අප රටේ සේවකයන්ගේ වැටුප්, සේවා කොන්දේසි, හා සේවා තත්වයන් සැකසී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය මගින් වරින් වර ඇතිකර ගන්නා ලද ප්රමිතීන් පදනම් කරගෙනය. ඒ අතරට එක්වූ සුවිශේෂී පනතක් ලෙස 2016 අංක 3 දරන සේවකයින්ගේ ජාතික අවම වේතන පනත හඳුන්වා දිය හැකිය. බොහෝවිට රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවක වැටුප් ද වැඩි කරන ලෙස වෘත්තිය සමිති මගින් රජයට යෝජනා කරයි.
එහිදී රජය පෞද්ගලික අංශයේ සේවායෝජකයන් ගෙන් සේවක වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටියද එසේ නොකිරීම හේතුවෙන් රජය විසින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා 2016 අංක 3 දරන සේවකයින්ගේ ජාතික අවම වේතන පනත හඳුන්වා දෙන ලදී. තවද 1927 අංක 27 දරන ඉන්දියානු වතු කම්කරුවන් සඳහා අවම වේතන ආඥා පනත හදුන්වා දීමෙන් දශක ගණනාවකට පසුව මෙම පනත හඳුන්වා දෙනු ලැබීය.
ඒ අනුව මෙම පනත මගින් පඩිපාලක සභා , සාප්පු හා කාර්යාල පනතින් ආවරණය වන සේවකයින් ඇතුළු පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට මෙලෙස පොදු වේ අවම වැටුපක් හඳුන්වාදීම විශේෂිතයි.
මෙම ජාතික අවම වේතන පනත සම්පාදනය කිරීමෙහිලා පාදක වුණ ජාත්‍යන්තර සම්මුතින් කීපයකි.
1. අංක 100 දරන සමාන වේතන සම්මුතිය
2. අංක 95 දරන වේතන ආරක්ෂා කිරීමේ සම්මුතිය
3. අංක 99 දරන අවම වේතන යන්ත්‍ර සවි කිරීමේ ( කෘෂිකර්ම) සම්මුතිය
4. අංක 131 දරන අවම වේතන සවිකිරීමේ සම්මුතිය ආදිය වේ
එපමණක් නොව අවම වේතනය සම්බන්ධව මානව හිමිකම් විශ්ව ප්රකාශනය මගින් ද පිළිගෙන ඇත. එනම් සමාන රැකියාවට සමාන වැටුප් සහ සාධාරණ සහ හිතකර වේතනයක් ලැබිය යුතු බවයි.
නමුත් මෙම පනතේ එසේ සඳහන් වුවද අප රටේ ගෘහ සේවකයන් සහ වෙනත් ව්‍යවස්ථාපිත ආයතනයක ලියාපදිංචි සේවකයන් මෙමඟින් ආවරණය නොවේ.
ඒ අනුව සේවකයින්ගේ ජාතික අවම වේතනය රුපියල් 12,500 ක් විය යුතු අතර සේවකයෙකුගේ ජාතික අවම දෛනික වේතනය රුපියල් 500ක් විය යුතුය. සේවකයාට අඩු වාසි සහගත තත්වයක් ඇති නොකළ යුතුය.
මෙම පනතේ බලධාරියා වන්නේ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා ය. යම්කිසි සේවායෝජකයකු සේවකයකුගේ අවම වේතනය ගෙවීම පැහැර හරින විට ද දී කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අදාල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකිය.
එහිදී සේවායෝජකයාට විරුද්ධව රුපියල් 25,000කට නොවැඩි දඩයක් සහ මාස හයක කාලයකට බන්ධනාගාර ගත කළ හැකිය.