හොරෙන් නෙදර්ලන්ත රැකියා සිහින පෙන්වූ දෙකක් අත්අඩංගුවට

හොරෙන් නෙදර්ලන්ත රැකියා සිහින පෙන්වූ දෙකක් අත්අඩංගුවට

නෙදර්ලන්තයේ ඇපල් වතුවල කම්කරුවන් ලෙස සේවය කිරීම සඳහා යවන බව පවසමින් 2023.01.09 දින රාජගිරිය ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කඩකරමින් සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටියදී එම ස්ථානය වටලා එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් කටයුතු කර ඇත.

1985 අංක 21 දරණ විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව, විදේශ රැකියා සඳහා අයදුම්පත් කැඳවීම හා ප්‍රචාරය කිරීම නොකළ යුතුවේ.

අදාල රැකියා නියෝජිතායතනය නීත්‍යානුකූල ආයතනයක් වන නමුත් නෙදර්ලන්තයේ රැකියා ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත රැකියා ඇණවුමක් නොමැතිව සම්මුඛ පරික්ෂණ පවත්වා ඇති අතර, රැකියා ලබාදීම සඳහා රු.5000.00 බැගින් අතිකාරම් මුදල්ද අයකර තිබේ.

මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් එම ස්ථානය වැටලීම් කරන ලදී. එම අවස්ථාව වන විට තුන්සීයකට ආසන්න පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්වීම සඳහා අදාල ස්ථානයට පැමිණ තිබුණු අතර, මෙය නීති විරෝධි අයුරින් සිදුකරන කටයුත්තක් බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔවුන් විසින් අදාල රැකියා නියෝජිතායතනයේ හිමිකරුවන්ට පහරදීමට උත්සහ කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය. එම තත්ත්වය පාලනය කිරීම සඳහා රාජගිරිය පොලිසියේ නිළධාරීන් කැඳවීමටද සිදුවිය.

නිති විරෝධි අයුරින් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ රැකියා නියෝජිතායතනයේ හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 200ක්, රු.403,080.00 ක මුදලක්, රැකියා අයදුම්පත්‍ර ඇතුළු ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් (2023.01.10) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී සැකකරුවන් තම වරද පිළිගත් අතර, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. වැඩිදුර නඩු විභාගය 2023 ජනවාරි මස 25 දින කැඳවීමට නියමිතය.

නඩු විභාගය අවසන් වනතුරු මෙම ආයතනයේ බලපත්‍රය තාවකාලිකව අවලංගු කිරීමටද මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටී.

මෙම වැටලීම සඳහා විශේෂ විමර්ශන අංශයේ සරත් විමලවීර, ඉදුනිල් පුෂ්පකුමාර, නාලක මාමල්ගහ, රවීන්ද්‍ර අබේපාල, වසන්ත ඒකනායක, එම්.කේ.සුමනවීර, මධුශාන් විජේවර්ධන, එන්.ඒ.කේ.දමයන්ති, කිත්සිරි අමරනාත් යන නිළධාරින් සහභාගි විය.

විදේශ රැකියා වලට යාමට ඒජන්සි ආයතන වලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ඒජන්සි ආයතනයේ නීත්‍යානුකුල භාවය හා අනුමත රැකියා ඇබෑර්තු තිබේදැයි තහවුරුකරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.