කැනඩා රැකියා හා අධ්‍යාපනය පෙන්වා සල්ලි ගැරුවාට විරෝධය

කැනඩා රැකියා හා අධ්‍යාපනය පෙන්වා සල්ලි ගැරුවාට විරෝධය
කැනඩාවේ උසස් අධ්‍යාපන වරම් ඇතුළු රැකියා ලබා දෙන බවට දැන්වීම් පලකරමින් රුපියල් කෝටි ගණනක් වංචා කරමින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ පවත්වාගෙන යන ආයතනයකට විරෝධය පා අද ( 17) ඒ් ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබේ. 
 
 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කොටසේ පවත්වාගෙන යන මෙම  ආයතනය මගින් වංචාවට ලක්වූ උගතුන් 450ක් පමණ මේ වනවිට නීතියේ සරණ පතා ඇතැයි අසාධාරණයට ලක්වූවන් පවසා ඇත.
 
 මූලිකව රුපියල් ලක්ෂ දහතුනකට වැඩි මුදලක් අය කරමින් කැනඩාවේ ව්‍යාපාරික කළමනාකරණ පාඨමාලා, තොරතුරු තාක්ෂණ පාඨමාලා ඇතුළු විවිධ පාඨමාලා දෙන බව පවසා මාස පහළොවක අධ්‍යයන කටයුතු සඳහා වීසා ලබාදෙන බවට මෙම ආයතනය දැනුම් දී ඇත.
 
වීසා සඳහා උපදේශන කටයුතු ඇතුළුව මුදල් අය කිරීමේ දී CIMT නමැති අසාදු ලේඛනගත කළ කැනඩාවේ පාසලක් ගැන සඳහන් කරමින් මෙම වංචාව සිදුකර කර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
 
මේ සම්බන්ධව ජනවාරි මාසයේ සිට ​කොටුව පොලිසිය වෙත පැමිණිලි ගලාවිත් ඇතත් වංචාවට සම්බන්ධ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම නිසා ජාවාරම දිගටම කරගෙන ගොස් ඇතැයි හෙළි වී තිබේ.
 
මෙම තත්ත්වය මුල්කරගෙන හැත්තෑවක පමණ වංචාවට නතුවූ පිරිසක් අද (17 වැනිදා) එම ආයතනය වටලා තමන්ට සිදු වූ අසාධාරණයට එරෙහිව ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත.