දුම්රිය කාර්යමණ්ඩල සමාලෝචනය නොකිරීමෙන් සේවක පුරප්පාඩු උග්‍ර අතට    

දුම්රිය කාර්යමණ්ඩල සමාලෝචනය නොකිරීමෙන් සේවක පුරප්පාඩු උග්‍ර අතට    
රාජ්‍ය ආයතනය හා දෙපාර්තමේන්තුව මට්ටමින්  කාර්‍යමණ්ඩලය සමාලෝචනය සෑම වසර 04 වරක්ම කළමනාකරණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදු කල යුතු වන අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට කාර්‍යයමණ්ඩලය සමාලෝචනය කර අවසන් කර නියමිත අනුමැතිය ලබා ගෙන  ඇත්තේ 2013.04.09 වන දිනය. 
 
අවසන් කාර්යමණ්ඩල සමාලෝචනය අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක තනතුරු 235 කට අදාලව සේවකයන්  19,372 ක් අනුමතව ඇත. නමුත් 2013 සිට මේ දක්වා කාලය තුල දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල වෙනස්කම් කිහිපයකට භාජනවී ඇත. ඕමන්තය සිට කන්කසන්තුරය දක්වා හා මැදවච්චිය සිට තලෙයිමන්නාරම දක්වා  දුම්රිය මාර්ගය නැවත ස්ථාපිත කිරීම, මෙන්ම මාතර සිට බෙලිඅත්ත දක්වා ද නව දුම්රිය මාර්ගයක් ඉදි කර ඇති අතර ඒ සඳහා අවශ්‍යවන කාර්‍යමණ්ඩලය රාජ්‍ය නීතී රීති වලට අදාලව මේ දක්වා  නිසි  අනුමැතිය ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අසමත්ව ඇත. එමෙන්ම 2013 වර්ෂයෙන් පසුව දෙපාර්තමේන්තුව මේ දක්වා නව තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු කිරීම මත අතීතයේ සිට පවත එන ඇතැම් තනතුරු කිහිපයක් මෙම කාර්යමණ්ඩල සමාලෝචනය හරහා ඉවත් කල යුතු බව අප සංගමය විස්වාස කරමු.     
 
මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව 13000 කට ආසන්න සේවක සංඛ්‍යාවක් සිටින අතර 7000 කට ආසන්න සේවක පුරප්පාඩුවක් පැවතීම මත ඇතැම් දුම්රිය ස්ථානවල සේවයේ නියතු සේවකයන් සති මාස ගණනින් එක දිගට සේවයේ යෙදවීම සිදු කිරීම මත ඇතැම් සේවකයන් විවිධ මානසික පිඩාවන්ට ද මුහුණපා ඇත. කාර්යමණ්ඩල සමාලෝචනය 2013 වර්ෂයෙන් පසුව 2017 වර්ෂයේ සිදු කල වුවත් මේ දක්වා එම සමාලෝචනය සිදු කොට නැත. 2017 වර්ෂයේ දී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සමාලෝචනයක් සිදු කර එය දෙපාර්තමේන්තු මට්ටමෙන් එවකට හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිගේ අනුමැතිය මත මේ ක්‍රියාත්මක  වන අතර එයට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිසි අවසරයක් ලබා ගැනීමට දෙපාර්තමේන්තු පාලනාධිකාරිය කටයුතු කොට නැත. එමෙන්ම 2021 වර්ෂයට අදාලව  නැවත දුම්රිය ස්ථානාධිපති සේවයේ , සේවා අවශ්‍යතාවය මත සමාලෝචනයක් සිදු 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මස සිදු කර ඇති අතර එම සමාලෝචනය මාස 15 ක් ඉක්මවා ගිය ද මේ දක්වා අනුමත කරවා ක්‍රියාත්මක කිරීමට පාලනාධිකාරිය අසමත් වී තිබීම කණගාටුවකට කරුණකි.     
 
මේ හරහා 2022 වර්ෂයේ ක්‍රියාත්මක වීමට තිබු ස්ථාන මාරුවීම ක්‍රියාත්මක මෙම කාලය වන විට සිදුවිය යුතු වුවත් මේ දක්වා අදාළ මාරුවීම් මණ්ඩලයන් රැස් කර තිබුනද එම වාර්ෂික ස්ථාන මාරුවීම් දිගින් දිගටම ප්‍රමාද කිරීමට ද වත්මන් පාලනාධිකාරිය කටයුතු කිරීම මත ගියවර අහිතර සේවා සඳහා  ස්ථාන මාරුවීම් ගිය දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි අපහසුතවයන්ට ලක්ව ඇත.     
 
මේ පිළිබඳව අප සංගමයක් වශයෙන් පාලනාධිකාරිය වෙත දිගින් දිගටම තත්ත්වය පාලනාධිකාරිය වෙත කරුණු පැහැදිලි කර දුන්න ද මේ දක්වා මේ සඳහා සාධනීය මැදිහත්වීමක් සිදු කර නැත.
 
කසුන් චාමර ජයසේකර 
ප්‍රධාන ලේකම් 
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය

2022.02.03