
“රට විරුවන්” යන වචනය මෑත කාලයේදී වැඩිපුරම කතා බහට එක්වූ වචනයකි. අතීතයේදී "රට විරුවන්" යන වචනය භාවිතා වූයේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සපයා ඇති වීරයන් හදුන්වා දීමටය. මෙය බහුලව භාවිතා කලේ;
- යුද්ධ වීරයන්ට (ජාතියේ ආරක්ෂාව සඳහා සටන් කළ හමුදා සාමාජිකයින්)
- ජාතික නායකයින්ට (රටේ නිදහස, සංවර්ධනය, ස්වාධීනත්වය සඳහා කැප වූ පුරෝගාමීන්)
- රට වෙනුවෙන් කැපවූ වෘත්තිකයන්ට (විද්‍යාඥයෙකු, ක්‍රීඩකයෙකු, ගුරුවරයෙකු, වෛද්‍යවරයෙකු වැනි අය)
ගෞරව දැක්වීමෙන් අරමුණු කර ගෙනය. ඔවුන්ගේ සේවය ඇගයීම හරහා මතු පරපුරට ආදර්ශයක් සැපයීම තුලින් ඔවුන් රට වෙනුවෙන් වැඩ කිරීමට අභිප්‍රේරණය කිරීමයි.
අතීතයේ එය එසේ උවත්, මෑත සමාජ මාධ්‍ය වල “රට විරුවා” යන වචනය භාවිතා වන්නේ වෙනමම පිරිසක් හැදින්වීමටය. ඔවුන් නම් ලංකාවේ ඉපිද, වෙන රටවලට පදිංචියට ගොස් ලංකාවේ දේශපාලන දිශානතිය වෙනස් කිරීමට ඔවුන්ගේ පරම අයිතිය සහ වගකීමයැයි යැයි ලෝකයට පෙන්වා කටයුතු කරන අයවලුන්ටය. ලංකාවට පසුව වැඩිම සිංහල ජනගහනයක් ජීවත් වන ඔස්ට්‍රේලායාවේ මෙම රට විරුවන් ප්‍රමාණය අධිකය. එයිනුත් බහුතරය වාසය කරන්නේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේය.
අද ලෝකයේ මිනිසුන් විවිධ හේතූන් මත තම රටවලට සංක්‍රමණය වන අතර, ඒවා සාමාන්‍යයෙන් “තල්ලු සාධක” (Push Factors) සහ “ආකර්ශණය කර ගැනීමේ සාධක” (Pull Factors) ලෙස කාණ්ඩගත කළ හැකිය. ඒ මිනිසුන් ඔවුන්ගේ මව් රටින් ඉවතට යෑමට මග පාදන කරුණු සහ ඔවුන් තවත් රටකට ආකර්ෂණය කරන කරුණුය.
ආගමික, වාර්ගික සහ දේශපාලන හේතු නිසා රටක ගැටුම් සහ යුද්ධය පවතින අවස්ථාවක ජනතාව ප්‍රචණ්ඩත්වය හෝ දේශපාලන නොසන්සුන්තාවයන් මිදීම සදහා වෙනත් රටකට සංක්‍රමණය වීම මේ අතර ප්‍රධාන තැනක් ගනී. යුද කලාපවලින් අවතැන්වූ නිසා පැමිණෙන සංක්‍රමණිකයන් සරණාගතයින් ලෙස හෝ දේශපාලන සරණාගතයින් ලෙස වෙනත් රටවල් වලට සංක්‍රමණය වේ.
මිනිසුන් සංක්‍රමණය වීමට දෙවන ප්‍රධාණ කරුණ වන්නේ දරිද්‍රතාවයයි. තම රටේ තමන්ට සරිලන ආර්ථික අවස්ථා නැතිකම, ආර්ථික ස්ථාවරයක් සාදා ගැනීමට ඇති නොහැකියාව, තමන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා නොමැතිකම නිසා මිනිසුන් පවුල් පිටින් දියුණු රටවල් වලට සංක්‍රමණය වෙති.
මිනිසුන් තවත් රටකට සංක්‍රමණය වීමට හේතු වන තෙවන කාරණාව වන්නේ ඔවුන් වෙනස් ජීවන රටාවකට (lifestyle) කැමති වීමයි. අතීතයේදී යුද්ධය හා ආර්ථික ගැටලු සංක්‍රමණය සදහා ප්‍රධාණ හේතු ලෙස සැළකුවද, ඝෝලීයකරණයත් සමග සමාජ මාධ්‍ය සහ අනෙක් එකී මෙකී නොකී විවිධ මාධ්‍යන් ඔස්සේ අනෙක් රටවල පහසුකම්, ජීවන රටාව පමණක් නොව ස්වභාව සෞන්දර්ය, විලාසිතා, ආහාර පාන සහ එම රටවල වැසියන් ගත කරන ජීවිත දැකීම තුලින් උපදින ආසාව නිසා ඔවුන් ඒ රට වලට සංක්‍රමණය කරයි.
අනෙක් හේතූන් අතර ස්වාභාවික විපත්, භූමිකම්පා, ගංවතුර, නියඟ හෝ දේශගුණික විපර්යාස ඇති අතර එවැනි කරුණු නිසා සංක්‍රමණය වන පිරිස අඩුය.
මිනිසුන් සංක්‍රමණය වීමට නව රටක් තෝරා ගැනීමට ධනාත්මක ආකර්ෂණයන් හේතු අතර තමාගේ සුදුසුකම් සදහා වඩා හොඳ රැකියාවක් හෝ ඉහළ වැටුප්, සාමකාමී පරිසරයක් සහ ශක්තිමත් නීති පද්ධතියක්, වඩා හොඳ ගුණාත්මක පාසල් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය, වඩා දියුණු හෝ දැරිය හැකි වෛද්‍ය ප්‍රතිකාර, පුද්ගලික, ආගමික හෝ දේශපාලන නිදහස සහ වඩා හොද ජීවන තත්ත්වයන් තිබීමයි.
ඊට අමතරව, ත්‍රාසජනක හෝ නව අත්දැකීම් ලබා ගැනීම, නව සංස්කෘතියක් හෝ ජීවන රටාවක් ගවේෂණය කිරීමට ඇති ආශාව, වෙනත් රටකින් සහකාරියක හෝ සහකරුවෙකු සමඟ සම්බන්ධ වීම,විශ්‍රාම ගැනීම නිසා අඩු ජීවන වියදම් හෝ වඩා හොඳ දේශගුණයක් ඇති රටවලට යාම වැනි කරුණුද පුද්ගල සංක්‍රමණයන්ට බලපායි.
මා ලිපියේ කතා කරන දියුණු රට වල ජීවත් වෙමින් ලංකාවේ “system change” කිරීම තම පරම අයිතිය ලෙස සළකන නූතන රට විරුවන් බොහොමයක් ලංකාවේ සිට වෙනත් දියුණු රට වලට සංක්‍රමණය වී ඇත්තේ වඩා වාසි සහගත ස්ථාවර රැකියා අවස්ථා ලබාගෙන ආර්ථික දියුණුවක් ලබා ගැනීම සදහාය. තව පිරිසක්, දියුණු රටවල ජීවන රටාවට ඇති ආශාව නිසා එම රට වලට සංක්‍රමණය වූවන්ය. සුළුතරයක් අසූව දශකයේ අග භාගයේදී පැවති දේශපාලන තත්වයන් නිසා දේශපාලන සරණාගත ලේබලය හරහා දියුණු රට වලට සංක්‍රමණය විය.
ශ්‍රී ලංකා රජය කොටි ත්‍රස්ථවාදීන් සමග පැවති යුධ තත්වය නිසා සංක්‍රමණය කල දමිල ජන කණ්ඩායමක්ද ඇත. එය වෙනමම කතා කල යුතු මාතෘකාවකි.
මා මේ කතා කරන ඔස්ට්‍රේලියානු රට විරුවන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුලින් පාසල් අධ්‍යාපනය ලැබූ අයවේ. එයින් බොහොමයක් ලංකාවේ තෝරාගත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් නෙමිලේ ලබා දෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූවෝ වෙති. ඔවුන් කාණ්ඩ කිහිපයක් යටතේ ඔස්ට්‍රේලියාව වැනි දියුණු ධණවාදී රට වලට සංක්‍රමණය වේ.
පශ්චාත් උපාධි සදහා ශිෂ්‍ය වීසා යටතේ පැමිණෙන්නන්
මොවුන් මුදල් ගෙවා අධ්‍ය්‍යපනය ලැබීමට හෝ ශිෂ්‍යත්ව යටතේ පැමිනෙයි. මෙයිනුත් සමහර පිරිසක් ලංකාවේ විශ්ව විද්‍යාල වල හෝ වෙනත් රජයේ ආයතන වල තණතුරු හෙබවූ අයයි. ඔවුන් අධ්‍යාපන නිවාඩු හෝ වැටුප් රහිත නිවාඩු ලබා පැමිනෙයි. පවුල් පිටින් පැමිනෙන මොවුන්, ඉගෙනුම් කාලය අවසානයේ පවුල් පිටින්ම එම රටවල නවතියි. එසේ නවතින විට බැඳුම්කර වටිනාකම ගෙවීමට ඔවුන්ට සිදු වුවත් ඔවුන් සදහා අවුරුදු ගණනාවක් එම තණතුර වෙන්කර තබා ගැනීම නිසා සිදුවන පාඩුව මුදල් වලින් මැනිය නොහැක.
කුසලතා සංක්‍රමණය (skill migration)
මොවුන් ලංකාවේ අධ්‍යාපනය නිසා ලැබුන කුසලතාවය සහ නිපුනතාවය නිසාම දියුණු රටකට සංක්‍රමණය වීමේ භාග්‍ය ලැබූ අයයි. ලංකාවේ අධ්‍යාපන පද්ධතියට වැඩිපුරම ගරහන්නේද මොවුන්ය.
දේශපාලන හේතු නිසා සංක්‍රමණය වූවන්
අසූව දශකයේ අග භාගයේ රට තුල ක්‍රියාත්මක වූ ත්‍රස්ථවාදී දේශපාලන ක්‍රියාවන්ට දායක වූවන් නීතියෙන් හෝ ඔවුන් “මර්ධණය” කිරීමෙන් බේරීමට හෝ තමන්ගේ සගයන් බිල්ලට දී තම ජීවිත බේරා ගැනීමට හෝ සංක්‍රමණය වූවන්ය. පුදුමය නම් ශ්‍රී ලංකාව සමාජවාධී රාජ්‍යක් කිරීමට සටන් කල ඔවුන් සංක්‍රමණය කලේද ධනවාදී යුරෝපය, ඇමරිකාව හෝ ඔස්ට්‍රේලියාව වැනි දියුණු ධණවාදී රට වලටය. කියුබාව, රුසියාව වැනි රට වලට යෑමට ඔවුන්ට හැකියාවක් තිබුනත්, ඔවුන් තෝරාගෙන ඇත්තේ මෙම රටවල්ය.
සංක්‍රමණය වූ මුල් කාලයේදී හැමෝටම මුහුණ පාන්නට සිදුවන ගැටලු, අමාරුකම් සියල්ලටම ඔවුන්ද මුහුණ දෙයි. යහමින් මුදල් හදල් තිබී, එසේත් නැතිනහ් කෙලින්ම රැකියාවක් ලැබී සංක්‍රමණය කරන කෙනෙකුගේ ජීවිතයට වඩා ශිෂ්‍ය වීසා හෝ තාවකාළික පදිංචි වීසා හෝ ස්ථීර පදිංචි වීසා ලබා එන අයගේ ජීවිත අසීරුය. මුල් කාලයේදී රැකියා සොයා ගැනීම ඉතා අසීරු වීම නිසා කුමන හෝ රැකියාවක් කරමින් මුදල් උපයා ගැනීමට ඔවුන්ට සිදුවේ. ලංකාවේදී සුදු කරපටි රැකියා ඉල්ලමින් උද්ඝෝෂණය කල, වැඩි පඩි ඉල්ලමින් වර්ජණය කල පුද්ගලයින් පිරිසිදු කරන්නන්, කර්මාන්තශාලා කම්කරුවන්, ආපනශාලා මුළුතැන්ගේ සහායකයින්, බඩු බෙදාහරින්නන් වැනි රැකියාවල කිසිම පැමිණිලි කිරීමක්, මැසිවිළි නැගීමක් නැතිව වැඩ කරයි.
එසේ පැමිනෙන කාන්තාවන්, තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියාවක් නොලැබුනහොත් බොහෝවිට ඉදි ආප්ප, දේශීය රස කැවිලි, වැනි ආහාර පාන සකස් කර විකිණීම හෝ නිවසේ සිට දරුවන් රැක බලා ගැනීම වැනි රැකියාවන් කරයි. බොහෝ විට කාන්තාවන්ට ගෙදර සිටම රැකියාවක් කිරීමට සිදුවන්නේ ලංකාවේ මෙන් දරුවන් බලා ගැනීමට, ගෙදර වැඩ කටයුතු වලට උදව්වට කිසිවෙකුත් නොමැති නිසාය.
සුදු කර පටි රැකියා කරන අයට මුදල් යහමින් ලැබුනත්, ඔවුන්ගේ රැකියාවල වගකීම වැඩිය. කිරීමට ඇති වැඩ ප්‍රමාණයද අධිකය. ලංකාවේ වාගේ ස්ථිර රැකියා නැත. රැකියාවල සුරක්ෂිතභාවයක් නැත. ඔස්ට්‍රේලියාවේ රැකියාව පවතින්නේ කාර්ය සාධනය පදනම් කර ගනිමිනි. “වැඩ බැරිනම්” හෝ රැකියාව හරි හැටි නොකරන්නේ නම්, මාසෙක පඩිය ලබා දී රැකියාවෙන් දොට්ට දැමිය හැක. වැඩි පඩි ඉල්ලුවත් ප්‍රතිඵලය එසේමය. එය ලොකු පොඩි සෑම රැකියාවකටම පොදුය.
මෙසේ ජීවත්වන ලාංකිකයන්ට විනෝදාංශ ඇත. පළමු පරම්පරාවේ සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවේ සංස්කෘතියට ඒකාබද්ධ වන්නේ නැත. ඔවුන් ජීවත් වන්නේ වෙනමම “ශ්‍රි ලංකික ඔස්ට්‍රේලියානු” කුලකයක් ලෙසය.
එබැවින් ඔවුන්ගේ විනෝදාංශද සැබැවින්ම ශ්‍රී ලාංකිකය.
සතිය පුරා දැඩි වෙහෙසකාරී රැකියා කරන, පීඩනයකින් ජීවත්වන ශ්‍රී ලංකික ඔස්ට්‍රේලියානුවන්ට සති අන්තය යනු විනෝදය සහ මනස සැහැල්ලු කර ගැනීමට ඇති එකම අවස්ථාවයි. ලංකාවේ වාගේම පන්සල තමන්ගේ විනෝදාංශය කරගත් අය බොහෝය. එයින් වැඩි ප්‍රමාණයක් කාන්තාවන්ය. පිරිමින්ගේ ප්‍රධාන විනෝදාංශය වන්නේ ක්‍රිකට්ය. සමිති සමාගම් අටවාගෙන මුලු සති අන්තයම ඔවුන් ක්‍රිකට් ගසති. සති අන්තයේ ලංකාවේ කලා කරුවන් ගෙන්වාගෙන කරන සංගීත සංදර්ශණද එමටය. පාසල් ආදි ශිෂ්‍ය සංගම් සහ විශ්ව විද්‍යාල ආදි ශිෂ්‍ය සංගම් ආදී විවිධ සංගම් ලංකාවටත් වඩා ඔස්ට්‍රේලියාවේ සක්‍රීයය.
ලාංකික ඔස්ට්‍රේලියානුවන්ට එක් වුන අලුත්ම විනෝදාශය ලංකාවේ දේශපාලනයයි. මගේ දැනුමට අනුව ඔස්ට්‍රේලියානු රට විරුවන් බිහි වන්නේ ඒ තුලිනි. ඊට සමගාමීව සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන් සිටින ලෝකයේ අනෙක් රට වලද “රට විරු ගාය” නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ අප දැන් හදුන්වන සංසිද්ධිය ඇති විය.
මෙම විනෝදාංශය ඔස්ට්‍රේලියාවට හදුන්වා දුන්නේ 2018 වැනි මෑත කාළයකදීය. ඊට කළින් ලංකාවේ දේශපාලනය ගැන, සාමාන්‍ය සංක්‍රමණිකයන් මෙතරම් උන්නදුවක් දැක්වූයේ නැත.
මෙම විනෝදාංශය ඉතා ජනප්‍රිය වූයේ පිරිමි පාර්ශවය අතරය. සති අන්තයේ හවසට මදුවිත තොල ගාමින් බාබිකියු කරන ලද මස් පෙත්තක රස බලමින් ලංකාව “හදන” හැටි සහ ලංකාවේ “system change” කරන හැටි සාකච්ඡා කිරීම ඔවුන්ට මහා ආශ්වාදයක් ගෙන දෙන කාර්යකි. ඔවුන්ට අනුව ලංකාවේ ජනතාවට දේශපාලනය නොතේරේ. ඔවුන්ට දැනීමක් නැත. ඔවුන් අහිංසකය. එබැවින් ලංකාව ගොඩනගන ජාතික වගකීම මෙම දැනුම් තේරුම් ඇති රට විරුවන් වන ඔවුන්ට පැවරී ඇත. මේ දේශපාලනය මා හදුන්වන්නේ “Weekend Backyard Politics” (WBP)ලෙසයි.
ලංකාවේ වාගේම මෙහි සිටින සමහර ලාංකික ප්‍රජාවගේත් චන්ද දුන්නත් නොදුන්නත් “ස්ථිර” පක්ෂයක් ඇත. ඔවුන් කිසිවක් හෝ කිසිවෙකු නිසා තම පක්ෂය වෙනස් නොකරයි. තවත් ප්‍රතිශතයක් සමාජ වෛරය සහ “ඇරියස්” නැති අයවලුන්ය. ඔවුන් රට වෙනුවෙන් ඒ ඒ අවස්ථාවට අවශ්‍ය තීරණය ගත්තත් රැලි අනුව යමින් ලංකාවේ දේශපාලනයට අත දැමීමට නොයයි.
මෙහි සිටින අනෙක් කණ්ඩායම වන්නේ පෙර මා කියූ WBP කරන කණ්ඩායමයි. මොවුන් ලංකාවේ ඇති වන සියලුම ජනප්‍රිය දේශපාලන රැලි වලට මෙලෝ නිනව්වක් නැතුව ගසාගෙන යන කණ්ඩායමයි. මෙම කණ්ඩායම ලංකාවේ අවස්ථාවාදී දේශපාලන පක්ෂ වලට මැණික් පතලකි, රත්තරන් ඉල්ලමකි.
මෙම කණ්ඩායම 2019 මැතිවරණයට දෙපිලකට බෙදී සිටියෝය. බහුතරය ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව කටයුතු කළ අතර, අනෙක් කොටස නාගානන්ද මහතාට පක්ෂව කටයුතු කලහ. ඔවුන් මැතිවරණ ව්‍යාපාර, රැස්වීම්, පත්‍රිකා මුද්‍රණය කොට බෙදා හැරීම, මුදල් එකතු කිරීම්, අනෙක් පක්ෂ වලට මඩ ගැසීම් ආදී ලංකාවේ චන්දයකදී සිදුවන සෑම දෙයක්ම තමන්ගේ චන්ද අපේක්ෂකයා වෙනුවෙන් කලහ. නාගානන්ද මහතාට ලංකාවේ සිටියාට වඩා වැඩි දායක පිරිසක් මෙල්බර්න් නුවර සිටි බව මාගේ හැගීමයි. අවසන ඔවුන් ගුවන්යානා පවා කුළියට ගෙන චන්දය දැමීමටද ලංකාවට ගියෝය. එය හරියට ලංකාවේ “big match සංස්කෘතිය” වාගේය. බැනර් කොඩි, පපර බෑන්ඩ් සහ මදුවිත සමග කානිවල් ආශ්වාදයක් රට විරුවන් ඒ තුලින් ලබා ගත්තෝය. 2019 මැතිවරණයට ඔස්ට්‍රේලියාවේ හෝ ලෝකයේ මාලිමාවට රැල්ලක් තිබුනේ නැත.
2024 චන්දය වන විට ජවිපය ප්‍රමුඛ මාලිමාව මෙම WBP කණ්ඩායම හොදින් හදුනා ගන්නා ලදී. ඔස්ට්‍රේලියාවේ ජවිප නායකයින් විසින් 2024 චන්දය සදහා පාවිච්චි කලේ මෙම කණ්ඩායමයි. ඔවුන් කෙතරම් “මාලිමාකරණය” උනාද කිවහොත් ඔවුන් 2019 මැතිවරණයේදී “කඩේ” ගියේ මාලිමාවට හාත්පසින්ම විරුද්ධ ප්‍රතිපත්ති ඇති පක්ෂයකට සහ අපේක්ෂකයෙකුට යන වගවත් ඔවුන්ට මතක තිබුනේ නැත. ඔවුන් හැසිරුනේ උපන්දා සිට සමාජවාදය සහ කොමියුනිස්ට් වාදය ඔවුන්ගේ ජීවතයේ එකම මග පෙන්වන්නන් ලෙසය. ඔවුන්ට අනුව රටක් දියුණු කළ යුතු සහ හැකි මග එයයි. ලංකාව ගොඩ ගැනීමමට ඇති එකම මග එයයි. 2019 වාගේම 2024 දීද රට විරුවන්ගේ හැසිරීම එකමය, වෙනස ඔවුන් ආධාර කරන පක්ෂය වෙනස්වීම පමණි. ඔවුන් සෑම විටකම ජනප්‍රිය රැල්ලට අනුව යමින් සෙක්කුවේ බැදි ගවයෙකු සේ දක්කන දිශාවට යන අතර “in trend” වීම ඔවුන්ගේ දේශපාලන විලාසිතාවයි.
උත්ප්‍රාසය නම්, 2024 දී ඔවුන් ලංකාව සමාජවාදී මාවතකට ගෙනයාමයට වැඩ කලේ, ධණවාදී රටවල් වල ජීවත් වෙමින්, ධණවාදයේ පිහිටෙන් ලැබෙන සැප සම්පත් විදිමින් වීමය. බුද්ධි ඝලනයට ගැන කතා කරන ඔවුන් බොහොමයක්, ලංකාවේ නොමිලේ අධ්‍යාපනය ලබා, ඒ පිහිටෙන් සංක්‍රමණය කලවුන්ය.
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරනවාට විරුද්ධ ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලය. රජයේ බදු ප්‍රතිපත්ති වලට විරුද්ධ ඔවුන් ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින ඉහල යන බදු වලට එරෙහිව හඩක් නොනගයි. ලංකෙවේ අදායමට සාපේක්ෂව ඉහල ගොස් ඇති ජීවන වියදම ගැන කෑ මොර දෙන ඔවුන් ඔස්ට්‍රේලියාවේ කෝවිඩ් 19 වසංගතයෙන් පසු ඉහල ගිය ජීවන වියදම හා ඊට සාපේක්ෂව වැඩි නොවූ ගෘහස්ථ ආදායම ගැන කතා නොකරයි.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ලංකාව වෙනස් කිරීමට ඇප කැප වන මේ රට විරුවන්ගේ දරුවන් මෙහි පුරවැසියන්ය. රට විරුවන්යත් ඔවුන්ගේ දරුවන්වත් කවමදාකවත් ලංකාවේ ජීවත් වීමට යන්නේ නැත.
මා කලින් විග්‍රහ කල ආකාරයට, මේ රට විරුවන් බොහොමයක් සංක්‍රමණිකයන් තමන්ගේ විවිධ පෞද්ගලික හේතු මත ලංකාවේ ජීවත්වීමට ඇති නොහැකියාව නිසා මෙම රට වලට සංක්‍රමණය කල අයයි. එසේ නොමැතිව ස්ව කැමැත්තෙන් ඔස්ට්‍රේලියාවට, ඔස්ට්‍රේලියානු සංස්කෘතියට, ජීවන රටාවට ඇති කැමැත්ත නිසා සංක්‍රමණය කල අය නොවේ. ඔවුන්ට ලංකාවේ ලබා ගත හැකි තත්වය, ජීවන තෘප්තිය මෙහිදී නොලැබේ.
රට විරුවන්ට ලංකාවේ ජනතාවට සහ දේශපාලන පක්ෂ වලට තමන්ගේ හැකියාව සහ බලය පෙන්වීමට ඇති අවස්ථාව චන්ද කාලයයි. ඔවුන් මේ සදහා කෙතරම් කාලය, ශ්‍රමය සහ මිල මුදල් වැය කරනවාද කිවහොක්, ප්‍රසිද්ධ ප්‍රකාශිත ප්‍රවෘත්ති වලට අනුව මාලිමාවේ චන්ද ව්‍යාපාරයට වැඩිම මුදල් ප්‍රමාණයක් එකතු කර දෙනු ලැබූවේ ඔස්ට්‍රේලියානු රට විරුවන් විසින්ය.
ඔස්ට්‍රේලියාවේ මාලිමා සංවිධායකවරයාගේ නම මාලිමා ජාතික ලැයිස්තුවට දමනු ලැබූයේ, ඒ මහා ඩොලර් කන්දරාවට කෘත ගුණ සැළකීම සදහා යැයි මෙහි රාවයක් ඇත. එහි ඇත්ත නැත්ත නොදන්නා නමුත්, එම චෝදනාව කරන්නේ පැරණි ජවිපෙ කාඩරය බැවින් එහි ඇත්තන් තිබීමටද ඉඩ ඇත.
ඒ කෙසේ වෙතත්, චන්දයට පසු රට විරුවන්ගේ කාර්ය භාරය අවසන්ය. චන්දය දී තමන් කැමති පුද්ගලයා සහ පක්ෂය පත් කර ගත් පසු ඔවුන් නැවත චන්දයක් එන තුරු තමන්ගේ සාමාන්‍ය ඔස්ට්‍රේලියානු ජීවිතය ගත කරයි. ඔවුන් රජයට සහ රටට උදව් කිරීමට, රට “හැදීමට” ලංකාවට යන්නේ නැත. ඔවුන්ගේ දරුවන් යන්නේද නැත. ඩොලර් යවන්නේද නැත. යථාර්තය නම් ලංකාවේ දේශපාලන තත්වය කුමක් උවත්, ජීවන තත්වය කුමක් වුවත් එය ඔවුන්ට බලපාන්නේ නැත. ඔවුන්ගේ මුදල් වලින්, ඔවුන්ගේ චන්ද ව්‍යාපාරවලින්, ඔවුන්ගේ චන්ද වලින් පත්වෙන රජයන් නිසා ඇති වන ප්‍රතිවිපාක විදින්නට ඔවුන් ලංකාවේ ජීවත් වන්නේ නැත. ලංකාවේ දේශපාලනය රට විරුවන්ට සති අග සාදයන්හිදී විනෝදාස්වාදය සපයන තවත් එක් මාතෘකාවක් පමණි. එයත් චන්ද කාලයට උඩට එන සෘතුමය මාතෘකාවක් පමණි.
තමන්ගේ රටේ නායකයා පත් කර ගැනීම, රට පාලනය කරන රජය පත් කර ගැනීම රටේ ජීවත්වන ජනතාවගේ අයිතියකි. වෙනත් රටක ස්තිරව පදිංචිව සිටින සහ වෙනත් රටවල දෙවැනි පුරවැසිභාවය ලබා පදිංචිව සිටින අයගේ අයිතියක් නොවේ. ඔවුන්ගේ යුතුකම වන්නේ තම මව් රටට තම දැනුමෙන් සහ මූල්‍යම අතින් හැකි පමණ උදව් උපකාර කිරීමය. තමන්ව හදා වඩා, අධ්‍යාපනය ලබා දුන් තම මව් රටට ඒ ණය හැකි පමණ ගෙවීමය. ලංකාවේ දේශපාලන පක්ෂ දිනවීමට මුදල් සැපයීමට හෝ චන්දය පාවිච්චි කිරීමට මේ රට විරුවන්ට නෛතික අයිතියක් තිබුනද, සදාචාරාත්මක අයිතියක් තියනවාද යන කාරණාව පිළිබදව ලංකාවේ ජීවත් වෙමින් ලංකාව දියුණු කිරීමට ඉමහත් පරිශ්‍රමයක් දරන ශ්‍රී ලාංකික ජනතාව සිතා බැලිය යුතුය.
අවසානයේදී, මාගේ දහසය හැවිරිදි දියණිය මේ නූතන රට විරුවන් පිළිබද මට පැවසූ ඇයගේ අදහස ඇයගේ වචන වලින්ම මා ඔබට කියමි.
“එයාල හරියටම Kid’s playground එකේ තියන Sand box එකේ play කරන ළමයි වගේ, interval එකට ඇවිත් play කරල ඒක messy කරල යනවා, ආය next interval එකට ඇවිත් ඒක ආපහු වෙන විදිහකට messy කරනවා” .
ශ්‍රී ලංකාව අපගේ මාතෘ භූමියයි. එය කිසිම කෙනෙකුගේ විවේක කාලයට, විනෝදාශ්වාදය සදහා සෙල්ලම් කිරීමට සපයා ඇති “වැලි පෙට්ටියක්” නොවන බව “Weekend Backyard Politics” වල නිරත, ධනවාදී රටවල ජීවත්වන රට විරුවන් මතක තබා ගත යුතුය.
(සටහන | ආචාර්ය රසිකා කුමාරසිංහ)
ඔස්ට්‍රේලියාවේ Peter MacCallum Cancer Centre හි පර්යේෂණ ආචාරධර්ම ජේෂ්ඨ කළමණාකාරිනී
මෙල්බර්න් විශ්ව වීද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
Cette adresse e-mail est protégée contre les robots spammeurs. Vous devez activer le JavaScript pour la visualiser.
12/08/2025