කොරියාවේ, ජපානයේ, ඉතාලියේ හා ඊශ්‍රායයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට විශේෂ නිවේදනයක්!

කොරියාවේ, ජපානයේ, ඉතාලියේ හා ඊශ්‍රායයේ රැකියා අපේක්ෂාවෙන් සිටින අයට විශේෂ නිවේදනයක්!

ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රු.1,195,000.00 ක මුදලක් වංචනිකව ලබාගත් කාන්තාවක, තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එලෙස මුදල් ලබාගන්නා අවස්ථාවේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් 2023.03.07 දින මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 

වරකාපොල ප්‍රදේශයේ පදිංචි රජයේ හෙද නිළධාරියෙකුගෙන් ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා මෙම කාන්තාව මෙසේ මුදල් ලබාගෙන ඇති අතර, අදාල රැකියාව ලබානොදීම හේතුවෙන් මේ පිළිබඳව ඔහු විසින් කාර්යාංශයේ විමර්ශන අංශය වෙත පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ලට අනුව අත්අඩංගුවට ගනු ලැබූ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මෙම සැකකාරිය අද දින (2023.03.08 දින) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මේ සඳහා කාර්යාංශයේ විමර්ශන අංශයේ නිළධාරීන් වන බුද්ධික විදානපතිරණ, දිල්හානි සපරමාදු, රවීන්ද්‍ර අබේපාල යන මහත්ම මහත්මීන් සහභාගි වී ඇත.

දකුණු කොරියාවේ, ජපානයේ, ඉතාලියේ හා ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සඳහා විවිධ පුද්ගලයින් මුදල් දී පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට වැඩි වශයෙන් මේ දිනවල කාර්යාංශයට පැමිණිලි ලැබෙමින් පවති.  ඓහෙයින් යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට විදේශ රැකියා සඳහා යාමට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ ලියාපදිංචි නීත්‍යානුකූල ආයතනයක්ද යන්නත්, අදාල රැකියා ඇණවුම් එම ආයතනය වෙත ලැබී ඇතිද යන්න සොයා බලන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් හෝ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අදාල රැකියා නියෝජිතායතනයේ නීත්‍යානුකූලභාවය පරික්ෂා කරන මෙන් මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ඔබ ආයතනය මගින් මෙමගින් ඉල්ලා සිටිමි.