසේ නීතිවිරෝධී අයුරින් ජෝර්දානයට පැමිණි සංචාරකයින් එරට අතරමංව ඇති බවත්, මෙවැනි ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසට ශ්‍රි ලාංකිකයින් දැනුවත් කරන ලෙසත් දැනුම් දී ඇත.

විදේශ රැකියාවක් සඳහා යොමුවන තැනැත්තන්හට තමා රැකියාව කිරීමට අපේක්ෂිත රට, එම රටෙහි තමාට නීත්‍යානුකූලව රැඳී සිටීමට වලංගු රැකියා වීසා බලපත්‍රයක් සහ රැකියා ගිවිසුමක් සමග කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ නිරන්තරයෙන්ම කාර්යාංශය මගින් දැනුවත් කිරීම් කළද විවිධ පුද්ගලයින්ගේ වංචනික ක්‍රියාවන්ට ඇතැම් පුද්ගලයින් හා කාන්තාවන් දිගින් දිගටම හසුවීමෙන් ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව මෙන්ම ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටද හානිකර තත්ත්වයක් උදා වී ඇති බවද දන්වනු කැමැත්තෙමි.

එබැවින් මේ පිළිබඳව ශ්‍රි ලාංකිකයින් දැනුවත් කරමින්, ඔවුන්ගේ ආරක්ෂාව හා තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සඳහා සුරක්ෂිත අයුරින් විදේශ රැකියා සඳහා යොමුවීමට උනන්දුවීමත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් එයට අදාළ තොරතුරු විමසා නිවැරදි මාර්ගයන් තුළින් විදේශ ගතවීමේ වැදගත්කමත් එමගින් විදේශ රැකියා අපේක්ෂිතයින්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගන්නා ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.