වතු කම්කරු කාන්තාවන් 87,000 ක් රට හැර ගිහින්

වතු කම්කරු කාන්තාවන් 87,000 ක් රට හැර ගිහින්
වතු හාම්පුතුන් නිසි ලෙස නොසැලකීම නිසා වතු කම්කරු කාන්තාවන් අසූ හත් දහසක් (87,000)   විදේශයන්හි  රැකියාවලට  ගොස්  ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
 
වතු  සේවකයන්ට අසාධාරණ ලෙස සැලකීම වැළැක්වීම සඳහා නව නීති ගෙන එන බව ඔහු කියා සිටියි.
 
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ වතුකම්කරුවන්ට සිදුවන්නේ යැයි පැවසෙන  අසාධාරණකම් පිළිබඳ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් වතු සමාගම් නියෝජිතයන් හා වෘත්තීය සමිති නායකයන් සමඟ කම්කරු දෙපාර්තමේන්තුවේදී ඊයේ (29) පැවැති සාකච්ඡාවකදීය.
 
වතු සමාගම් පාලකයන්  වතු කම්කරු ජනතාවට විවිධ අසාධාරණකම් හා පීඩාවන්  සිදුකරන බවට පැමිණිලි  විශාල ප්‍රමාණයක් ලැබී  ඇතැයි පැවසූ අමාත්‍යවරයා  වතු කම්කරු ජනතාවට  කම්කරු නීති රීතිවලට අනුකූලව   යහපත් සේවා තත්ත්වයක් උදාකරදීමට  නව නීති ගෙන ඒමට කටයුතු කරන බවද සඳහන් කළේය.
 
මෙහිදී අදහස් දැක්වූ වතු සමාගම් නියෝජිතයින් පෙන්වා දුන්නේ, සමහර තැන්වල එවැනි කම්කරු නීතී උල්ලංඝණයවීම් සිදුවන්නේ යැයි  තමන්ද  පිළිගන්නා බවයි.
 
කම්කරු  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ගැන පරීක්ෂණ පවත්වා පියවර ගැනීමට කිසිසේත්ම විරුද්ධ නොවන බවද, ඔවුහු කියා සිටියහ.
 
එසේම වතු වෘත්තීය සමිති වෙනුවෙන් සේවකයන්ගේ සාමාජික මුදල්  එම වෘත්තිය සමිති ගිණුම්වලට බැර කිරීම මේ වනවිට වතු සමාගම් පැහැර හැර ඇති හෙයින් එම සාමාජික මුදල් වෘත්තීය සමිතිවලට බැර කිරීම තහවුරු කෙරෙන  නව නීතියක් ගෙන එන  බව මෙහිදී පැවසූ අමාත්‍යවරයා වතු කම්කරුවන්ගේ සුබසාධනය සහ ඔවුන්ගේ සේවා  සුරක්ෂිතතාවය සඳහා සුවිශේෂි නව පනතක් ගෙන ඒමටද කටයුතු කරන බව ප්‍රකාශ  කළේය.
 
තේ ආර්ථිකය රැකගත යුතු හෙයින්  වතු කම්කරුවන්ගේ  පොදු සුභසාධනය සඳහා අවශ්‍ය පියවර ඉදිරියේදී  ගත යුතුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් වතු සමාගම් ප්‍රධානීන් සහ  වතු  වෘත්තිය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක්   සහභාගි වූහ.