තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 3800ක් යළි එන්න සූදානම්

 තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 3800ක් යළි එන්න සූදානම්

ශ්‍රී ලාංකිකයන් 58,000ක් පමණ මේ වන විට තමිල්නාඩුවේ සරණාගතයන් ලෙස පදිංචිව සිටින නමුත් ඔවුන්ගෙන් 3,800ක් පමණක් මේ වන විට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටින බැව් එරට පුවත් සේවා උපුටා දක්වයි.

ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයින්ට නැවත පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය කමිටුවක් පත් කර ඇති බව ශ්‍රී ලංකා රජයේ බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇතැයි 'ද හින්දු' පුවත්පත වාර්තා කරයි.

"යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව" ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බව එහි සඳහන්ය.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට අමතරව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම කමිටුවට ඇතුළත් වේ.

1984 සිට ඉන්දියාවේ අවතැන් වූ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සමඟ කටයුතු කරන ස්වේච්ඡා සංවිධානයක් වන ඊළාම් සරණාගතයින් පුනරුත්ථාපනය සඳහා වූ සංවිධානය (OfERR) විසින් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ එම සංවිධානය ඉන්දියාවෙන් ආපසු පැමිණි පුද්ගලයින් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බවත් වාර්තා වේ.