නව කම්කරු නීති පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති පනත් සහ වෘත්තීය සමිති පිළිබඳ විධිවිධාන සැකසී ඇති ආකාරය
නව කම්කරු නීති පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති පනත් සහ වෘත්තීය සමිති පිළිබඳ විධිවිධාන සැකසී ඇති ආකාරය
මේ දක්වා භාවිතයේ පැවති පෞද්ගලික අංශයට බලපාන්නාවූ කම්කරු නීති 13ක් නීතිමය ප්‍රතිපාදන වෙනස්කොට තනි නීතියක් සකසා ඇති බව ශ්‍රමිකයින් වන අප දන්නා කරුණකි. එකී නීති 13 කවරේද යත්,
- 1935අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත
- 1935 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත
- 1941 අංක 27 දරණ පඩිපාලක සභා ආඥා පනත
- 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත
- 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පණත
- 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල පනත
- 1956 අංක 47 දරණ කාන්තාවන්, තරුණයින් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත
- 1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පණත
- 1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනත
- 2005 අංක 36 දරන සේවකයින්ගේ අයවැය සහ දීමනා පනත
- 2016 අංක 04 දරණ සේවකයින්ගේ අයවැය සහ දීමනා පනත
- 2016 අංක 03 දරන අවම වෙතනය පනත
- 2021 අංක 28 දරන සේවා නියුක්තිකයින් විශ්‍රාම යැවීමේ අවම වයස පනත
මෙම පනත් 13 අන්තර්ගත කොන්දේසි වෙනස්කොට නව කොන්දේසි ඇතුළත් කොට මෙම ඒකීය පනත් කෙටුම්පත සකසා ඇත.
එම පණත් 13 අතුරින් වෘත්තීය සමිති සාමාජිකයින්ට වැදගත් වන්නාවූ නව නීති කොන්දේසි කෙසේ සැකසී වී ඇද්ද යන්න දැන ගැනීම ඉතා වැදගත්ය.
මෙම කෙටුම්පතේ 105 වගන්තිය මගින් වෘත්තීය සමිතියක් ලියාපදිංචි කිරීම සදහා සාමාජිකයින් 100 දෙනෙකු විසින් හෝ සාමාජිකයින් සංඛ්‍යාව 100ට අඩු අවස්ථාවක එයින් 25 දෙනෙකු අත්සන් කල යුතුය. මෙය පැවති පණතේ 07ක් අත්සන් කිරීම වෙනස් කොට සාමාජිකයින් සංඛ්‍යාව වැඩි කිරීම වෘත්තීය සමිති ඇතිකර ගැනීමට උනන්දුවක් දක්වන්නන්ට කකුලෙන් ඇඳීමකි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෘත්තීය සමිතියකට බැඳීමට ඇති අයිතිය මෙම කෙටුම්පත මගින් උදුරා ගැනීමකි.
තවද කෙටුම්පතේ 137 (1) වගන්තිය මගින් දක්වා ඇත්තේ වෘත්තීය සමිතියක් මගින් වැඩ වර්ජනයක් කිරීමට පෙර අපෙක්ෂිත කාරණය ගැන බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත දැන ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම සිදුනොකොට වැඩ වර්ජනයක් සිදුකල නොහැකි බවයි.
මෙසේ රහස් ඡන්දයක් පැවැත්වීම හා වැඩවර්ජනයක් සිදු කිරීමට අපේක්ෂිත දිනට දින 28කට පෙර සේවායෝජකයින්ට හා වෘත්තීය සමිති රෙජිස්ටාර්වරයාට ලිඛිතව දැන්වීම කලයුතු බව 147(1) අ සහ ආ උපවගන්ති මගින් දක්වා ඇත.
මෙකී වෘත්තීය සමිති අයිතිවාසිකම් අපට ලැබී ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. එනම් එහි 3 පරිච්ඡේදය මගිනි වෘත්තීය සමිතියකට් බැඳීමට ඇති අයිතිය, සමාගමේ හා රැස්වීමේ නිදහස ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ලෙස සහ මූලික අයිතිවාසිකම් ලෙස ජාතික වශයෙන්ද පිළිගෙන ඇත.
එමෙන්ම, ලෝක කම්කරු සංවිධානය මගින් 87 සම්මුතිය සහ 98 සම්මුතිය මගින් පිලිගෙන සම්මත කර ඇති මෙම වෘත්තීය සමිති අයිතිවාසිකම් එහි සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව අත්සන් කොට පිළිගෙන ඇත්තේ එකී අයිතීන් රැක දීමේ අරමුණිනි. ඒ අනුව මෙම නව කම්කරු නීති කෙටුම්පත මගින් එකී අයිතීන් කප්පාදු වී ඇත.