ශ්‍රී ලාංකික තරුණියකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල ලබා දුන්නේ ඇයි?

ශ්‍රී ලාංකික තරුණියකට මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ වැඩිම වන්දි මුදල ලබා දුන්නේ ඇයි?

ආර්ථික ගැටලු වලින් මිරිකී සිටින මෙරට බොහෝ කාන්තාවන් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යන්නේ තම ප්‍රශ්නවලට අස්වැසිල්ලක් ලබා ගැනීමේ දහසකුත් බලාපොරොත්තු පෙරදැරිවය.

එලෙස දහසකුත් බලාපොරොත්තු සහිතව කුවේට් රාජ්‍ය බලා ගිය ලාංකික කාන්තාවකට සිය ජීවිතයට සිදුවූ විශාල අසාධාරණයක් නිසා මැදපෙරදිග ගෘහ සේවා ඉතිහාසයේ විශාලතම වන්දි මුදල වන රුපියල් හැට අට ලක්ෂයක් ලබා ගනිමින් සැප්තැම්බර් 3 වැනිදා යළි දිවයිනට පැමිණීමට සිදුව තිබුණි.

සිදුව ඇති අසාධාරණය කුමක්ද?

අප විසින් අනන්‍යතාවය හෙළි නොකරන , ඇය 2022 ඔක්තෝබර් 22 වැනිදා කුවේට් රාජ්‍යයේ ( Sabah Al Salim City ) නගරයේ ගෘහ සේවය සදහා ගොස් තිබුණේ එරට රාජ්‍ය සේවයේ නිරත පවුලකට අයත් නිවෙසකටය .

එහිදී එම නිවසේ සිටින මෙම හාම්පුතාගේ 32 හැවිරිදි පුතා විසින් අවස්ථා කීපයක දී මෙම කාන්තාවගේ කැමැත්තෙන් තොරව ඇය බලහත්කාරයෙන් දුෂණයට ලක් කර තිබේ.

කෙටි කාලයක් ගත වනවිට මෙම කුවේට් ජාතික තරුණයාගේ මව විසින් මෙම ශ්‍රී ලාංකික තරුණිය ගැබ් ගෙන ඇති බව තේරුම් ගැනීමෙන් අනතුරුව,ඇයගේ නිවෙස වෙත රහසිගතව වෛද්‍යවරයෙකු ගෙන්වා,මෙම තරුණියගේ කැමැත්තෙන් තොරව ගබ්සා කිරීමක් කර තිබේ.එහිදී මෙම සිදුවීම කිසිවෙකුටත් ප්‍රකාශ නොකරන ලෙස ඇය විසින් මෙම ශ්‍රී ලාංකික තරුණියට තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීමෙන් පසුව මෙම කාන්තාව අධික රුධිර වහනයකට ලක්ව ඇති අතර , එයින් දින තුනකට පසුව ඇය ආපසු ශ්‍රී ලංකාවට එවීම සදහා 2023.03.23 දින රෝද පුටුවක හිදුවා කුවේට් රාජ්‍යයේ ගුවන් තොටුපොළ වෙත කුවේට් ජාතික තරුණයාගේ පියා විසින් ගෙනැවිත් භාර දී තිබේ.

කුවේට් ගුවන් තොටුපොලේදී එරට ගුවන් සේවා නිලධාරීන් විසින් රෝගී වී රෝද පුටුවක සිටි මෙම කාන්තාවගෙන් කරුණු විමසා ඇති අතර , එහිදී තමන් මුහුණ දුන් මෙම සිදුවීම එම නිලධාරීන් හමුවේ පවසා තිබේ.

එහිදී මෙම තරුණියගේ තත්ත්වය ගුවන් ගමනක් සඳහා සුදුසු මට්ටමක නොපවතින බැවින් ගුවන් සේවා බලධාරීන් වහාම මේ පිළිබඳව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් මැදිහත් වෙයි

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම්ගේ උපදෙස් මත , නියෝජ්‍ය තානාපති අබ්දුල් හලීම්ගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ තෙවන ලේකම් ජනක සමරසේකර , භාෂා පරිවර්තක අමීර් හසන් සහ රවුෆ් යන අය විසින් මෙම තරුණිය ජබරියා හි අල් මුබාරක් රෝහල වෙත ඇතුළත් කර තිබේ .

ඉන්පසුව මෙම සිදුවීම අහමදි අධිකරණය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකික නිලධාරීන් , එරට නීතිවේදීන් සමග මාස 06 ක පමණ නඩු කරය පවත්වාගෙන යාමෙන් පසු මෙම තරුණිය වෙත කුවේට් ඩිනාර් 6,500 ක (රුපියල් ලක්ෂ 68 ක) වන්දි මුදල ලබා දීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව මෙම වන්දි මුදල, යළි ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ගුවන් යානා ප්‍රවේශ පත්‍රය සහ මෙම තරුණියගේ ගමන් බලපත්‍රය කුවේට් ජාතිකයා විසින් ලබා දීමෙන් අනතුරුව, මෙම තරුණිය සැප්තැම්බර් 03 වැනිදා දිවයිනට පැමිණ තිබේ.

(bbc/Sinhala)