රැකියා උපදේශනය මුවාවෙන් රට රැකියා ජාවාරම් කළ කතක් අත්අඩංගුවට

රැකියා උපදේශනය මුවාවෙන් රට රැකියා ජාවාරම් කළ කතක් අත්අඩංගුවට

කලුබෝවිල ප්‍රදේශයේ විදේශ රැකියා උපදේශන සේවා මධස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් රට රැකියා සඳහා යවන බව පවසමින් මුදල් වංචාකළ බවට සැකපිට කාන්තාවක් ඊයේ (2023.05.11) දින ශ්‍රී  ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට ගෙන අද දින (5.12)  නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.  

රුමේනියා රටේ රැකියා සඳහා යවන බව පවසමින් රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙන තමන්ට වංචා කළැයි වාද්දුව සහ තල්පිටිය යන ප්‍රදේශයේවල පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පසුගියදා පැමිණිලි කර තිබිණි. අදාළ පැමිණිල්ල විභාග කිරීමට කොස්වත්ත, බත්තරමුල්ල පිහිටි එහි ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිල්ලේ දෙපාර්ශවය ඊයේ කැඳවා තිබූ අතර එම අවස්ථාවේ සැකකාරිය අත් අඩංගුවට පත්ව තිබේ.

රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායිකා තනතුරු සඳහා තමන්ව යවන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 ක මුදලක් සැකකාරිය විසින් ඉල්ලූ බවත් අත්තිකාරම් මුදල් ලෙස එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ හතර හමාර බැගින් ලබා ගෙන තමන් මගහරිමින් සැකකාරිය තමන් රැවටූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

විදේශ රැකියා උපදේශන සේවා සපයන මුවාවෙන් සැකකාරිය මෙම විදේශ රැකියා ජාවාරම කාලයක සිට පවත්වා ගෙන ගොස් ඇතැයි පැවසේ. ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට කාර්යාංශයේ විමර්ශන අංශය කටයුතු කරමින් සිටී.

රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට වලංගු නියෝජිත බලපත්‍රයක් නොමැතිව රැකියා වලට යවන බව පවසා මුදල් වංචා සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තැනැත්තිය අද දින (5/12) නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇය විසින් ලබාගත් මුදල් යළි පැමිණිලිකරුවන් වෙත ලබාදීමට එකගවීම හේතුවෙන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තවද, නඩු විභාගය සඳහා පැමිණිලිකරුවන් පැමිණි නොසිටි හෙයින් රු.440,600.00 ක මුදලක් ගරු අධිකරණය භාරයේ තැබීමටද නියෝග කළ අතර, වැඩිදුර නඩු විභාගය 2023.08.03 දින කැඳවීමට නියමිතය.