කාර්යංශයේ නම විකුණා ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ වංචාකරුවන් අත්අඩංගුවට

කාර්යංශයේ නම විකුණා ඊශ්‍රායල් රැකියා ජාවාරමක නිරත වූ වංචාකරුවන් අත්අඩංගුවට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහය මත ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බව පවසමින්, රාජ්‍ය ලාංඡනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංඡනය යොදා සකස් කරන ලද ව්‍යාජ අයදුම්පත්‍ර තරුණයින්ට ලබාදෙමින්, තරුණ පිරිස් මුලාවට පත්කල පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී 2023.02.22 දින අත්අඩංගුවට ගන්නා ලදී.

මෙසේ ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 4 බැගින් මුදල් ලබාගැනීම සිදුකරන බවට, රැකියා අපේක්ෂකයෙකුගෙන් කාර්යාංශයට ලද පැමිණිල්ලකට අනුව, විමර්ශන නිළධාරීන් පැමිණිලිකරු සමග ගොස් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද්දේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි තවත් අයෙකු මෙම ජාවාරම සඳහා ඔහුට සහාය වී ඇති බවයි. ඒ අනුව විමර්ශන නිළධාරීන් විසින් අනෙක් පුද්ගලයාද දියත උයන පරිශ්‍රයට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් සිදුකර ඇති ප්‍රශ්න කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අයදුම්පත්‍ර අන්තර්ජාලයෙන් බාගත කර ව්‍යාජ අයුරින් රාජ්‍ය ලාංඡනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංඡනය යොදා සකස් කර මෙම ජාවාරම සිදුකරනු ලබන බවයි. මෙලෙස වංචනික අයුරින් සකස් කරන ලද රැකියා අයදුම්පත්‍ර 5ක්ද එම ස්ථානයේ තිබී විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත.

ඒ අනුව පුද්ගලයින් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කඩුවෙල ගරු මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටත්, වැඩිදුර නඩු විභාගය ජූනි මස 05 වන දින කැඳවීමටත් ගරු අධිකරණය විසින් නියම කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන අංශයේ විමර්ශන නිළධාරීන් වන කපිල කරුණාරත්න, සරත් විමලවීර, මදුශාන් විජේවර්ධන, වසන්ත ඒකනායක, කිත්සිරි අමරනාත් හා ගයේෂා සුභාෂිණි යන නිළධාරීන් එක් වූහ.

ඊශ්‍රායල් සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම් සිදුකරන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණි. මෙම රැකියා සඳහා අයදුම් කිරීමට නම් කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙත පිවිස Home base caregivers for Israel යන සබැදිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම් කළ යුතුය. එබැවින් කිසිදු හේතුවක් මත ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සදහා වෙනත් බාහිර පුද්ගලයෙකුගෙන් අයදුම්පත්‍ර ලබානොගන්නා ලෙසත්, හා එම රැකියා ලබාගැනීම සඳහා කිසිදු මුදලක් ලබා‍නොදෙන ලෙසත්, එවැනි වංචනික පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය වෙත හෝ දුරකථන අංක 0112864241,011864123 මගින් විශේෂ විමර්ශන අංශය වෙත තොරතුරු  දැනුම් දෙන ලෙස මහජනයා දැනුවත් කරන ලෙසට කාරුණකව ඉල්ලා සිටිමි.