MH 370 -  (අපායේ කතාව 15)

අපායේ කතාවක්- මැලේසියා

ඒ වර්ෂ 2014 මාර්තු මස 08 වන සෙනසුරාදා දිනයයි. ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සුපුරුදු පරිදි කාර්යබහුලව තිබුණේය. වළාකුළු වලින් තොරවූ අහසේ පායා තිබූ  අළුයම් සඳ ගුවන්තොටුපොළට හරි ඉහළින් වූ අහසේ ස්ථානගතව තිබුණේය. බර ගමන් මලු ට්‍රොලි මත අසුරාගත් මගීහු තම ගමනාන්ත වෙත ගමන් ගන්නා ගුවන් යානා රැඳි ගුවන් පිවිසුම් කවුළු වෙත ලහි ලහියේ ඇදුනහ. පළමුව මැලේ භාෂාවෙන්ද, දෙවනුව ඉංග්‍රීසි භාෂාවෙන්ද, අවාසාන වශයෙන් මැඩ්‍රිලින් චීන භාෂාවෙන්ද නිවේදනය කෙරුණේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජින්ග් (Beijing, China) දක්වා ගමන් ගන්නා මැලේසියානු ගුවන්සේවයට අයත් MH370දරන ගුවන් යානයේ ගමන් ගන්නා මගීන් වේනම්, ඔවුන් සඳහා ගුවන් යානය සූදානම් බවය. ඒ අනුව එකා පසුපස එකා බැගින් ගමන් ගත් මගීහු, සංචාරක ලියකියවිලි තහවුරු කර ගැනීමෙන් පසු ගුවන් යානයට පිවිස අසුන් ගත්හ.

එදින ගමන්වාරය සඳහා ලියාපදිංචිව සිටි මගීන් සියළුදෙනා යානය තුළ අසුන් ගත් පසුව සාම්ප්‍රදායික ලෙස ගුවන්  සේවක සේවිකාවන් විසින් මගීන් වෙත හදිස්සි අවස්ථාවකදී ගුවනේදී පිළිපැදිය යුතු ගුවන් ආරක්ෂක ක්‍රමවේදයන් පිළිබඳව වූ ඉදිරිපත්කිරීම සිදුවිය. දැන් සියල්ලෝම ගුවන් ගත වීමට සූදානම්ය. ප්‍රධාන ගුවන් නියමු පනස් තුන් හැවිරිදි ශාහීර් අහ්මඩ් ශා (Zaharie Ahmad Shah-53) මගීන් සියල්ලෝම ගුවන් යානය වෙත පිළිගනිමින් ද  තමන් සහ තම සහයක ගුවන් නියමු විසි හත් හැවිරිදි ෆාරික් හමීඩ් (Fariq Hamid-27) සහ ගණනින් දහයක් වූ ගුවන් සේවක සේවිකාවන් මගීන් වෙත හඳුන්වා දෙමින් ද  සුව පහසු ගුවන් ගමනකට සූදානම් වන ලෙස ආරාධනා කර සිටියේය. ගුවන් පථය ඔස්සේ මද දුරක් ත්වරණය වූ බෝයිං-777 (Boeing 777-200ER)  වර්ගයේ ගුවන් යානය හරියටම අළුයම 12:42 ට මැලේසියානු භූමියෙන් නිදහස් වී අහසට එසැවින.

කෙටි වේලාවක් තුළ  මැලේසියානු ගුවන් කලාපයෙන් මිදුන MH370 යානය  දකුණු චීන මුහුදු කළාපය හරහා වියට්නාම් ගුවන් කළාපය වෙත පිවිසෙමින් තිබිණ. ක්වාලාලම්පූර් හි පිහිටි ප්‍රධාන ගුවන් සම්බන්ධතා මධ්‍යස්ථානය තම ගුවන් කලාපයෙන් ඉවත්ව වියට්නාම් ගුවන් කලාපය වෙත පිවිසෙමින් තිබූ යානය වෙත සුභ පැතුවේය,

“මැලේසියන් 3-7-0 ...! හෝ චී මින් 1-2-0 දශම 9 හා සම්බන්ධ වන්න ...! සුභ රාත්‍රියක් ! ” (Malaysian three-seven-zero, contact Ho Chi Minh one-two-zero-decimal-nine. Good night !)

තම මව් රටට අයත් යානය සුපුරුදු පරිදි දෛනික ගුවන් මාර්ගය ඔස්සේ චීන අහස වෙත පිවිසෙන බව ක්වාලාලම්පූර්හි පිහිටි ප්‍රධාන සම්බන්ධතා මධ්‍යස්ථානය දැන සිටියේය. ඒ බව සනාථ කරමින් යානයේ සිටි ප්‍රධාන ගුවන් නියමු ශාහීර් විසින් ක්වාලාලම්පූර් වෙත ප්‍රතිචාර දැක්වීය.  “මැලේසියන් 3-7-0 ... සුභ රාත්‍රියක් !” ඔහු එලෙස ක්වාලාලම්පූර් ප්‍රධාන ගුවන් පාලක මධ්‍යස්ථානය වෙත රේඩියෝව හරහා සුභ පැතුවේය.

වියට්නාමයේ “හෝ චී මින්” (Ho Chi Minh) හි පිහිටි ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිළධාරිහුද තම ගුවන් කලාපය හරහා දෛනිකව මෙම වේලාවට චීන ගුවන් කලාපය වෙත ගුවනේ ඇදී යන MH370 යානය සුපුරුදු පරිදි නිරීක්ෂණය කරමින් උන්හ. නමුත් ඔවුන්ට එම යානය තම රේඩාර් තිරය මත නිරීක්ෂණය වූවේ තත්පර පහක් වැනි ඉතා කෙටි කාල වේලාවක් තුළ පමණි. හිටි අඩියේම මැලේසියානු යානය රේඩාර් තිරයෙන් අභිරහස් ලෙස අතුරුදන්ව ගොස් තිබුණේය. කලබලයට පත් වියට්නාම් ගුවන් සේවා නිළධාරිහූ තම ගුවන් සීමාව තුළ හිටි අඩියේ නොපෙනී ගිය මැලේසියානු යානය පිළිබඳව ක්වාලාලම්පූරය දැනුවත් කළේය.

ක්වාලාලම්පූර්හි සිට ගුවන්ගත වීමෙන් පසුව මිනිත්තු තිස් නවයකට(39) පසුව අඩි 35,000 ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මැලේසියන් ගුවන්සේවයට අයත්  MH370 යානය ආ ගිය අතක් සොයා මැලේසියාව මෙහෙයුම් දියත් කළෙය. මැලේසියානු ගුවන් හමුදා බුද්ධ් අංශ තහවුරු කළේ යානය අවසන් වරට ක්වාලාලම්පූර්හි ප්‍රධාන පාලක මැදිරිය සමඟ සම්බන්ධ වූවාට පසුව අඩුම තරමින් පැයක කාලයක් ගුවනේ රැදී තිබී ඇති බවයි. අළුයම 1:21 ට ප්‍රධාන සම්බන්ධතා මැදිරිය සමඟ සන්නිවේදනය නවතා දැමූ මුත් අදාළ යානය වියට්නාම් ගුවන් කලාපයේදී හිටි අඩියේම තම ගමන් මග වෙනස් කොට නැවතත් මැලේසියාව හරහා මැලේසියාවේ පිනෑන්ග් දූපත් කලාපය වෙත පැමිණ ඇත. එතැනදී කුතුහලය දනවමින් නැවත වයඹ දිගට තම ගමන් මග වෙනස් කොට ඇති යානය මලක්කා සමුද්‍ර සංදියට ඉහළින් ඉන්දියන් සාගරයේ අන්දමන් මුහුදු කලාපය වෙත පිවිස ඇත. මැලේසියානු ගුවන් හමුදාවේ රහස් රේඩාර් පද්ධතිය තුළ අන්දමන් මුහුදු කලාපයෙන් ඔබ්බට වූ යානයේ ගමන් මග පිළිබඳව සටහන් කිසිත් වාර්තා වී නොතිබිණ. ලොවට මහා අභිරහසක්  ඉතිරි කරමින් ගුවන් නියමු ශාහීර් විසින්  “සුභ රාතියක් !” ලෙස තැබූ අවසන් පණිවුඩයද සමග කාර්යය මණ්ඩලයේ සේවකයින් දස දෙනෙකු සහ ජාත්‍යන්තර  ගුවන් මගීන් 227 රැගත් MH370 ගුවන් යානය අභිරහස් ලෙස අතුරුදන්ව ගොස් තිබුණේය.

අතුරු දහන් වූ ගුවන් යානයක් සොයා එදා මෙදා ලෝක ඉතිහාසය තුළ දියත් කෙරුණු දැවැන්තම මෙහෙයුම ඉක්බිතිව දියත් විය. එය ලොව බලවත් රාජ්‍යයන් 7ක් ඇතුළු රටවල් රැසක සහභාගීත්වයෙන් දකුණු චීන මුහුද සහ යානය සාගරයට කඩා වැටුනේයැයි සැක කළ ඉන්දියන් සාගරයේ මුහුදු කලාප රැසක් තුළ අධි තාක්ෂණික මෙවලම් උපකාරයෙන් දියත් කෙරිණි. ඒ සඳහා විවිධ රටවලට අයත් ගුවන් යානා 28ක්  සහ නාවුක යාත්‍රා 34ක් යොදා ගැනුණ අතර දින හැටක පමණ කාලයක් අඛණ්ඩව දියත් කෙරුණ මෙහෙයුම් හරහා අතුරුදහන් වූ යානාව පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි විය. මෙම ලිපිය ලියැවෙන වර්ෂ 2020 අවසන් මාසය වන විට MH370 මැලේසියානු ගුවන් යානය අතුරුදහන්ව වසර හයකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ දක්වාම යානයේ සුන් බුන් තබා, යානයට සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පවා තහවුරු කළ හැකි අදහසක් මැලෙසියාව හෝ වෙනත් කිසිදු ජාත්‍යන්තර ආයතනයක් වෙතින් ප්‍රකාශයට පත් වී නැත.

මැලේසියානු ගුවන් ඉතිහාසයේ වර්ෂ 2014 ඉතිරි කර ඇත්තේ කඳුළු පැල්ලමකි. ඒ මාර්තු 8 වන දින අතුරුදන් වූ MH370 දරන බෝයින් යානයට අමතරව එම වසරේම ජූලි මස 14 වන දින ඇම්ස්ටඩෑම් (Amsterdam, Netherlands) නගරයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ MH17 දරන බොයින් වර්ගයේ ගුවන් යානය ද යුක්‍රේනයට ඉහළ අහසේදී සියළු මගීන් සහ කාර්යය මණ්ඩලය සමඟ මිසයිල ප්‍රහාරයකට ලක්වී අවාසනාවන්ත ලෙස විනාශ වූ බැවිණි. එම ගුවන් අනතුර වැරදි වටහා ගැනීමක් මත සිදුවූ මිසයිල නිදහස් කිරීමක් හේතුවෙන් සිදුවූ අනතුරක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර පුද්ගලයන්  210 දෙනෙකු හට ජීවිත අහිමිව ගොස් තිබුණේය. එම ගුවන් අනතුරු දෙක සිදුවන විට මෙම ලියුම්කරු මැලේසියාව තුළ රැදී සිටි බැවින්, මැලේසියානු සාමාන්‍ය ජන සමාජය එම අවාසනාවන්ත ගුවන් අනතුරු සම්බන්ධයෙන් දැක්වූ කම්පිත  ප්‍රතිචාරය පිළිබඳව සමීප අත්දැකීම් උවමනා තරම් ඇත.

යුක්‍රේන අහසේදී මිසයිල ප්‍රහාරයට ලක් වූ  MH17 දරන මැලේසියානු ගුවන් යානය අනතුරට ලක්වූ අයුරු පිළිබදව තොරතුරු වාර්තා වී තිබූ බැවින් එය තවත් එක් අවාසනාවන්ත ගුවන් අනතුරක් ලෙස කාලයේ වැලිතලාව මත සටහන්ව  කාලයත් සමඟ සියල්ලන්ගේම මතකයෙන් මැකී ගියේය. නමුත් කිසිදු හෝඩුවාවක් නොතබා අතුරුදන්ව තිබූ MH370 යානය පිළිබදව වසර ගණනාවක් පුරා තොරතුරු සොයා බැලීම් සිදු කෙරිණි. එම යානය අතුරුදන් වන විට යානය තුළ ගමන්ගත් ගණනින් 227ක් වූ මගීන් පිළිබඳව ජාත්‍යන්තරව තොරතුරු සොයා බැලීම් මැලේසියාව සහ වෙනත් ජාත්‍යන්තර ආයතන විසින් සිදුකරන ලදි. යානය අතුරුදන් වන විට යානය තුළ අසුන් ගෙන සිටි 18 හැවිරිදි ඉරාන ජාතික පෝරියා නූර් මොහොමඩ් මෙහර්දාඩ් (Pouria Nour Mohammad Mehrdad-18), 29 හැවිරිදි ඉරාන ජාතික ඩෙලාවාර් සෙයිඩ් මොහොමඩේ‍රසා (Delavar Seyed Mohammadreza-29) යන මගීන් දෙදෙනා කෙරෙහි ජාත්‍යන්තර පොලීසියේ (INTERPOL —International Criminal Police Organization) විශේෂ අවධානය යොමු විය.

දිගින් දිගට කෙරුණු විමර්ශන වලදී හෙලි වී තිබුණේ අදාල ඉරාන් ජාතික ගුවන් මගීන් දෙදෙනා මැලේසියානු ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී MH370 දරන යානයට පිවිස තිබුණේ ව්‍යාජ අනන්‍යතාවයන් සහිත ගුවන් ගමන් ලියකියවිලි ඉදිරිපත් කිරීම හරහා මැලේසියානු ආගමන විගමන නිළධාරීන් නොමඟ යැවීම මගින් බවය. තම නිවැරදි අනන්‍යතාව සඟවමින්, ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට සහ ඇමෙරිකානු ජාතිකයෙකුට අයත්ව තිබූ ගුවන් ගමන් බලපත්‍ර උපකාරයෙන් මෙම ඉරාන ජාතික තරුණයන් දෙදෙනා යානයට පිවිස තිබිණි. ජාත්‍යන්තර පොලීසියේ  වාර්තා වලට අනුව ඇමෙරිකානු ජාතිකයාට සහ ඕස්ට්‍රේලියානු ජාතිකයාට අයත්ව තිබූ ඔවුන්ගේ පෞද්ගලික ගුවන් ගමන් බලපත්‍ර තායිලන්තය තුළ දී අතුරුදහන්ව තිබූ බව එම පුද්ගලයින් විසින් කලකට පෙර තායි බලධාරීන් වෙත පැමිණිලි කොට තිබී ඇත. කෙසේ වෙතත් යානය අතුරුදන් වීම සහ ව්‍යාජ ගුවන් ගමන් බලපත් උපකාරයෙන් මැලේසියාවේ සිට චීනගේ බීජින් හරහා ඇම්ස්ටඩෑම් බලා ගමන් ගනිමින් සිටි මෙම ඉරාන ජාතිකයක් අතර සම්බන්ධයක් පැහැදිලි වශයෙන් තහවුරු කොට නොමැත. මාධ්‍ය වාර්තා තුළ සඳහන් වූයේ ඔවුහු ඇම්ස්ඩෑමයට පිවිසි පසු දේශපාලන රැකවරණය ලබාගැනීමේ අරමුණ ඇතිව ගමන් ගනිමින් සිටින්නට ඇති බවයි.

වෙනත් පුද්ගලයෙකුට අයත් ගුවන් ගමන් බලපතක් උපකාරයෙන් ඉදුරාම වෙනස් පුද්ගලයෙකු හට ව්‍යාජ අනන්‍යතාවයක් ලබා දී, රටකින් රටකට ප්‍රවාහන කිරීමට තරම් ලොව පුරා ක්‍රියාත්මක මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාත්‍යන්තර ජාලය සංවිධාන ශක්තියකින් යුතු ප්‍රභල තැනක සිටින බවට මෙම සිදුවීම හරහා ජාත්‍යන්තරය විසින් හඳුනා ගන්නා ලදි.

2001 වර්ෂයේ නව වන මස එකොළොස් වන දින (9/11) ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් ගුවන් යානා වෙත පිවිසීම සඳහාද මෙළෙස වෙනත් අනන්‍යතාවයක් සහිත ගුවන් ගමන් බලපත් යොදා ගත් බව හෙළිවී තිබිණ. ඉන්පසුව ජාත්‍යන්තර පොලීසිය මගින් ලොව පුරා අස්ථානගතවන ගුවන් ගමන් බලපත් පිළිබදව වාර්තාවක් (SLTD-Stolen and Lost Travel Documents database) සකස් කොට ඇති අතර ඒ තුළ මිලියන හතළිහක් පමණ වූ ගුවන් ගමන් බලපත් ප්‍රමාණයක් ලේඛන ගත වී ඇති බව සඳහන් වෙයි. එලෙස අස්ථාන ගතවූ බවට වාර්තා වූ කිසියම් ගුවන් ගමන් බලපතක් වෙනත් පුද්ගලයෙකු විසින් ගුවන්ගතවීම සඳහා භාවිතා කිරීමට උත්සාහ කළහොත්, එවැනි පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මෙම දත්ත වාර්තාව යොදාගනු ලබයි. ජාත්‍යන්තර පොලීසිය සඳහන් කරන ආකාරයට ඔවුන් සතු වාර්තා ලොව පුරා රටවල් 190 කට භාවිතයට ගත හැකි නමුත්, අස්ථාන ගතවූ හෝ සොරකම් කරන ලද ගුවන් ගමන් බලපත් උපකාරයෙන් ලොව පුරා මිලියන ගණනක් ගුවන්ගතවීම් සිදුවන බවටද ඔවුන් මැසිවිලි නගයි. විශේෂයෙන් මිනිස් ජාවාරම්කරුවෝ සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදීයෝ මෙළෙස අන්සතු ගුවන් ගමන් බලපත් යොදාගෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානය කරනු ලබයි.

දකුණු ආසියාව සළකා බලන කළ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය  ආදී රටවලසිට මැලේසියාව වෙත ගුවන් මගින් පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සඳහාද බොහෝ විට ජාවාරම් කරුවන් විසින් භාවිතා කරනු ලබන්නේ මෙම කූට උපක්‍රමයයි.

වෙනත් පුද්ගල අනන්‍යතාවක් සහිත ගුවන් ගමන් බලපතක් හරාහා ව්‍යාජ ලෙස පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ සිට විදේශයක් වෙත ඇතුළු කිරීම හෝ විදේශයක සිට ශ්‍රී ලංකාව වෙතට ඇතුළු කිරීම ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් අතර ජනප්‍රියව ඇත්තේ “හෙල්මට් දැමීම” ලෙසය. හෙල්මට් දැමීම යනු වාචික අර්ථයෙන්,  අනන්‍යතාවය සැඟවීම යන අදහසින් භාවිතා වන වචනයකි. විශේෂයෙන්ම අධිකරණයමය ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකාවෙන් පිටව විදේශ වෙත සංචාරය කිරීම තහනම් කොට ඇති පුද්ගලයන් හට හෙල්මට් ක්‍රමය හරහා ගුවන් මගින් විදේශයන් වෙත පැන යාමට ඇති හැකියාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂක ගැටලු රැසක් නිර්මාණය කරයි. පොලිස් භාරයේ සිටියදී හඳුනා නොගත් පිරිසකගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව 2020 වසරේ ඔක්තෝබර් මස මියගිය ප්‍රකට ලාංකික    පාතාල නායකයෙකුවූ “මාකදුරේ මදුෂ්” විසින් වසර කිහිපයකට පෙර  ඩුබායි රාජ්‍යය වෙත පිවිස තිබුණේත්, එරට පොලිසීයට කොටුවන තුරු එහි ජීවත්ව තිබුණේත් මේ ආකාර වූ ව්‍යාජ ගමන් බලපතක් උපකාරයෙන් බව පසුකාලීන පරීක්ෂණ වළදී හෙළිවී තිබිණි.

ප්‍රධාන වශයෙන් නිති විරෝධී ලෙස මැද පෙරදිග බොහෝ කලක් සේවය කරමින් සිටින පිරිස් නැවත ලංකාව වෙත ලඟා වීමටද මෙම හෙල්මට් ක්‍රමය භාවිතා කරනු ලබයි. රැකියා බලාපොරොත්තුවෙන් එම රටවලට සංචාරක වීසා ලබා ඇතුළුවන ආධුනිකයන්හට රැකියා ලබාදෙන බවට හඟවා ඔවුන්ගේ ගමන් බලපත්‍ර ඉතා සූක්ෂම  ලෙස තමන් සතු කරගන්නා ජාවාරම්කරුවෝ හෙල්මට් ක්‍රමය යටතේ ඉතා විශාල මුදලක් අය කරමින් එම ගුවන් ගමන් බලපත් හරහා වෙනත් පුද්ගලයන් ලංකාව වෙත පිටත්කොට හැරීම මැදපෙරදිග රටවල් තුළ කූට ව්‍යාපරයක් ලෙස සිදුවෙමින් තිබේ.

ගුවන් මගින් සංක්‍රමණිකයන් රටකින් රටකට ප්‍රවාහනයේදී මිනිස් ජාවාරම්කරුවන් යොදා ගන්නා වඩා ප්‍රචලිතම ක්‍රමය නම් සංචාරක වීසා ලබා ගැනීම හරහා සිදු කරනු ලබන ජාවාරමයි. ඒ ඒ රටවලට සංචාරකයින් ලෙස විදේශිකයන් හට සංචාරක වීසා ලබාදීමේදී, ඒ ඒ රටවල් විසින් විවිධ නිර්ණායක සහ කොන්දේසි යටතේ එම ක්‍රියාවලිය සිදුකරනු ලබයි. යුරෝපය, කැනඩාව, ජපානය වැනි ධනවත් රාජ්‍යන් ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටවල පුද්ගලයන් වෙතින් ඉදිරිපත් වන සංචාරක වීසා අයදුම් පත්  බොහෝ විමසිල්ලෙන් සළකා බලනු ලැබෙයි.

ලොව සියලුම රටවල ගුවන් ගමන් බලපත්‍ර, ලඟාවිය හැකි ජාත්‍යන්තර ගමනාන්ත අනුව වර්ගීකරණයකට ලක් කොට ඇති විවිධ දර්ශක ලොව පුරා ඇතත් වඩා පිළිගැනීමට හා භාවිතයට ගැනෙන්නේ හෙන්ලි පාස්පෝට් දර්ශකයයි (Henley passport index) එම දර්ශකය ගුවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර සංවිධානය (IATA-International Air Transport Association) ආදී ජාත්‍යන්තර සංවිධාන සමඟ වඩා ඉහළ සම්බන්ධීකරණයක් පත්වා ගනිමින් නිරන්තරව තොරතුරු යාවත්කාලීන කරනු ලබයි. ඒ අනුව දර්ශකයේ ඉහළින්ම සිටින රටවළ පුරවැසියන් හට වඩා ඉහළ සංඛ්‍යාවක්වූ ජාත්‍යන්තර ගමනාන්තයන් වෙත ජාත්‍යන්තර  ගමනා ගමනයේදී අවහිරයකින් තොරව ලඟා වීමට වරප්‍රසාද හිමිව තිබේ. වීසා පහසුකම් බොහෝ විට නම්‍යශීලී වෙයි. දර්ශකයේ ඒ ඒ ශ්‍රේණියට අනුව ඒ ඒ රටවල පුරවැසියන් හට ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාවලියේදී හිමිවන වරප්‍රසාද අඩු වැඩි වේ. වර්ෂ 2020 වන විට ශ්‍රී ලංකාව හෙන්ලි ජාත්‍යන්තර දර්ශකයේ 97 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලාංකා රජය විසින් නිකුත් කොට ඇති ගුවන් ගමන් බලපත්‍රය හරහා ජාත්‍යන්තර ගමනාන්ත 42ක් වෙත පහසුවෙන් ලඟාවිය හැකි බවද එම වාර්තාව තුළ දැක්වෙයි.  වර්ෂ 2020 වන විට හෙන්ලි ජාත්‍යන්තර වර්ගීකරණයේ ඉදිරියෙන්ම සිටින රවල් පහ වන්නේ ජපානය (Japan), සිංගප්පූරුව (Singapore), දකුණු කොරියාව (South Korea), ජර්මනිය (German) සහ ඉතාලිය (Italy) යන රටවල්ය. ඒ රටවල් 106 ක් අතුරෙනි. වර්ගීකරණයේ පහළින්ම සිටින රටවල් පහ වන්නේ ඇෆ්ගනිස්තානය (Afghanistan), ඉරාකය (Iraq), සිරියාව  (Syria), පාකිස්තානය (Pakistan), සහ සෝමාලියාවයි (Somalia). මෙම දර්ශකයේ  ඉහළින්ම සිටින රටවල පුරවැසියන්ට සාපේක්ෂව, දර්ශකයේ පහළින්ම සිටින රටවල පුරවැසියන් හට ජාත්‍යන්තර ගුවන් ගමනා ගමනයේදී, විශේෂයෙන් සංචාරකයන් ලෙස සංක්‍රමණයේ යෙදීමෙදී ලැබෙන ප්‍රමුඛත්වය ඉතා අඩු එකකි. එවැනි පසුබිමක් පැවතියද හෙන්ලි වර්ගීකරණයේ ප්‍රමුඛතාවයක් නොලැබෙන ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය ආදී දිළිඳු රටවල පිරිස් මෙන්ම, සරණාගතභාවය හොයා යන විවිධ රටවල පිරිස් ධනවත් රාජ්‍යයන් වෙත සංචාරක වීසා හරහා ගුවනින් ඇතුළුවීමේ ක්‍රියාවලියද අඛණ්ඩව සිදුවෙමින් තිබේ. එය එලෙස සිදුවන්නේ බොහෝ විට ව්‍යාජ සංචාරක වීසා පිළියෙළ කිරීම ජාත්‍යන්තර මිනිස් ජාවාරම් ජාලය තුළ ඉහළ ආදායම් උපයන ව්‍යාපාරයක්ව ඇති බැවිනි.

ධනවත් රටවලට සංචාරක වීසා අයදුම් කිරීමෙදී ඒ සදහා ව්‍යාජ ලියකියවිලි සකසා දී ඒ හරහා සංචාරක  වීසා ලබා ගැනීම සඳහා සූක්ෂම ලෙස ජාලගත වූ වංචනික ක්‍රියාවලියක් හරහා  සිදුකෙරේ. ව්‍යාජ ලෙස උප්පැන්න ලියාපදිංචි කිරීමේ සිට ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම, ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත් සැකසීම, ව්‍යාජ ලෙස රැකියා අනන්‍යතාවයන්  ලබා දීම, බැංකු ගිණුම් වර්තා සැකසීම ආදී වූ දීර්ඝ වංචනික ක්‍රමවේදයක් හරහා ප්‍රතික්ෂේප නොවන මට්ටමේ සංචාරක වීසා අයදුම් පත් සකසා දීමට තරම් මිනිස් ජාවාරම්කරුවෝ සමත්ව සිටිති. ඇතැම් විට වීසා නිකුත් කරනු ලබන රාජත්‍රාන්තික ආයතන තුළ සේවය කරනු ලබන ඇතැම් සේවකයන්ද තම ජාලය තුළට ඈඳාගෙන එම වංචනික කටයුත්ත වඩා පහසු කරගැනීමට තරම් ජාවාරම්කරුවෝ දක්ෂව සිටිති.

හෙල්මට් ක්‍රමය සමඟම ක්‍රියාත්මක වන තවත් සූක්ෂම ක්‍රමවේදයකි “සෙටින්ග්ස්” ක්‍රමය. මෙය මිනිස් ජාවාරමේ වැඩි දියුණු අවස්ථාවක් ලෙස දැක්විය හැකිය. මෙහිදී මිනිස් ජාවාරම්කරුවන් ජාලගත වන්නේ ලොව විවිධ රටවල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ සේවය කරනු ලබන ඉතා අතලොස්සක් වූ දූෂිත ආගමන විගමන නිළධාරීන් සමඟය. ගුවන් ගමනක් සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත  ලියකියවිලි නොමැති, නැතහොත් ව්‍යාජ ගුවන් ගමන් ලියකියවිලි සහිත හෝ නෛතිකව ගුවන් ගමන් තහනම් කෙරුණ ආදී වූ ගුවන් ගමනක් සඳහා නෛතිකව සුදුසුකම් නොලත් පුද්ගලයන් ආගමන විගමන කපොලු ඔස්සේ රැගෙන ගොස් ගුවන් යානය වෙත ලඟා වීමට පහසුකම් ලබාගැනීම සඳහා ගුවන් තොටුපොළ කාර්යය මණ්ඩලයේම  කිසිවෙකු පොළබවා ගැනීම “සෙටින්ග්ස්” ක්‍රමය යටතේ සිදුවේ. මුදල් හෝ එවැනි ඉහළ ප්‍රතිලාභ වෙනුවෙන් ලොව බොහෝ රටවල ආගමන විගමන නිළධාරීන්ගෙන් ඇතැමෙක් තම රාජකාරියට මුවාවී ජාවාරම් කරුවන් වෙත සේවා සපයමින් සිටින බව නොරහසකි.

අසාදු ලේඛන (Black list) ගතවී ඇති විදේශීය ගුවන් මගීන් පිළිබඳව දත්ත වාර්තාවක් ලොව සෑම රටකම ආගමන විගමන බලධාරීන් සතුව තිබේ. තම රට තුළට පිවිස රටේ  සම්මත ආගමන විගමන නීති කඩ කළ පිරිස්, මත්ද්‍රව්‍ය ඇතළු විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට නීතියෙන් තහවුරු වූ විදේශීය පුද්ගලයන් ආදී  පිරිස් යළිත් සිය රටට ඇතුළු වීම වැලැක්වීම මෙලෙස පුද්ගලයන් අසාදු ලේඛන ගත කිරීමේ අරමුණයි. නමුත් මිනිස් ජාවාරම්කරුවන් එවැනි දත්ත වාර්තා වෙනස් කිරීම සඳහාද ඉහත සඳහන් පරිදි දූෂිත ආගමන විගමන නිළධාරීන්ගේ සහය ලබා ගනිමින් සිටිති. ඉතා ඉහළ මුදලකට ඇතැම් පුද්ගලයන්ගේ තොරතුරු අසාදු ලේඛන වලින් ඉවත් කළ අවස්ථා පිළිබඳව තොරතුරු ඇත. එසේම ඇතැම් අවස්ථාවල මගියා  ඉදිරිපත් නොකොට ගුවන් ගමන් බලපත්‍රය පමණක් විවිධ පරමාර්ථ වෙනුවෙන් රටට පැමිණි බවට හෝ රටින් පිටව ගිය බවට ආගමන විගමන නිළ මුද්‍රා සහිතව නිළධාරීන් හරහා සහතික කොට ගත් මිනිස් ජාවාරම්කරුවෝද වෙති. සමස්ථයක් වශයෙන් ගත් කල ජාත්‍යන්තර ගුවන් සහ නාවුක සංචරණ ක්‍රියාවලියේ තීරණාත්මක වැඩ කොටසක් ඉටු කරනු ලබන ආගමන විගමන නිළධාරීන් අතරින් ඇතැමෙකු වෙත ඉහළ මිලක් ගෙවා ඔවුන් තම ජාලය වෙත ඈඳා ගන්නට ජාත්‍යන්තර මිනිස් ජාවාරම්කරුවෝ සමත්ව සිටිති. මෙය සමස්ථ ලෝකය පුරාම අත්දැකිය හැකි තත්වයකි.

මිනිස් ජාවාරම්කරුවන් විසින් සූක්ෂම ලෙස සංවිධානය කරනු ලබන ගුවන් ගමන්, එම  ජාවාරමේදී පමණක්ම නොව, ගුවන හරහා සිදු කෙරෙන වෙනත් බොහෝ ජාවාරම් සඳහා යොදාගන්නා ආකාරය දක්නට තිබේ. ජාත්‍යන්තර රත්‍රන් ජාවරම ලොව ඉහළ ලෙස සිදුවන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ අසල්වැසි ඉන්දියාවයි. ප්‍රධාන වශයෙන් සිංගපූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හරහා ඉන්දියාව වෙත නීතිවිරෝධී ලෙස ගුවන් මගින්  ප්‍රවාහනය කරනු ලබන රත්‍රන් තොග ප්‍රවාහනයේ යෙදෙන අති මහත් බහුතරය ව්‍යාජ ගුවන් ගමන් බලපත් උපකාරයෙන් එම ජාවාරමේ නියුතුවන බව පෙනේ. ඒ හා සමගාමීව නීතිවිරෝධී ලෙස රටකින් රටකට විදේශ මුදල් මහා පරිමාණයෙන් රැගෙන යාම, ජාත්‍යන්තරව නැගී එන නව ජාවාරම් රැල්ලක් වන ජීව ජාන ජාවාරම, දුර්ලභ ශාක සහ සතුන් ජාවාරම ආදී ජාත්‍යන්තර ජාවාරම් තුළ මිනිස් ජාවාරම්කරුවන් විසින් යොදා ගන්නා කූට උපක්‍රම භාවිතා වෙමින් තිබේ. මෙහි ඉතා හානි දායක තත්වය වන්නේ මෙවැනි උපක්‍රම හරහා සිය නිවැරදි අනන්‍යතාවය සගවමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ද ලොව පුරා ස්ථානගත වීමද සිදුවිය හැකි බැවිනි.

මේ ආකාර වූ නොයෙක් ක්‍රමවේද ඔස්සේ  විවිධ රටවලට අයත් සංක්‍රමණික පිරිස් ජාත්‍යන්තර දේශ සීමා හරහා රැගෙන යාම තුළින්  ලොව පුරා ක්‍රියාත්මක මිනිස් ජාවාරම්කරුවෝ ඉහළ ලාභ උපයමින් සිටිති. මෙලෙස ආදායම් ලැමීමේ බලාපොරොත්තුව ඇතිව සංක්‍රමණිකයෙකු රැවටීම මගින් හෝ ව්‍යාජ තොරතුරු ලබා දීම මගින් හෝ බලහත්කාරයෙන් මුහුදු මාර්ගයෙන්, ගුවනින් හෝ ගොඩබිම් මාර්ග ඔස්සේ ජාත්‍යන්තර දේශසීමා හරහා නීතිවිරෝධී ලෙස රටකින් රටකට රැගෙන යාම, ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම, නවාතැන් පහසුකම් සැපයීම, ඒ සඳහා වූ ලේඛන ආදිය ව්‍යාජ ලෙස පිළියෙල කර දීමය විශේෂිත  ලෙස    “සංක්‍රමණික ජාවාරම”  (smuggling of migrant) ලෙස ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වනු ලබන්නේ. මේ හා බද්ධ වූ සමගාමී ක්‍රියාවලිය වන්නෙ එළෙස සංක්‍රමණික ජාවාරම හරහා වෙනත් රටක් තුළට සංක්‍රමණය වූ පිරිස් එම රට තුළ බලහත්කාරයෙන් සේවයේ යෙදවීම, ලිංගික වෙළද පොළ වෙත යොමු කිරීම, වහල් සේවයේ යෙදවීම,  ශරීර අවයව ඉවත් කිරීම සදහා යොදා ගැනීම, විවිධ තාඩන පීඩන හා හිංසනයන්ට ලක්කිරීමයි.  “මිනිස් ජාවාරම” ලෙස විශේෂිත ලෙස හඳුන්වන්නේ එම ක්‍රියාවලියයි  (Human Trafficking) ජාත්‍යන්තරව මෙම ක්‍රියාවලීන් දෙක සඳහා වෙන් වෙන් වශයෙන් වූ අර්ත දැක්වීම් ඉදිරිපත් වී ඇත68. පොදුවේ ගත්කල මෙම මිනිසුන් සම්බන්ධයෙන් වූ ජාවාරම් දෙකම ජාත්‍යන්තර  නීතිය  යටතේ  “අපරාධ”  (crime) ලෙස හඳුන්වා ඇත. ඒ අතුරින් මිනිස් ජාවාරම (Human Trafficking) “මනුෂ්‍යත්වට එරෙහි වූ අපරාධයක්” (Crimes Against Humanity) ලෙස විශේෂිතව හදුන්වා දී ඇත. මෙම අපරාධ මැඩ පැවැත්වීම සඳහා ජාත්‍යන්තරව සම්මත වූ අණ පනත්, නීති රීති, සම්මුති ආදිය රැසක් පැවතියද සුව කිරීමට අපහසු දරුණු පිළිකාවක් සේ එය සමස්ථ මානව සමාජය පුරාම සියවස් ගණනාවක් මුළුල්ලේ විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මකව පවතී.

(ලබන සතියට - විදේශීය සංක්‍රමණයන් නීතිවිරෝධී ලෙස මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව වෙත රැගෙන යාම - අපායේ කතාව-16)

rasika chandrasekara

| රසික චන්ද්‍රසේකර

 

සබැඳි පුවත්