ඕනෑම ආයතනයක් හෝ සමාගමක තුළ එහි ඵලදායිතාවය සඳහා එහි කාර්මික සාමය සහ යහපත් සම්බන්ධතාවයක් අවශ්‍ය වේ. ඒ සඳහා ආයතනයේ සේවක සේව්‍ය සබඳතාවය ඉතා වැදගත් වේ .අප රටේ කාර්මික නීතිය සම්බන්ධයෙන් ලියැවී ඇති නීති, අණපනත්, පමණ ඉක්මවා තිබුණද එකී නීති ක්‍රියාත්මක වීමේ දී පෙනී යන කරුණක් වන්නේ කාර්මික සාමය වෙනුවට කාර්මික ආරවුල් ඇති වී කම්කරුවන්ගේ කම්කරු ගැටලු තවමත් විසඳී නොමැතිව දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයකි. දේශීය නීති පමණක්ම තුළින් කාර්මික ආරවුල් විසඳා ගැනීමට අපට නොහැකි බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැනි කම්කරු ප්රමිතීන් හඳුන්වාදෙන ආයතන මගින් වරින් වර නිකුත් කර ඇති ජාත්‍යන්තර සම්මුති, ජාත්‍යන්තර නිර්දේශ දෙස බැලීමේදී මනාව පැහැදිලි වේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් හඳුන්වාදුන් තවත් කාලෝචිත ක්‍රමවේදයක් ලෙස මෙම social dialogue හෙවත් සමාජ කතිකාව හඳුන්වා දිය හැකිය.
සමාජ කතිකාව යනුවෙන් හඳුන්වන්නේ සේවක සේව්‍ය දෙපාර්ශ්වය, රජය හා අනිකුත් සියලු පාර්ශ්වයන් එක්ව ඇතිකර ගන්නා ලද ත්‍රෛයිපාර්ශවීය(tripartite) සාකච්ඡාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.
මෙම සමාජ කතිකාවේ අරමුණු වන්නේ
1. සේවක සේවය අතර ඇතිවන කාර්මික ආරවුල් වෙනුවට කාර්මික සාමය ඇතිවීම
2. වැඩ වර්ජන, උද්ඝෝෂණ, වැනි වෘත්තිය සමිති ක්‍රියාකාරකම් වෙනුවට සේවකයින් ඵලදායි ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක වීම
3. ආර්ථික සංවර්ධනය ඇතිවීම
4. ආයතන තුළ ගැටීම් වෙනුවට සහයෝගීතාවය ඇතිවීම දැක්විය හැකිය.
සමාජ කතිකාව තුළින් වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වයට සේවක සම්බන්ධතාවය මනා ලෙස පවත්වාගෙන යෑමට මහත් කාර්යභාරයක් සිදුකළ හැකිය. එනම්
.1. සමාගමේ නිදහස හා සංවිධානය වීමේ අයිතිය ආරක්ෂා කිරීමේ අංක 87 දරණ සම්මුතිය
2. සංවිධානය වීමේ හා සාමූහික කේවල් කිරීමේ අංක 98 දරණ සම්මුතිය
3. සාමූහික කේවල් කිරීම පිළිබඳ අංක154 දරණ සම්මුතිය
ආදි සම්මුතීන් මඟින් සමාජ කතිකාව තුළින් ත්‍රෛයි පාර්ශ්වීය සාකච්ඡා පිලිබද ප්රමිතීන් හඳුන්වා දී ඇත.
මීට අමතරව ජාත්‍යන්තර ප්රකාශනයන් මගින්ද සමාජ කතිකාව නැමැති ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇති වැදගත්කම පිළිබඳ දක්වා ඇත.
1 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්රකාශනයේ 23 ව්‍යවස්ථාව වෘත්තිය සමිතියක සෑදීමට සහ බැඳීමට ඇති අයිතිය පෙන්වා දී ඇත.
2. සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය
22 ව්‍යවස්ථාව මගින් රැස් වීමට ඇති අයිතිය සමග වෘත්තිය සමිතියකට බැඳීමට ඇති අයිතිය සඳහන් වේ.
ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය
මෙමගින්ද රැකියාව සාධාරණ හා වාසි සහගත කොන්දේසි භුක්ති විඳීමට ඇති අයිතිය පෙන්වා දෙයි. තවද වෘත්තිය සමිතියකට බැඳීමට ඇති අයිතිය ද නැවත නැවතත් තහවුරු කොට ඇත.
මෙම ජාත්‍යන්තර ප්රමිතීන් පදනම් කරගනිමින් අප රටේ කම්කරු නීතීන් පණත් ලෙස අපට ලැබී ඇත.
1.1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත
2.1954 අංක19 දරන සාප්පු හා කාර්යාල පනත
3.1941 අංක 27 දරණ පඩිපාලක සභා ආඥා පනත දැක්විය හැකිය.
ඒ අනුව කාර්මික ආරවුල් පනතේ ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදය සමාජ කතිකාව පදනම් කරගෙන ක්‍රියාත්මක වේ. තවද කාර්මික සබඳතාවය තුළින් ගොඩනැගෙන අන්‍යෝන්‍ය අවබෝධය තුළින් සාමූහික ගිවිසුමකට එළඹීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.
මෙම සමාජ කතිකාව තුළින් ආයතනික සහයෝගීතාවය ඇතිකර ගැනීමට අවශ්‍ය කරුණු කාරණා කිහිපයකි.
- සේවක ප්‍රශ්න දෙස සංවේදී සහ විවෘත මනසකින් බැලිය යුතුය
- නව අදහස් සඳහා ඉඩ ලබාදීම
- සියලුම දෙනා පොදු අවබෝධයකින් කටයුතු කිරීම
- අන් අයගේ මතයට ගරු කිරීම
- සාමූහික හැඟීමකින් කටයුතු කිරීම
- අගතිගාමී අදහස් අවම කර ගැනීම
- නිදහස් වැඩ පරිසරය ක උදාකර දීම
- සියලු පාර්ශවයන් දැනුවත් කිරීම
ඒ අනුව සමාජ කතිකාව තුළ ආයතනික සහයෝගීතාවය වර්ධනය වී කාර්මික සාමය ඇතිවීම තුළින් ආයතනික ඵලදායිතාවය ඉහළ නංවාගත හැකිය. මෙම ක්‍රමවේදයන් තුළින් වර්තමාන ආර්ථික, සමාජීය, දේශපාලනික බලපෑම් හමුවේ නව මාවතක් දෙසට සෑම ආයතනයකටම ඉතා පහසුවෙන් ගමන් කළ හැකි බව පැහැදිලියි.