ඌව පළාතේ රටවිරු සුභ සේවය සමග විගමණික ප්‍රජාවට සහන රැසක්

ඌව පළාතේ රටවිරු සුභ සේවය සමග විගමණික ප්‍රජාවට සහන රැසක්

විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය ඉහළ නැංවීමත්, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමත් වෙනුවෙන්  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ රටවිරු සුබ සේවා සහ දැනුවත් කිරීමේ වැඩසටහන ඌව පළාත කේන්ද්‍ර කරගනිමින්  පසුගියදා  ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින්ගේ දු දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, විගමනික ශ්‍රමිකයින් ඇගයීම සහ විදෙස්ගත ශ්‍රමික පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා සහාය වීම ඇතුළු වැඩසටහන් රැසක් මීට සමගාමීව සංවිධානය කර තිබිණි. 

එහිදී ඌව පළාතේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 212 දෙනෙකු සහ එක් අයෙකුට රු.10,000.00 බැගින් වටිනා පාසල් උපකරණ බෙදාදීමටද, ඌව පළාතේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් 90 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.33 ක් වටිනා ශිෂ්‍යත්වද පිරිනැමීමට කටයුතු කර තිබුණි.

ඊට අමතරව වැඩිම වාර ගණනක් කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ඌව පළාතේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රමිකයින් 179 දෙනෙකු අගයකිරීම උදෙසා තිලිණපත්ද ප්‍රදානය කරන ලදී.

මෙම සුභසාධන වැඩසටහනට සමගාමීව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවට හා මහජනතාවට සිදුවන සේවාවන් සම්බන්ධයෙන් ඌව පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, පොලිස් නිළධාරීන්, සියළුම වසම්වල ග්‍රාම නිළධාරීන්, විදුහල්පතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වුණි.

මෙම වැඩසටහන සඳහා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවෙල් සුරේෂ්, ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.ඒ.මුසම්මිල්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ වැ.බ. ලේකම් ලාල් සමරසේකර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි අසීස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.