හොර පාරෙන් ජපන් යවන්න මුදල් වංචාකළ කාන්තාවකට වෙච්ච දෙයක්

හොර පාරෙන් ජපන් යවන්න මුදල් වංචාකළ කාන්තාවකට වෙච්ච දෙයක්

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් තරුණයෙකුගෙන් රු.870,000.00 ක මුදලක් වංචනික ලෙස ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් සමත්වී තිබේ.

ජපානයේ කර්මාන්ත ශාලාවක රැකියාවක් ලබාදෙන බව පවසමින්, අළුත්ගම, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් මෙම කාන්තාව මුදල් ලබාගෙන ඇති අතර, පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් ඔහු මේ පිළිබඳව කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ විදේශ සේවා විමර්ශන නිළධාරීන් 2023.02.12 දින එම කාන්තාව පදිංචි කදාන ප්‍රදේශයේ නිවස වටලා අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාරිය එදිනම කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, වැඩිදුර නඩු විභාගය මාර්තු 24 දිනට කල් තබන ලදී.

මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විදේශ සේවා විමර්ශන නිළධාරීන් වන කපිල කරුණාරත්න, එම්.කේ.සුමනවීර, සරත් විමලවීර, වසන්ත ඒකනායක, මධුශාන් විජේවර්ධන, ගයේෂා සුභාෂිණි, නිදර්ශිකා දමයන්ති යන මහත්ම මහත්මීන් එක් විය.

යම් පුද්ගලයෙකු රැකියාවක් සඳහා විදේශ ගතවන්නේ නම්, නීත්‍යානුකූල මාර්ගයකින් විදේශ ගතවන ලෙසත්, විදේශ රැකියා වලට යාමට ඒජන්සි ආයතන වලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ඒජන්සි ආයතනයේ නීත්‍යානුකුලභාවය හා අනුමත රැකියා ඇබෑර්තු තිබේදැයි තහවුරු කරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.